මගෙ ලජ්ජා නහර කපලා තියෙන්නෙ දසුන් පතිරණ


පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් එකිනෙකට වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට එන ඔහු පිළිබඳ මේ දිනවල අසන්නට ලැබෙන්නේ සිරස නාළිකාවේ විකාශනය  වීමට නියමිත "මාව මතක ද" යන ඔහුගේ අලුත්ම ටෙලි නිර්මාණය ගැනයි. මේ පූර්විකාවේ හිමිකරු දසුන් පතිරණ යි. මෙවර “සැඳැල්ලෙන්” ඔහු වෙනුවෙන් වෙන්කළ ඉඩකඩ යි මේ.

දසුන් කොහොම ද ජීවිතේ.? කලා කටයුතු එක්ක කාර්යබහුල ද?

ජීවිතේ හොඳයි. මේ දිනවල නම් සිරස නාළිකාවේ විකාශනය වීමට නියමිත දිනේෂ් අග්ගල්ල මහත්මාගේ “මාව මතක ද ?” කියන නාට්‍යයයේ රූගත කිරීම් සහ ප්‍රචාරණ කටයුතු එක්ක තමයි තරමක් කා‍ර්ය බහුල වෙලා ඉන්නේ. මගේ අනෙක් නිර්මාණ වගේම මාව මතක ද ටෙලි නාට්‍යයත් සුළු කොටස් සංඛ්‍යාවකින් යුක්ත නාට්‍යයක්. නමුත් එය ඇත්තටම ලස්සන කතාවක්. තාත්තා කෙනෙක් සහ දුවෙක් වටා ගෙතුණු හරිම ආදරණීය කතාවක්. පුංචි තිරයේ වැඩනම් එපමණයි. රිදී තිරය පැත්තෙන් කතා කළොත් මම නිර්මාණ දායකත්වය ලබාදුන්නු “මාරියා” ෆිල්ම් එක මේ වසරේ ජූලි මාසයේ පමණ තිරගත වීමට නියමිතයි. ඉතින් මේ දේවල් එක්ක තමයි මේ දවස් ගෙවිලා යන්නේ.

ඒ කියන්නේ දසුන් මේ දිනවල කලා කටයුතු වලින් ඈත් වෙලාද?

නැහැ. මම කොහොමත් මෙගා ටෙලි නාට්‍යවලට දායක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ටෙලි නාට්‍යයක් භාරගත්තට පස්සේ ඒ නාට්‍යය ඉවරවෙන තුරු වෙනත් චරිත වලට යොමු වෙන්න කැමති නැති නිසා  එකවර ටෙලිනාට්‍ය කිහිපයක වැඩකටයුතු භාර ගන්නේ නැහැ. මොකද මට ඒ නිර්මාණයට සාධාරණයක් කරන්න නම් ඒ චරිතය ඇතුළේ ජීවත් වෙන්න ඕනෑ. එතකොට මට එකම දවසේ චරිත කිහිපයක් ඇතුළෙ ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මේ හැමදේම නිසා එකවර වැඩ කිහිපයක් භාර නොගෙන මම මගේ විදිහට ගැළපෙන වැඩක් කරගෙන ඉන්නවා. 

ඒ විදිහට වැඩ කිහිපයක් භාර ගත්තත් දසුන්ට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් නැහැ?

ඔව් ඒ ආදරය නම් උපරිමයෙන් ලැබෙනවා. මේ දිනවල විකාශය වන මගේ නිර්මාණ අතර තිබෙන “සීසෝ” සහ “හේමළයා” කියන ටෙලිනාට්‍යය දෙකටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මගේ අලුත්ම ටෙලි නාට්‍යය “මාව මතක ද?” කියන ටෙලි නිර්මාණය ඉදිරි දිනවල සිරසේ විකාශනය වීමට නියමිතයි. ඊට අදාළ ප්‍රචාරක කටයුතු මේ දිනවල සිද්ධ වෙනවා. ඉතින් මේ දවස්වල නම් මගේ ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් ඒ ටෙලි නාට්‍යය ගැන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. 

දසුන් මෙගාවලට අකමැතිද?

