මහපොළොවෙන් මතුවුණු ආලයේ දෙවඟන


ක්‍රි.පූ. අටවැනි සියවසේ ජීවත් වූ ග්‍රීක මහා කවි හෝමර්, ඉලියඩ් නම් සිය මහා කාව්‍යය අරඹන්නේ ඉතාමත්ම රූමත් දෙවඟන තේරීමේ තරගයෙනි. කෘතහස්ත ලේඛකයෙකු වූ ඩේවිඩ් කරුණාරත්න මහතා රණබිම නමින් පළකළ මෙහි පරිවර්තනයේ (ගුණසේන ප්‍රකාශනයක්) දැක්වෙන රසබසින්ම මේ සිඬිය මෙහි ඇතුළත් කරමු.

අමරපුර පැවැත්වුණු මංගල මහා සාදයකදී කළහ දේවයා විසින් එක්තරා කලබලයක් කරන ලද්දේය. පරම සුන්දරියටය යන අකුරු ටික කෙටූ ඇපල ඵලයක් සුරතට ගත් හෙතෙම, එය මහා මංගල සාදයට රැස්වී සිටි සුර සුන්දරීන් අතරට වීසි කොට නිහඬ විය. මෙහිදී ඇපල ඵලය දිනාගැනීම සඳහා පරම සුන්දරිය තෝරාගැනීම සඳහා රූප රාජිනී තරගයක් ඇතිවිය. රූප සම්පත්තියෙන් නාරි ලාලිත්‍යයෙන් අගතැන්පත් වූ පත්නී, කලා හා රතී යන දේවතාවියන් අතර ඇතිවූ තරගය උග්‍රතර විය. මෙහිදී දෙවියනට ගුරුවූ සුරගුරු තෙමේ ස්වකීය තීරණය දුන්නේය.   


තුසර පුරවරයේ ප්‍රියම් මහරජුගේ කණිටුපුත් පරීස කුමාරයා විසින් රූමතිය තෝරා ඈ අත ඇපල ඵලය තැබිය යුතුය යි සුරගුරු ආචාර්ය ප්‍රවාරණයෙන් ප්‍රකාශ කොට සිටියේය. පරිස තෙමේ පත්නී (ජූනෝ) දෙස නෙත් හෙළා කලා (මිනර්වා) දෙස බලා රතී (වීනස්) අත පරිත්‍යාගය තැබීය.   


සුර ගණයාගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ රතී පරම සුන්දරිය බවට පත්වූ නමුදු පත්නී හා කලා දේව සභාවෙන් නික්ම ගියේ කෙදිනක හෝ පරීස ගෙන් පළිය ගණුම්හ යි යන අධිෂ්ඨානය හදවත්හි තැන්පත් කොට ගෙනය.   
රණබිම (ඉලියඩ්) ලියැවී ඇත්තේ ක්‍රි.පූ 1500 දී පමණ ට්‍රෝසිපුර (Troy) සිදුවුණ බව සලකුණ මහා සංග්‍රාමයක් පදනම් කරගෙනය. ඒ වනවිටත් වීනස් දෙවඟන රූපයෙන් අනෙක් දෙවඟනක් අබිබවා සිටි බව ඉහත ඡේදයෙන් පෙනේ.   


