වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අයි. නම් කෙටි නාමයෙන් කලා ලොව බහුතරයක් දෙනා හඳුන්වන එස්. අයි. සමරක්කොඩි මේ දිනවල විකාශය වන මායාවී, සසංකාරා හා හිරිපොද වැස්ස යන ටෙලි නිර්මාණ තුනේදීම අපට මුණගැසෙයි. මේ නිර්මාණ සඳහා අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටින එස්. අයි. සමරක්කොඩි සමග අපි මොහොතක් දොඩමලු වුණෙමු.
මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන මායාවී සඳහා ඔබ අලුතෙන්ම සම්බන්ධ වී සිටිනවා. ප්‍රේක්ෂකයා කොහොමද ඔබේ චරිතය බාරගෙන සිටින්නේ.
මායාවී ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ සපුමල් විදියට. ගම්බද සල්ලි බාගේ තියෙන නෝන්ජල් චරිතයක් තමයි මම රඟපාන්නේ. සපුමල් දුවෙක් සමග ජීවත්වෙන තාත්තා කෙනෙක්.
මායාවී ටෙලි නාට්‍යයට ආරාධනාව ලැබෙන්නේ කොහොමද?
මේ සඳහා මට මුලින්ම ආරාධනා කරන්නේ සිංහ නිෂ්පාදන ආයතනයේ ලලිත් වසන්ත මහත්තයා. ඔහු කතා කරලා කිවුවේ මෙන්න මේ වගේ චරිතයකට ඔයා යෝජනා වෙලා තියෙනවා. අපි කැමැතියි ඔයත් එක්ක වැඩ කරන්න කියලා. ඉන්පසු මහේෂ් රත්සර මද්දුම ආරච්චි හා සඳුන් රාජකරුණා සමගත් සාකච්ඡා කරලා චරිතය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා.
ජානු ටෙලි නාට්‍යයේ අල්පොන්සෝ චරිතයෙන් ඔබ ලංකාව දන්න නළුවෙක් බවට පත්වුණා. එහෙත් පසුව ඔබ අතරමගින් ඒ ටෙලි නාට්‍යයෙන් ඉවත් වුණාද ඉවත් කෙරුණාද?
ජානු ටෙලි නාට්‍යයේ මට යමක් කරන්න තියෙන කල් මම එහි රැඳී සිටියා. කරන්න දෙයක් නැති තැනට ආවම මම අධ්‍යක්ෂකට පැවසුවා මට මේකේ කරන්න දෙයක් නැහැ තව ෂෙඩුල් එකකින් පස්සේ ගෞරවාන්විත විදියට මේ ටෙලි නාට්‍යයෙන් අයින් කරන්න කියලා. එදා ඉඳන් අද දක්වාම අධ්‍යක්ෂවරයාගෙන් මට කෝල් එකක් ලැබිලා නැහැ.
ඔබ වේදිකාවෙන් ඇවිත් කට්ටක් කාලා මේ තැනට ආපු කෙනෙක්. අල්පොන්සු චරිතයේ ජනප්‍රියත්වය මග තොටේ යද්දී ප්‍රේක්ෂකයන්ගෙන් දැනුණේ කොහොමද?
මම එකවර ජනප්‍රිය වුණේ අල්පොන්සු චරිතයෙන් නෙවෙයි. මීට පෙර ඉසුරු භවන, අමා, සිහින පුරය, ඉඳුවරී වගේ නාට්‍ය ගොඩකින් මම ජනප්‍රිය වුණා. ඒත් ඒ කාලේ සෝෂල් මීඩියා මේ වගේ ජනප්‍රිය නැහැ. ඉඳුවර සිහිනපුරේ චරිතවලින් අදටත් කතා කරන අය ඉන්නවා. මම කාලයක් ජනප්‍රිය වෙනවා. කාලයක් නැතුව ඉන්නවා. මං අවුරුදු 25ක් තිස්සේ නාට්‍ය කරන නිසා ඒ තත්ත්වය ගැන අවබෝධයක් තියෙනවා. කැම්පස් ගිහිල්ලා මගේ හදිසි අනතුරත් එක්ක කාලයක් වැඩ නැතුව ඉඳලා පත්තු වෙච්ච චරිතය තමයි අල්පොන්සු. සෝෂල් මීඩියා නිසා ගොඩාක් දුරට ඒ චරිතය ආවා. කලින් ජනප්‍රිය චරිත කීපයක් රඟපාලා තිබුණු නිසා අල්පොන්සු විශේෂයක් දැනුණේ නැහැ. මුලදි ලොකු දෙයක් කරන්න තිබුණත් පසුව නොතිබුණ නිසා තමයි මම නාට්‍යයෙන් අයින් වෙන්නේ. ජනප්‍රියතාව කෙටි කාලයයි කියන එක මම අවබෝධ කර ගත්තා. අදටත් මම සාමාන්‍ය පුද්ගලයෙක්.
මේ දිනවල විකාශය වන සසංකාරා ටෙලි නාට්‍යයේ චරිතයත් අසීමිත ප්‍රතිචාර ලබනවා නේද?
සසංකාරා ටෙලි නාට්‍යයේ ඩෙංකුටුවාගේ චරිතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ තිලක් මාමා චරිතයටත් ඒ වගේම ප්‍රතිචාරයක් ලැබෙනවා. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය තුනේ චරිත තුන වෙනස්.