මම පෞද්ගලිකව හිතනවා එකම ටෙලි නාට්‍යයකින් වසර කිහිපයක් එකම චරිතයක් ඇතුළේ හිරවීම නළුවෙකු වශයෙන් තමාටම වරදින්න පුළුවන් අවස්ථාවක් කියලා. මොකද ඒ විදිහට චරිතයකට කොටු වුණාම ඒකෙන් එළියට එන්න අමාරුයි. නමුත් එකිනෙකට චරිතය වෙනස් වෙනකොට එතැන ගමනේ වෙනසක් තියනවා. තවත් අවස්ථාවල ඔය කියන මෙගාවලට ස්ක්‍රිප්ට් එකක් නැහැ. නළුවාවත් කතාව දන්නේ නැහැ. නාළිකාවේ ඕනෑ එපාකම් අනුව තමයි ඒ දේවල් ගලාගෙන යන්නේ. ඉතින් මම හිතනවා නළුකම එතනදි අනවශ්‍ය විදිහට භාවිත වෙනවා කියලා. මම කිසිම වෙලාවක මෙගා කියන කාණ්ඩය විවේචනය කරන්නේ නැහැ. මෙගාවලින් ජීවත් වෙන අය ගොඩක් ඉන්නවා. නමුත් මට ඒ අවශ්‍යතාව නැහැ. ඒ නිසා මම මගේ කලාව රැකියාව ඇතුළේ පාවා දෙන්නේ නැහැ. 

නළුකම ඇතුළේ චරිත තෝරා ගැනීමක් කිරීම නළුවෙකුට යුතුයි ද? ඔබේ භාරගැනීම් තුළ ඒ තෝරා ගැනීම තියනවා ද?

ඇත්තටම මගේ කලා ජීවිතේ ඇතුළේ බැරියර්ස් නැහැ. අපි හිතමු නියුට් සීන් එකක් හෝ සෙක්ස් සීන් එකක් කරනවා කියලා. ලංකාව වගේ රටක ඒ දේවල් කරන්න අමාරුයි. මොකද අම්මගේ ප්‍රශ්න, සැමියාගේ හෝ බිරිඳගේ ප්‍රශ්න, නැත්තම් සමාජෙට මුහුණ දෙන්න බැරි ප්‍රශ්න. මට ඒ ප්‍රශ්න නැහැ.  මම අවුරුදු 19න් මේ කලාව ඉගෙන ගන්න එනකොට මහේන්ද්‍ර අයියා මගේ ලැජ්ජා නහර කපලා එවුවේ. ඇත්තටම මම කරපු ගොඩක් චරිත නළුවෝ භාරගන්න බැහැ කියපු චරිත. උදාහරණයක් විදිහට ෆ්‍රැන්ජිපානී කියන නිර්මාණය. ඒක ගේ ආදර කතාවක්. ඒක ගොඩ දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තිබුණා. නමුත් මම ඒ චරිතයෙන් සම්මාන පවා ලබා ගත්තා. මම හිතන්නේ නළු‍වෙක් විදිහට හැම චරිතයක්ම අත්හදා බලන්න ඕන. සමහර අවස්ථාවල ප්‍රේක්ෂකයෝ මට බනිනවා වෙන්නත් පුළුවන් නමුත් ඒ දේවල් කලාව ඇතුළේ සාමාන්‍යයයි.

අසම්මතයට බර චරිත තෝරා ගන්නකොට පෞද්ගලික ජීවිතයට බලපෑමක් වෙයි කියලා හිතුණේ නැද්ද?

නැහැ. ඉස්සර තිබුණේ වැඩිහිටියන්ට පමණයි කියන එක ඇතුළේ වල්කමට බලපු නිර්මාණ. නමුත් පසු කාලීනව සමාජය තේරුම් ගත්තා වැඩිහිටියන්ට පමණයි කියන්නේ නරක දේවල් නෙවෙයි, ඒ කියන්නේ ඒ මාතෘකා වැඩිහිටියි කියන එකයි කියලා. මට බැරියර්ස් නැහැනේ. මම කලිනුත් සදහන් කරපු ෆ්‍රැන්ජිපානී කියන නිර්මාණය බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරපු එකක්. නමුත් මට දෙරණ බෙස්ට් ඇක්ටර්, හිරු බෙස්ට් ඇක්ටර්, සාක් බෙස්ට් ඇක්ටර් කියන සම්මාන තුනම ලැබුණේ ඒ චරිතයෙන්. අපි ප්‍රේක්ෂකයන්ට සමාජෙට ඕන දේවල් කරලා බැහැ. නමුත් කියන්න සතුටුයි දැන් ඉන්න තරුණ ප්‍රේක්ෂකයෝ හරිම වෙනස්. එයාලා ඇත්තටම මේ මාතෘකා හොඳට තේරුම් ගන්නවා. ඇක්ටින් කියන්නේම බොරුවක්. සමහරක් සෙක්ස් කරන දේ ඇත්තටම කරනවාද කියලා ප්‍රශ්න කළාට ඒ අය කවදාවත් අහනවාද ඔයා අර කතාවේ එයාව ඇත්තටම මැරුවද කියලා. ඒක අපි කරන්නේ කලාව ඇතුළේ රඟපෑමක් විදිහටයි. ඒක ප්‍රේක්ෂකයාට ඇත්ත වගේ දැනෙනවා කියන්නේ ඒ දක්ෂතාව. ඉතින් මම මේ කරන්නේ මගේ වෘත්තිය.