ග්‍රීක් ශිෂ්ටාචාරය සහ දෙවිවරු   


හෝමර් ජීවත් වුණු ක්‍රි.පූ. 7 වැනි සියවස වනවිට ග්‍රීසිය බොහෝ කරුණු අතින් යුරෝපයේ අනෙක් රටවලට වඩා පෙරමුණ ගෙන සිටියේය. ක්‍රි.පූ. 4 - 5 සියවස් වනවිට එහි ශිෂ්ටාචාරය උපරිම තත්ත්වයට පත්ව තිබුණි. සොක්‍රටීස්, ප්ලේටෝ වැනි මහා දාර්ශනිකයෝද, හෝමර්, සොපොක්ලීස් වැනි මහා සාහිත්‍යධරයෝද ලියෝනිඩාස් වැනි රණශූරයෝද, ප්‍රැක්ටිලීස්, පීඩාස් වැනි විශිෂ්ට කලා ශිල්පීන් ද නිසා ග්‍රීක් ශිෂ්ටාචාරය ඔපවත් විය. අදත් දුටුවන් විශ්මයට පත්කරවන ඇතැන්ස්හි පාතිනන් නමැති දැවැන්ත ගොඩනැගිල්ල නිර්මාණය වූයේ ක්‍රි.පූ. 447-438 කාලයේය. එවකට රාජ්‍ය පාලකයා වූයේ විශිෂ්ට කථිකයෙකුද ලෙස සැලකෙන පෙරික්ලීස්ය. මේ නිසා යුරෝපා ශිෂ්ටාචාරයේ පෙරගමන්කරු ලෙස ග්‍රීසිය සැලකීම සාධාරණය.   


ග්‍රීසියේ දියුණුවට විශාල බාධකයක් වූයේ විදේශික ආක්‍රමණිකයන් සමගත් රට අභ්‍යන්තරයේ නගර අතරත් විටින්විට ඇතිවුණු යුද්ධය. ක්‍රි.පූ. 4 වැනි සියවසේදී 11000 ක ග්‍රීක හමුදාවක් විසින් 50,000 ක පර්සියානු හමුදාවක් මැරතන්හිදී පරාජයට පත් කිරීමත් ඊට වසර 10 ට පසු තවත් විශාල පර්සියානු නාවුක හමුදාවක් සලාමිස් දූපතට නුදුරුව ග්‍රීක හමුදා විසින් පරාජය කිරීමත් ග්‍රීක ඉතිහාසයේ සුවිශේෂ සිද්ධිය විය. එහෙත් ක්‍රි.පූ. 2 වැනි සියවසේදී ග්‍රීසිය, රෝම හමුදාවන්ට යටත් විය. මෙයින් රටේ විශාල විනාශයක් ඇතිවුවද, ග්‍රීක ශිෂ්ටාචාරයේ දීප්තිය රෝමන්වරුන්ටද බලපෑවේය.   

 

 


කිතු දහම යුරෝපයේ ව්‍යාප්තවීමට පෙර යුරෝපයේ අන් රටවල මෙන්ම ග්‍රීසියේද පැවැතියේ විවිධ දෙවිවරුන් මුල්කරගත් පූජා විධිය ලෝකය මැවූ සර්වබලධාරී දෙවියෙකු ඔවුන් පිළිනොගත් නමුත් ඔලිම්පියා කඳුමුදුනට අරක්ගත් දෙවිවරු 12 දෙනෙකු ඔවුහු විශ්වාස කළහ. මේ දෙවිවරුන් බිහිවී තිබුණේ එදිනෙදා ජීවිතයට බලපාන කරුණු මතය. අරේස් යුද්ධයටද, ජොසීඩන් භූමියටද, ඇපලෝ සංගීතයට හා වෙදකමටද, ඇතීනා ප්‍රඥාවටද, හෙපස්ටස් ගින්දරටද අධිපති දෙවියෝ වූහ. දරු උපතට හා දඩයමට ආටිමිස් අධිපති වූ අතර ආලයට සෞභාග්‍යයට හා ප්‍රජනනයටද ඇප්‍රොඩයිට් අධිපති වූවාය.   


ග්‍රීසිය රෝම ආක්‍රමණයට නතුවීමෙන් පසු ග්‍රීක දෙවිවරු රෝම නම් වලින් හඳුන්වනු ලැබූහ. මේ අනුව යුද්ධයට අධිපති අරේස් මාස් නමින්ද, පොසීඩන් නැප්ටියුන් නමින්ද ඇතීනා මිනර්වා නමින්ද ආටිමිස් ඩයනා නමින්ද, හේරා ජූනෝ නමින්ද, සීයුස් ජුපිටර් නමින්ද නාම පරිවර්තනයට ලක්වූහ. රූමත් කමේ හා ආලයේ දෙවඟනවූ ඇප්‍රොඩයිට්, වීනස් බවට පත්වූවාය. මේ දෙවිවරුන් සඳහා දේවස්ථානද ඉදිකෙරුණු නමුත් බයිබලය වැනි ආගමික ග්‍රන්ථයක් හෝ ආගමට කැපවූ පූජක පිරිසක් ඔවුන්ට නොවීය.   


