මගේ පළමු චිත්‍රපට රංගනය ළගදීම දකින්න පුළුවන්


කොයි වෙලෙත් හිතුවක්කාරකම් කරන, කොහෙන්හරි බාල්දියක් පෙරළ ගන්න අසෙනි කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් කටකාර රූමතියක්. අසෙනි දාපු ඒ චණ්ඩිකම්ම ටිකක් සැරට මේ දවස්වල "මා" ටෙලිනාට්‍යයේ චමත්කාත් දානවා. කොටින්ම ඇය තමන්ගෙ චරිතෙන් පුංචි යුද්ධයක් කරනවා. ඉතින් අපි හිතුවා මෙවර සඳැල්ල කතාබහට අසෙනිට වගේම චමත්කාටත් පණ පොවන සැබෑ ජීවිතේ ගීත්මා බණ්ඩාරව සඳැල්ල කතාබහකට එකතු කරගන්න.

ප්‍ර මේ දවස්වල එකතු වෙලා ඉන්න අලුත් නිර්මාණය  ගැන කියලම අපි කතාව පටන් ගමු

අලුතෙන් "මා" කියන නිර්මාණයට එකතු වෙලා ඉන්නවා. ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයෙන් මහේෂ් රත්සර මද්දුම ආරච්චිගෙ තිර රචනයක් තමයි "මා" කියන්නේ. මම මහේෂ් රත්සර කියන රචකයා එක්ක වැඩ කරන පළවෙනි වතාව මේක. පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය නිර්මාණ රැසක් රචනා කළ ඔහු එක්ක වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මේ නිර්මාණය මගෙ රංගන ජීවිතයට ලොකු පන්නරයක්. මොකද මේ කතාවෙ දි තිර පිටපතේ තියෙන දෙබස ඒ විදිහටම ඕනේ. අපි සාමාන්‍යයෙන් කටපාඩම් කරලා දෙබස් කියන්නෙ නැහැනෙ. ඉතින් මේ තමයි මම එහෙම නිර්මාණයකට සම්බන්ධ වෙන පළවෙනි අවස්ථාව. ඉරේෂ් ලොකුබණ්ඩාර කියන්නෙ මම ආදරේ කරන ගෞරව කරන චරිතයක්. ඉතින් ඒ අය එක්ක නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටයි.

ප්‍ර "මා" ටෙලි නිර්මාණය පටන් ගද්දිම චමත්කා ටිකක් වලියට බරයි නේද?

ඔව්, චරිතෙ පටන් ගද්දිම මට ඒක කිව්වා. මොකද චමත්කා කියන්නේ සාමාන්‍යයෙන් වතු ආශ්‍රිතව හැදෙන ගැහැනු ළමයෙක්. හැබැයි ඇය පුංචිම තැනක ඉඳන් අරගල කරලා තමන්ගේ කට්ටියට තැනක් හදලා දෙන්න දඟලන, තමන්ගේ කට්ටිය වෙනුවෙන් කතා කරන ගැහැනු ළමයෙක්. කොටින්ම කිව්වොත් "මා" නිර්මාණය ඇතුළේ ඉන්න චමත්කාව මම දකින්නේ ගොඩක් නිර්භීත, මේ තියෙන විදිහ වෙනස් කරන්න හදන චරිතයක් විදිහට. ගැහැනු ළමයෙක් විදිහට ඒ චරිතෙ වෙලාවකට සැරයි, වෙලාවකට නපුරුයි, තවත් වෙලාවකට දඟයි. කොහොම වුණත් කතාව ඉදිරියට ගලාගෙන යද්දි තමයි ඇත්තටම ඇය කොයි වගේද කියලා බලා ගන්න වෙන්නේ.

ප්‍ර සංගීතේ අසෙනිවත් මතක් කරමු. 

අසෙනි ඉතින් හැමදාම මොකක් හරි බාල්දියක් පෙරළ ගන්න පෙරළිකාර චරිතයක්නේ. ඒ නිසා මම හරි කැමැත්තෙන් රූගත කිරීම්වලට යන්නේ. අසෙනිට මේ දවස්වල නම් ලොකු කරදරයක් නැහැ. අනුන්ගෙ ප්‍රශ්න විසඳ ගෙන ඉන්නවා.

ප්‍ර ගීත්මා වැඩිපුර කැමති අසෙනිට ද චමත්කාට ද  ඇහුවොත්?

දෙන්නම මමනේ. හැබැයි මම හැමදාම අසෙනි කියන චරිතෙට ආදරෙයි. මොකද මගේ නම හැදුනේ, මාව ප්‍රේක්ෂකයෝ වැලඳ ගත්තේ, මේ තරම් ආදරේ මට ලැබෙන්නේ අසෙනි නිසා. මේ දවස්වල "මා" නාට්‍යය විකාශය වෙනවා. චමත්කාටත් ඉහළම ප්‍රතිචාර හම්බෙනවා. ඒ නිසා මේ දවස්වල ටිකක් වැඩියෙන් චමත්කා කියන චරිතෙටත් ආසයි.