ඔබ කලාව ඇතුළේ විඳින නිදහස ලබන්න නම්, ඔබව හොඳ තේරුම් ගත් පවුලක් ඉන්න ඕන?

මම අවුරුදු 19න් තමයි ගෙදරින් එළියට යන්නේ. එතැනින් පස්සේ මම මට ඕන දේවල් තමයි කළේ . ගෙදරින් ඊට පස්සේ තේරුම් ගත්තා මාව වෙනස් කරන්න බැහැ කියලා. ඉතින් ඒ සහයෝගය දුන්නා. බිරිඳව තෝරා ගත්තේත් නළුකම, රංගනය තමයි මගේ ජීවිතේ එක කියලා පැහැදිලි කරලා. මම තෝරගන්න චරිත ඇතුළෙ දී කවදාවත් මගේ බිරිඳ ඒ දේවල් ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. එයා ලංකාවේ වුණාට හැදිලා තියෙන්නෙ පිටරටක නිසා එයාට විවෘත මනසක් තියෙනවා. ඉතින් මගේ පවුලේ හැමෝම මගේ කලා ජීවිතේ හරියටම තේරුම් අරගෙන මට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. 

බොහෝ සම්මාන උළෙලවල දසුන්ගේ නම නිතරම ඇහෙනවා. ඒ සම්මාන අතර තවමත් ඔබේ කරගන්න බැරිවුණු සම්මාන තියෙනවා ද?

ලංකාවේ සියලු සම්මාන උළෙලවල සම්මාන ටික ගෙදර තියෙනවා. මම හිතන්නේ සම්මාන කියන්නේ අපේ වැඩක් නෙවෙයි. ඒක ප්‍රේක්ෂකයා සහ විනිසුරුවා අත තියෙන දෙයක්. අපිට තියෙන්නේ අපේ වැඩේ විතරයි. මගේ කිසිම නිර්මාණයක් මම සම්මාන බලාපොරොත්තුවෙන් කරපු දේවල් නෙවෙයි. සම්මානයක් කියන්නේ නළුවෙක්ට උත්තේජනයක්. නමුත් මම පළවෙනි සම්මානය අරන් මහේන්ද්‍ර අයියාට ඒ ගැන කියපු ගමන් එයා මට කීවේ ඔය සම්මානේ ඔළුව උඩ තියන් ඉන්නේ නැතිව ගිහින් රාක්කේ උඩින් තියපන් කියලා. එදා ඉඳන් මගේ සම්මාන එකක්වත් මගේ ගෙදරවත් නැහැ. ඒවා තියෙන්නේ මගේ තාත්තා ළඟ. මගේ හිතෙත් තියෙනවා ඔස්කා, කාන්ස් වගේ සම්මාන ගන්න හීන තියෙනවා. හැබැයි මම හිතන්නේ ඒවා හීනම වෙයි වගේ. 

ඔබේ කලා ජීවිතේ වීරයා කවුද?

මගේ කලා ජීවිතේ වීරයා කවුද ඇහුවත්, මගේ හොඳම නළුවා කවුද ඇහුවත්, මගේ පූර්වාදර්ශය කවුද ඇහුවත්, මට කියන්න තියෙන්නේ මහේන්ද්‍ර පෙරේරා කියලා තමයි.

ලංකාවේ කලාකරුවෙක් වීම ගැන ඔබේ අදහස මොකද් ද?

මහේන්ද්‍ර අයියා කියන විදිහට නම් ලංකාවේ කලාකාරයෙක් වෙනවට වඩා හොඳයි ඉන්දියාවේ නළා කාරයෙක් වෙන එක. ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක කලාව ඇතුළේ විතරක් නෙවෙයි මොන වෘත්තියෙත් ඒ විදිහයි. ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටක ඒ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක වෙන රටකට සසඳන්නත් බැහැ. මොකද මට වැඩ නොකර ශාරුක් ඛාන් වගේ ඉන්න ඕන කියලා මම හිතුවට කරන්න බැහැ, මේ තියන තත්ත්වය එක්ක. 

ව්‍යාපාර ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් නැද්ද? ඉදිරි ගමනත් කලාව ඇතුළේම ද?

මගේම කලා වැඩ කටයුතු කිහිපයක් කරගෙන යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මම යූටියුබ් හරහා වෙනස් වැඩ කිහිපයක් සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව අපිට ගැළපෙන ටෙලි නාට්‍ය කිහිපයක සම්බන්ධීකාරක විදිහට කටයුතු කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඇත්තටම මගේ බිරිඳ ස්වීඩන් පුරවැසියෙක්. මට ඒ රටට යන්න අවස්ථාව තිබුණත් මම යන්නේ නැත්තේ, මට මේ රට කලාව දාලා යන්න බැහැ. ඉතින් දැන් කලාව තමා ජීවිතේ.

දුලක්ෂි ලියනගේ