වීනස්ගේ ආගමනය   


අනෙක් බොහෝ ග්‍රීක දෙවි දේවතාවුන් මෙන් වීනස්ද මනුලොවට පහලවීම පිළිබඳ පුවත චමත්කාරය. මේ උපුටා ගැනීම ග්‍රීක් මිථ්‍යා සංග්‍රහයෙනි (Greek Mythology by katrina Serri) 

 
ඇප්රොඩයිට්ගේ උපත පිළිබඳ විස්තර විවිධය. සමහරුන් පවසන්නේ ක්‍රෝනස් (සැටන්) දෙවියා යුරේනස්ගේ ප්‍රජනක අවයව මුහුදට විසි කිරීමෙන් සැදුන සුදු පෙණ වලින් ඇය උපන් බවය. තවත් සමහරුන්ගේ මතය වන්නේ ඇය සීයුස් මහ දෙවියාගේ සහ අප්‍රකට දෙවඟනක් වූ ඩයෝන්ගේද දුවක් බවය. එහෙත් හැම කෙනෙක්ම ඇයට ගරු කළහ. භක්ත්‍යාදර දැක්වූහ. මරණයට පත්වන අය අතර පමණක් නොව අමරණීය යයි සැලකුණු දෙවියන් අතරද ලිංගික ආකර්ශනය ඇතිවූයේ ඇගේ බලය පැතිරීමෙනි.   

 

මෙහි දැක්වුණ පළමු වෘත්තාන්තය, 15 වැනි සියවසේ ජීවත් වූ සැන්ඩ්‍රෝ බොටිසෙලී නම් චිත්‍ර ශිල්පියා විසින් රමණීය සිතුවමකට නගන ලදුව රෝමයේ ප්ලොරන්ස්හි උෆීසී කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වේ, මෙයත් මේ අසලම ඇති ප්‍රිමිවරා (වසන්තයේ උදාව) නමැති බොටිසෙලීගේ තවත් විශාල චිත්‍රයකුත් නරඹන්නන් අතර බෙහෙවින් ජනප්‍රියය.   


දර්ශනීය ලෙස චිත්‍රයට නැගුණ මුහුද පසුබිම් කොට විශාල බෙලිකටුවක නැගුණු වීනස්, වෙරළට ආසන්න වනු පෙනේ. සිටගෙන සිටින ඇය, අඩ නිරුවත්ය. ඇගේ තෙත් හිසකේ උරහිසින් පහළට වැටී ඇත. මුහුදු රළ සහ සුළඟ විසින් ඇය වෙරළට තල්ලු කරනු ලබයි. සෙපිරස් සහ ඕරා යන දෙවිවරුන්ගේ හුස්මද ඇය වෙරළට තල්ලුවීමට උදව් වේ. අහසින් රෝස මල් වැටේ. ඩේසි හා වෙනත් මල්ද එම්බ්‍රොයිඩර් කළ සිල්ක් ඇඳුමින් සැරසුණු තරුණියක් මල් සහිත වස්ත්‍රයක් පිරිනමමින් ඇය පිළිගනී. මේ වසන්තය හෝ ලාලිත්‍ය තුනෙන් (three graces) කෙනෙකු විය හැක.   