ප්‍ර මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නේ?

ඇත්තටම ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. අසෙනිට වගේම  චමත්කාටත් ප්‍රේක්ෂකයෝ ආදරේ කරනවා කියලා දැනෙද්දි ගොඩක් සතුටුයි.

ප්‍ර අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවද?

රූගත කරපු අලුත් නිර්මාණ ගොඩක් එන්න තියෙනවා. ඒවා එනකල් බලන් ඉන්නවා. මම හිතන්නේ මේ අවුරුද්දේ තව අලුත් නාට්‍යයක් විකාශය වෙයි.

ප්‍ර ගීත්මා කියන්නේ නපුරු හිතුවක්කාර චරිතවලින් වගේම අහිංසක චරිතවලිනුත් දැකගන්න ලැබෙන කෙනෙක්. සැබෑ ජීවිතේ ගීත්මා කොයි වගේ කෙනෙක්ද?

ඇත්තටම කිව්වොත් මම නපුරු නැහැ. මට කවුරුත් එහෙම කියන්නෙ නැහැ. මම හරිම මිත්‍රශීලී, ඕන කෙනෙක් එක්ක හිනාවෙලා කතාකරලා ඉන්න කෙනෙක්. හැබැයි ඉතින් අහිංසකමත් නැහැ.

ප්‍ර රිදී තිරය ගැනත් කිව්වොත්?

මේ දවස්වල "කල්පනා" චිත්‍රපටයෙ අවසන් අදියරේ ඉන්නේ. ඒක තමයි මම සිනමාවට එන පළවෙනි නිර්මාණය. ඒකේ රූගත කිරීම්වලට මේ දවස්වල සම්බන්ධ වෙනවා.

ප්‍ර රංගන ශිල්පිනියක් වෙනවා කියන එක පොඩි කාලෙ ඉඳන් තිබ්බ හීනයක් ද?

පොඩි කාලේ මට නිළියක් වෙනවා කියලා  හීනයක් තිබ්බෙ නැහැ. ඇත්තටම පොඩි කාලේ ඒ වගේ හීනයක් දකින්නවත් බැරි ඈතක තිබ්බා කියලා හිතෙනවා. මටත් අනිත් ළමයින්ට වගේ පොඩි කාලේ කාලෙන් කාලෙට වෙනස් වෙන හීන තිබ්බේ. හැබැයි අපි සමහර වෙලාවට ජීවිතේ හිතන් නැති පැතිවලට හැරෙනවනේ. ඉතින් මේ තියෙන්නෙත් මගේ ජීවිතේ එහෙම හැරවුම් ලක්ෂ්‍යයක්.

ප්‍ර ගීත්මා රංගනයට අමතරව මොනවද කරන්නේ?

රංගනයට තමයි හැම වෙලාවෙම මුල් තැන දෙන්නේ. ඊට අමතරව පුළුවන් වෙලාවට මගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා.

ප්‍ර ඉදිරි බලාපොරොත්තුව?

ඉස්සරහටත් හොඳ නිර්මාණවලින් පුංචි තිරයට වගේම සිනමාවටත් එන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍ර නිර්මාණ භාර ගද්දි තෝරාගැනීමක් කරනවද?

ලොකු තෝරා ගැනීමක් කරන්නෙ නැහැ, හැබැයි මම කැමති නැහැ වැඩ ගොඩක් පටලගෙන හැම වෙලාවෙම කාර්‍යබහුල වෙන්න. එහෙම හැම නිර්මාණයම භාර ගන්න ගියොත් සමහර වෙලාවකට හොඳ නිර්මාණයකට කැප කරන්න තියෙන කාලෙ අපිට නැති වෙනවා. අපි වැඩ ගොඩක් බදා ගෙන කරන්න ගියොත් සමහර වෙලාවට අපි ආස කරන විදිහෙ නිර්මාණ අපිට මඟ හැරෙන්න පුළුවන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මම තෝරගත්තු නිර්මාණවලට තමයි සහභාගි වෙන්නේ.

ප්‍ර රංගනය ඇතුළේ දාගත්තු සීමා මායිම් තියෙනවද?

ලොකු සීමා දාගෙන නැහැ. හැබැයි මම ගොඩක් වෙලාවට හිතනවා මගේ පෞද්ගලික ප්‍රතිරූපයට හානියක් වෙන්නෙ නැති විදිහට රංගනයේ යෙදෙන්න.

ප්‍ර පවුලෙන් මොනවගේ සහයෝගයක් ද ලැබෙන්නේ?

ලොකු සහයෝගයක් ගෙදරින් ලැබෙනවා. මොකද රූගත කිරීම්වලට පාන්දර ගිහින් රෑ වෙලා එන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ හැම වෙලාවෙම මට උදව් කරන්නෙ මගෙ පවුලෙ අය. විශේෂයෙන්ම මගෙ අම්මා මට ලොකු ශක්තියක් වෙනවා.

කෞශල්‍යා ලක්ෂානි