සමහර නළු නිළියෝ මෙගා රඟපාන් නෑ කියලා දැඩි ප්‍රතිපත්තියක සිටිනවා. ඔබට එහෙම තෝරා බේරා ගැනීමක් නැද්ද?
මට නොගැළපෙන චරිත මම බාර ගන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් පෙනී සිටීමක් විතරක් වුනොත් මම බාර ගත්තේ නැහැ. හැබැයි මට රඟපාන්න චරිතයක් තියෙනව නම් මෙගා නැද්ද නෑ මං බාර ගන්නවා.
මෙතෙක් රඟපාපු චරිත අතුරින් දැනුණු චරිත තිබෙනවාද?
මට හිතනවා මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් කියලා. මම ආසාවෙන් ඉඳපු හැම වර්ගයකම චරිත මම රඟපාලා තියෙනවා. මාර, නෝන්ජල්, පෙම්වතා, දුෂ්ටයා, හොල්මන් ආදී විවිධ වර්ගයේ චරිත රඟපාලා තියෙනවා. මගේ ජීවිතේ ඇතුළෙ මේ වගේ චරිත රඟපාන්න ඕන කියන ඇරියස් එක නැහැ.
කොහොමද සිනමාවට මේ කාලය තුළ දුන් දායකත්වය.
ජනක ප්‍රසන්නගේ කොටකෙතන, ධනුෂ්ක රත්නායකගේ පරාග චිත්‍රපටයේත් මම රඟපෑවා. ඒවා උප චරිත වුණත් ඒවායේ යමක් මට කරන්න තිබුණා. චරිතයේ කාලය නෙවෙයි ඒවායේ යමක් කරන්න තිබුණා කියලා මම හිතනවා.
ඔබ අධ්‍යක්ෂණය කරන හෙලෝ නම් ලංකාවේ පළමු වෘත්තාන්ත වන්ටෙක් චිත්‍රපටය මගින් ළඟදීම තිරගතවීමට නියමිතයිනේ.
මම තමයි ලංකාවේ දෙබස් නැති වෙස් මුහුණු භාවිතයෙන් කළ පළමු නාට්‍ය නිර්මාණය කළේ. ඒ ලව් ඇන්ඩ් ලයිෆ් නාට්‍යය, පැය 1 1/2ක් පුරා එක දෙබසක්වත් නැහැ. ඒ නාට්‍ය නිසා විදෙස් සම්මාන උළෙලවල් නියෝජනය කරන්නත් මට අවස්ථාව ලැබුණා. මම සිනමාවට සම්බන්ධ වෙන්න ආපු නිසා පළමු සිනමා කෘතිය වෙනසක් එක්ක කරන්න ඕන කියන අදහස තිබුණා. මීට කලින් වන්ටේක් වෘත්තාන්ත චිත්‍රපටයක් කවුරුවත් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඇක්ෂන් කියලා කට් කියන තුරු සංස්කරණය නොවී එකම කැමරා කෝණයක රූපගත වන චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ වැඩකටයුතු දැන් සියල්ල අවසන් කර තිබෙනවා. එය මේ වසරේ අග හෝ ලබන වසර මුල ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකියාව ලැබේවි.
ඔබේ කාර්ය බහුලත්වය අතරේ දැන් වේදිකාව අමතක කරලාද?
එහෙම අමතක කරන්නේ නැහැ. හුණුවටයේ කතාව, කැලණි පාලම , කුවේණි, මාරක ළිඳේ සවාරියක් යන වේදිකා නාට්‍ය වේදිකාගත වෙනවා. මම අධ්‍යක්ෂණය කරන අලුත් වේදිකා නාට්‍යයක් නුදුරේදීම පුහුණුවීම් පටන් ගන්නවා.
කලා කටයුතු අතරේ පවුලේ කටයුතු සමබර කර ගන්නේ කොහොමද?
පවුලේ කටයුතු හොඳින් කරගෙන යනවා. වයිෆ් සැලෝන් එකක් ආරම්භ කළා. මගේ වැඩවලට එයා උදව් කරනවා වාගේම එයාගේ වැඩවලට මම උදව් කරනවා.
ඔබ රඟපෑ වියළි නාට්‍ය පසුගියදා රයිගම් සම්මානයෙන් පිදුම් ලැබුවා නේද?
වියළි නාට්‍යයේ රඟපෑ ගොඩාක් අයට සම්මාන ලැබුණා. එහි ටීනා කියන්නේ රඟපාන්න අමාරු චරිතයක්. ශරීර සමබරතාව හැඩ තියාගෙන එක දිගට කොටස් 60ක් රඟපෑම ඉතාම අමාරුයි. මේක සාමාන්‍ය චරිතයක් නෙවෙයි. මට ලැබෙන ප්‍රතිචාර අනුව මං ඒ චරිතය හොඳට කළා කියලා මම හිතනවා. ඔය කියන සම්මාන උළෙලේ කුසලතා සහතිකයක් හෝ ආරාධනා පත්‍රයක්වත් මට ලැබුණේ නැහැ. ලංකාවේ සම්මාන උත්සව ගැන මට ලොකු බලාපොරොත්තුවක් නැහැ. එතනින් එහාට යන්න තමයි බලාපොරොත්තුව. සම්මාන බලෙන් ගන්න බැහැනේ.
අමිල චින්තක ගමගේ