ඔලිම්පියාවේ දෙවිවරුන් මුල්බැසගැනීමට පෙර ප්‍රබල දෙවඟනක වටා ගොඩනැගුණු පුරා ක්‍රමයක් බැබිලෝනියාව, සිරියාව, ඇනටෝලියාව, සයිප්‍රසය හා ග්‍රීක් දූපත්වලද තිබී ඇත. සෑම තරුණියක්ම මේ දෙවඟනගේ සේවයට අනිවාර්යයෙන්ම යායුතු බව බැබිලෝනියාවේ පිළිගත් සමාජ චාරිත්‍රයක් විය. වීනස්, මුහුදේ සිට පළමුවෙන්ම පොළොවේ පාතැබුවේ සයිප්‍රසයේ පැපෝස් (Papos) නගරයේ බව සඳහන් වේ. ඇගේ පෞරාණික නිරුවත් ප්‍රතිමා එහි තිබී හමුවී ඇත. සයිප්‍රස් තරුණයෝ ඇය වෙනුවෙන් පූජා ක්‍රමවල යෙදී ඇති බව හෙරඩෝටස් පවසා ඇත. සතුන් අතර කාමුකම සත්වයා ලෙස සැලකෙන පරවියා ඇගේ පක්ෂියා විය. ක්‍රි.පූ. වසර 1500 ට පෙර ලෝකඩ යුගයට අයත් මයිසීන සොහොන් බිම්වල රනින් කළ ඇගේ රූප සහ පරවියන්ද හමුවී ඇත.   


ප්‍රේමයේ දෙවඟනගේ පෙම් පෙරළි 

 
ලෝහ කර්මාන්තයට අධිපති වල්කන් නමැති දෙවියා සමග විවාහ වී සිටියද ඇයට විවිධ ප්‍රේම සම්බන්ධතා තිබුණි. මෙයින් වඩාත්ම ප්‍රකට වූයේ යුද්ධයට අධිපති මාස් දෙවියා සමග වූ සම්බන්ධයයි. මෙයින් කියුපිඩ් (අනංගයා) බිහිවිය. එය දෙවියන් හා මිනිසුන් අතර සබඳතා තිබුණු යුගයකි. ඇය ඉතා රූමත් මිනිස් තරුණයෙකු වූ ඇඩෝනිස් සමග තදින් ප්‍රේමයෙන් වෙලුනාය. වල් ඌරෙකු විසින් අනින ලදුව ඔහු පණ අදිමින් සිටියදී ශෝකයෙන් පීඩිතව ඔහු වෙත දිවගිය වීනස්ගේ කකුලක කටුවක් ඇනීමෙන් ගලාගිය ලේ ගෑවීමෙන් සුදු රෝසමල් රතුපාට වූ බව සඳහන් වේ. 

 

 


ලූවර් කෞතුකාගාරයේ රූමතියන් දෙදෙනා   


ලූවර් කෞතුකාගාරයේ කිරුළු දරා සිටින කාන්තාවන් දෙදෙනා ලෙස මෝනාලීසා සහ වීනස් ද මිලෝ ලෝකප්‍රකටය. මේ දෙදෙනා නැරඹීම සඳහා ලොව සිව් දෙසින් මෙහි එන සංචාරකයන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. දවසේ කවර අවස්ථාවක වුවද මේ දෙදෙනා අසල විශාල පිරිසක් ගැවසෙනු පෙනේ.   
ලෙනාඩෝ ඩාවින්සි නමැති විශිෂ්ට කලාකරුවා විසින් 1503 - 1506 අතර කරන ලද මෝනාලීසා චිත්‍රය ප්‍රකටව ඇත්තේ ඇගේ රූමත් කමට වඩා ගුප්ත සිනහව නිසා බව පැවසේ. එහි වර්ණ සංකලනයත්, පසුබිම් දර්ශනයත් නිසා එය වඩාත් කැපී පෙනෙන බවද සඳහන් වේ.   


මොනාලීසා බිහිවීමට සියවස් 17 කට පෙර නාඳුනන ප්‍රතිමා ශිල්පියෙකු විසින් නිර්මාණය කළ වීනස් ද මිලෝ මේ කෞතුකාගාරයේ ඇති සුන්දරම කාන්තා පිළිරුව බව සැලකිය යුතුය. වෙනත් රටවලින්ද වීනස් ප්‍රතිමා හමුවී ඇතත්, මේ කෞතුකාගාරයේද තවත් වීනස් ප්‍රතිමා ඇතත් සුන්දරත්වය අතින් වීනස් ද මිලෝ, ඔවුන් අබිබවා සිටී. එය අඩනිරුවත් රුවක් වුවත් නරඹන්නා තුළ ඇතිකරවන්නේ කාමුකත්වයට එහාගිය පහන් සංවේගයකි. ඇගේ දෑතම අතුරුදහන්ව ඇතත් එහි අඩුවක් නරඹන්නාට නොපෙනේ. අජීවී කිරිගරුඬ ගලකින් සජීවී දෙවඟනකගේ රුවක් මතුකරගත් කලාකරුවාගේ දක්ෂතාවය ගැන මවිත නොවී සිටිය නොහැක.   
ලූවර් කෞතුකාගාර පොතේ (Guide Book 1983) ඇය හඳුන්වා දී ඇත්තේ මෙසේය.   


1820 දී මිලෝ දිවයිනෙන් සොයාගත් ඇප්‍රොඩයිට් මුල් නිර්මාණය අතීත කලාවේ මුදුන්මල්කඩක් ලෙසත්, කාන්තා සෞන්දර්යයේ අංගසම්පූර්ණ උදාහරණයක් ලෙසත් සලකනු ලැබේ. ඇගේ මුහුණේ ශාන්තභාවය, ප්‍රැක්සිටිල් කලාකරුවාගේ බුඬි ප්‍රභාවය පිළිබිඹු කළ බව මුලදී අදහස් කළද, මෙහි ශෛලිය අනුව ක්‍රිපූ දෙවන සියවස අගභාගයේදී නිර්මාණය වූවක් ලෙස විශ්වාස කිරීමට හේතු තිබේ. සිරුරේ ප්‍රමාණයත්, රේඛාවන්ගේ සිනිඳු බවත්, ඇඳ සිටින වස්ත්‍රයේ නැමුම්වල ක්‍රමානුකූල බවත් කඳේ නිරුවත් බවත් මැනවින් නිරූපණය වේ. 


පොළොව යටින් මතුපිටට පැමිණ දෙවඟන  


ශතවර්ෂ ගණනාවක් මිනිස් ඇසට නොපෙනී පොළොවේ සිටි වීනස් ප්‍රතිමාව යළිත් මිහිමතට පැමිණීම රසවත් කථාවකි. එහෙත් ඊජිප්තුවේ තුතන්කාමන් සොහොන සොයාගැනීමට වෙහෙසවූ බොහෝදෙනෙකු මෙන් වීනස් දෙවඟන සොයාගැනීමට වෙහෙස වූ බොහෝදෙනෙකුද අකාලයේ මියයාම කනගාටුදායක සංසිද්ධියකි. නිධානයක් ඇතැයි සැලකෙන තැනක් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ විවෘත කිරීමේදී අප රටේ සම්ප්‍රදාය වනුයේ පුදපූජා පවත්වා ඇතැම් විට බිල්ලක් පවාදීමය.
 

ඒ මේවාට අරක්ගෙන සිටිතියි විශ්වාස කරන භූතබලවේග සතුටුකර ඔවුන්ගේ සාපය නොලැබීමටය. බටහිර ලෝකයේ මෙසේ සිදුනොවන බැවින් නිධාන ලබාගැනීමට සහභාගී වන්නන්ට සිය ජීවිතයෙන් පවා වන්දිගෙවීමට සිදුවන්නා සේය.


මේ උපුටා ගැනීම ක්ලෝඩ් වෙරල් නමැති ලේඛකයෙකු 1864 දී ලියා ඇති වාර්තාවකිනි. 

 
ලූවර්හි මුතු ඇටය හෙවත් දුටුවන් මනමෝහනය කරවන වීනස් ද මිලෝ සොයාගෙන වසර 44 කි. ඇය සොයා ගැනීමට සම්බන්ධ වූ බොහෝදෙනෙකු මේ වනවිට ජීවිතයෙන් සමුගෙන ඇත. මුලින්ම මේ අනගි පිළිරුවේ ශෝභාවෙන් මත්ව එහි චිත්‍ර සටහන් ඇඳ වාර්තාවක් ලියූ තරුණ ඩුමොන්ට් ද ඌර්විල් (Dumont d'urville) දුම්රිය අනතුරකින් අකාලයේ මියගියේය. ඇය සොයා ගිය කණ්ඩායමේ ඉතිරිව සිටි අවසානයා වූ ෆෝවල්ද ක්වාටමියර් ඩි ක්වින්සි නම් කීර්තිමත් පඬිවරයාද පෝබින් ජැක්සන් හා රිවියර්හි වංශාධිපතියාද එමරික් ඩේවිඩ්ද ජීවතුන් අතර නැත. මහත් ආයාසයෙන් පිළිරුව ලබාගෙන එය ප්‍රංශයට ගෙන ඒමේ ගෞරවය හා ප්‍රශංසාවට එකම හිමිකරු වූ මාසෙලස් (Marcellus) ළඟදී මියගියේ තරුණ වයසේදීමය. මේ නිසා අපේ සියළු විස්තර ඔවුන් තබා ඇති වාර්තා මත පදනම් වේ.   


ලූවර්හි මාණික්‍යය පිළිබඳ පළමු විස්තර සටහන තබා ඇත්තේ තරුණ දි ඌර්විල් විසිනි.   
අප මෙලෝස් දිවයිනට පැමිණීමට ටික දිනකට පෙර එහි හමුවී ඇති පුරාවිද්‍යාත්මක ශේෂ සමූහයක් පරික්ෂා කිරීමට මම 1820 අප්‍රේල් 19 දින එහි ගියෙමි. අප දූපතට යාමට සති තුනකට පෙර ග්‍රීක් ගොවියෙකු තම කුඹුර හාරමින් සිටියේය. එය පිහිටා තිබුණේ පුරාණ මෙලෝස් සීමාවේය. හොඳින් කපා මට්ටම් කළ ගල්කුට්ටි කිහිපයක් ඔහුට හමුවිය. මේවා මිනිසුන් ගෙවල් සෑදීමට පාවිච්චි කරන නිසා ඒවාට වෙ​ෙළඳ අගයක් ඇති බැවින් තවදුරටත් ඔහු හෑරීම කරද්දී වළක තැන්පත් කර තිබුණ කිරිගරුඬ ප්‍රතිමාවක් හා කුඩා දේවරූප දෙකක්ද කිරිගරුඬ ගල් කැබලි කිහිපයක්ද ඔහුට හමුවිය.   


ප්‍රතිමාව කොටස් දෙකකින් යුක්ත වූ අතර සවිමත් ඇණ දෙකකින් ඒවා එකට සවිකර තිබුණි. තම ශ්‍රමයේ ඵල අහිමිවේය යන බියෙන් ඔහු ප්‍රතිමාවේ ඉහළ කොටසත්, කුඩා දේවරූප දෙකත් ඉවත් කර මඩුවක තැන්පත් කළේය. පිළිරුවේ පහළ කොටස වළේම තිබෙන්නට හැරියේය. මම සියල්ල පරික්ෂා කළෙමි. සියළුම කැබලි මනහර නිමාවෙන් යුතුවූ බව කලාව පිළිබඳ මගේ සුළු දැනුම අනුව මට සිතුනි.   
මම ප්‍රතිමාවේ කොටස් දෙක වෙන වෙන මැන්නෙමි. සම්පූර්ණ ප්‍රතිමාව අඩි 6 ක් බව පෙනුනි. ඉහළට ඔසවාගෙන සිටි වම් අතේ ඇපල් ගෙඩියක් විය. දකුණු අත තුනටියේ සිට පාදය තෙක් වැටුනු වස්ත්‍රය අල්ලාගෙන සිටියේය. නමුත් අත්දෙකට හානි සිදුවී තිබුණා පමණක් නොව ශරීරයෙන් වෙන්වීද තිබුණි. කන්පෙති සිදුරු කර තිබුණි. මේවායේ කුණ්ඩලාභරණ පළඳවා තිබෙන්නට ඇත. මේවායින් පෙනී ගියේ මෙය පැරිස් කුමරා පරම සුන්දරිය ලෙස විනිශ්චය කළ වීනස් දෙවඟන බවයි. එසේ නම් ජුනෝ, මිනර්වා හෝ තරුණ ගොපල්ලා කොහිද? සපත්තුවක් දැමූ පාදයක් හා තවත් අතක්ද හමුවුණ බව සැබෑය. මෙලෝන් (Melon) යයි ඇපල් ගෙඩියටද කියන නිසා මේ දිවයින මෙලෝස් නමින් හැඳින්වෙන බව පෙනේ.   


පිළිරුව සමග වූ දේව රූප එතරම් විශිෂ්ට නිර්මාණ නොවීය. එකක හිස ගැහැණියකට හෝ ළමයෙකුට සමාන විය. අනෙක දිග රැවුලක් ඇති මහල්ලෙකුගේ මුහුණකි. අඩි 4 1/2 ක් දිග හා අඟල් 6 - 8 ඝන කිරිගරුඬ පුවරුවකින් වළ ආවරණය කර තිබුණි. එහි යම් අකුරු වගයක් කොටා තිබුණි. එහි පළමු කොටස පමණක් කාලගුණයේ ඛාදනයෙන් බේරී තිබුණි. ඉතිරි හරිය මැකී ගොසිනි. මේ නැතිවීම මිලකළ නොහැකි අලාභයකි. එය තිබුණා නම් අතීතයේ නොඅනුමානවම සශ්‍රීකව පැවැති මේ දිවයිනට ශත වර්ෂ 22 කට පෙර සිදුවුණු ඇතැන්ස් ආක්‍රමණයෙන් අත්වූ ඉරණම පිළිබඳ ඉතිහාසය දැනගන්නට තිබුණි. මම මේ පුරාලේඛනය පිටපත් කළෙමි. දේවරූපයක පාදමේ ද යමක් ලියැවී තිබුණත් කියවීම අපහසු විය. අප කොන්ස්තන්තිනෝපල් නගරයට ගියවිට එහි තානාපතිවරයා පිළිරුව ගැන මගෙන් විමසුවේය. මම මගේ මතය පැහැදිළි කළෙමි. මේ වාර්තාවේ පිටපතක් මාසෙලස් මහතාටද දුනිමි. මා යළිත් පැමිණි විට තමා පිළිරුව කෞතුකාගාරය සඳහා මිලට ගත් බව රිවියර් වංශාධිපතිවරයා මට දැනුම් දුන්නේය. එය වෙනත් රටකට යැවීමට නැව්ගත කිරීමට සූදානම් කර තිබුණු තීරණාත්මක මොහොතේ එහි පැමිණි මාසෙලස් මහතා මහත් පරිශ්‍රමයකින් පසුව මේ මහාර්ඝ කෞතුක වස්තුව ප්‍රංශයට ලබාගැනීමට සමත්වූ බව පසුව දැනගතිමි.   


ප්‍රතිමාවේ අත් දෙකට කුමක් සිදුවීද? වම් අතින් ඇපල් ගෙඩියක් අල්ලාගෙන සිටි බවත් දකුණු අතින් වස්ත්‍රය අල්ලාගෙන සිටි බවත් ද ඌර්වෙල් පැහැදිලි ප්‍රකාශයක් කර ඇත. දේවරූප ගැන විස්තර කරන ඔහු එය ගැහැණියකගේ හෝ ළමයෙකුගේ බව පළකර ඇත්තේ සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ නොදැනීමෙන් අපේ කුඩා මර්කරි දෙවියා (අනංගයා) වරදවා තේරුම් ගැනීමෙනි. එහි පාදමේ වූ සටහන කියවීමට අපොහොසත් වීමෙන්ද පෙනෙන්නේ ඔහුට සෙල්ලිපි කියවීමට නොහැකි බවයි. වළ ආවරණය කළ කිරිගරුඬ පුවරුවේ අකුරු පිටපත් කිරීමෙන් විශාල ප්‍රයෝජනයක් අත්වී තිබේ. මේ පිළිරුව ලබාගැනීම සඳහා ද ඌර්විල් ඉතා වැදගත් කාර්යයක් ඉටු කළ බව පැහැදිලිය.  


මේ සුන්දර පිළිරුවේ අත් දෙකට අත්වූ ඉරණම නොපැහැදිලිය. තමා එය මුලින් දුටු අවස්ථාවේ ඇපලයක් අල්ලාගෙන සිටි වම් අතකුත් වස්ත්‍රය අල්ලාගෙන සිටි දකුණු අතකුත් තිබුණු බව ද ඌර්වෙල් පවසයි. පිළිරුව ප්‍රංශයට ගෙන ආ මාසෙලස්ද පවසන්නේ පිළිරුව සමග අත්දෙකද ගෙන ආ බවයි. එසේ නම් පිළිරුවේ මේ වටිනා කොටස අතුරුදන්වී ඇත්තේ ලූවර් කෞතුකාගාරයේදීය. අප විමසුමට ලක්කළ ලිපියේ මේ කොටස වැදගත්ය.  


වීනස් පිළිරුවේ කොටස් කීපයක්, දකුණු අතේ හා ඇපලය අල්ලාගෙන සිටි වමතේ කොටස් කීපයක්. දේවරූප තුනක්, ග්‍රීක් වචන කෙටූ පාදමක් හා ප්‍රතිමාවේ පාමුල කොටසද ලූවර්හි ද්වාරයෙන් ඇතුළට ගිය බව ස්ථිරය. හෙළා දැකිය යුතු තේරුම් කළ නොහැකි දෙයක් මෙහිදී සිදුවී ඇති බව අපට පිළිගැනීමට සිදුවේ. දකුණු අත ප්‍රතිමාවේ මූලය. මිල කළ නොහැකි ග්‍රීක් සෙල්ලිපිය සහිත දේවරූප පාදම අද ලූවර්හි නැත. ලෝන්ග් පීරියර් මහතා ඒවා සොයාගැනීමට ගබඩාවේ පොළොව පවා හාරා දැරූ පරිශ්‍රමය අසාර්ථක වී ඇත. දේශපාලනයේ මෙන්ම කලාවේද අගතිය, තුච්ඡත්වය, බුඬියේ ආඩම්බරය හා අඥාන කමද විශාල ලෙස පවතී. තම කලා නිධාන ආරක්ෂා කරගන්ට අසමත් වූ අයට ඔවුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවන ලෙස ග්‍රීකයෝ සහ රෝමන්වරු වග බලාගත්හ. මේ කෞතුක කොටස් අතුරුදන්වීම ලූවර් කෞතුකාගාරයට සදාකාලික කැලලකි. ඇත්තෙන්ම වීනස්ගේ දරුණුම අංගම්ඡේද්‍යය සිදුවී ඇත්තේ කලා ආරක්ෂාගාරයේ බිත්ති ඇතුළත බැවිනි.  
පැරිසියේ දැවැන්ත ලූවර් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන්නෙකු එහි එක් කලාවස්තුවක් සඳහා විනාඩිය බැගින් ගත කළහොත් සියල්ල නරඹා හමාර කිරීමට මාස තුනක් ගතවන බව සඳහන්වේ. මේ නිසා එහි එන බොහෝදෙනෙකුට නැරඹිය හැකි වන්නේ සීමිත කාලවස්තු සංඛ්‍යාවකි. එහෙත් ලූවර් හි ජනප්‍රියම කලාකෘති දෙක වන මෝනාලීසා සහ වීනස් ද මිලෝ නැරඹීමට පෙරුම් පුරා එන අයට කාලයේ අගය නොදැනෙන්නා සේය. 

 

 

විශේෂඥ වෛද්‍ය 
බී. ජී. ඒ. විද්‍යාතිලක