බබී මට අද ඔයාට පෙන්වන්න මාර සප්‍රයිස් එකක් තියෙනවා


ප්‍ර දිල්හානි, නෙලුම් කුළුණෙ රඟපාන චරිතයේ උණුසුම යන්නත් කළින්, වාලම්පුරි සමග තවත් වෙනස් චරිතයක්?  ඒ චරිතය ගැන කතා කිරීමට පෙර, නෙලුම් කුළුණේ ඔබ රඟපාන චරිතය ගැන යමක් කතා කරමු, එහි ඔබ අඬනවා ආයේ ලොවෙත් නැති වෙන්න කියලා තමයි ප්‍රේක්ෂකයින් කියන්නේ? ඒක මාරයිලු? දිල්ට ඒ ගැන හිතෙන්නෙ කොහොමද?

මේ චිත්‍රපට එකම කාලයේ වගේ නිර්මාණය වූ චිත්‍රපට දෙකක්. ඒ චිත්‍රපට දෙකටම මම දායක වුණේ, ඒවායෙහි රූගත කිරීම්වල අවසාන භාගයේදී විතර. ඉතින් දැන් ඔබ ඇහුවානේ මම ඔය අඬන විදිහ ගැන? සිනමාවට මම ඇවිත් වසර තිස් ගණනකට වැඩියි. ඉතින් ඔය වගේ අඬන කොටසක් කර ගන්න බැරි නම්? ඒ ආපු ගමනින් ඇති වැඩක් නැහැ. ගෙවී ගිය ඒ කාලයේදී රංගනය ගැන පන්නරයක් ලබපු සහ රංගනය ගැන දැනීමක් ඇති පරිණත ශිල්පීන් හැටියටනෙ අපිව යොදා ගන්නෙ. මගේ සමකාලීනයින් ගත්තාමත්, ඒ අයත් එහෙමයි. එයාලා වුණත්, තමුන්ගෙ කොටස ඉතා හොඳින් කරන ශිල්පීන්. මේ චිත්‍රපටයෙ සිටින අනෙකුත් නළු නිළියන් ගත්තාම කිසිවෙක් කිසිවෙකුට දෙවැනි නැති තරමේ රංඟනයක යෙදෙන්නෙ. තමන්ගෙ චරිතය ඇතුලෙ සියුම් තැන් හරි ලස්සනට රඟපානවා. පරිනත වෙනවා, ජ්‍යෙෂ්ඨ වෙනවා කියන්නෙ අන්න ඒකටයි. එහෙම නැතුව ඒ ක්‍රමයෙන් බැහැරව ගිය අය රංගනය නමැති විෂය දියුණු කර ගෙන නැති වෙන්න පුළුවනි. අදටත් මම තරුණ පරම්පරාව එක්ක වැඩ කරන්නෙ ඒ ලැබූ අත්දැකීම් එක්කයි. මේ වයසේදී වුනත්, අද නිර්මාණය වෙන ඒ අයගෙ නිර්මාණ වෙනුවෙන්, ඒ නිසා යම්කිසි විදිහක ඩිමාන්ඩ් එකක් මට ලැබෙනවා.

ප්‍ර කොහොමද ගෙදර දොර ජීවිතය ගෙවෙන හැටි එහෙම?

සාමාන්‍ය පරිදි ගෙවෙනවා. අවුරුදු හතක විතර කාලයක සිට ප්‍රියංකර යම්කිසි විදිහක අසනීප තත්ත්වයකින් පෙළෙනවා. එයාගෙ කටයුතු වෙනුවෙන් හැඩගැහුණ පරිසරයක් ගෙදර තියෙන්නෙ. ඒ සියල්ල බැලන්ස් කරමින් වෙනදාටත් වඩා වැඩියෙන් මම වැඩ කරනවා. එහෙම කරලා සෑ​ෙහන දුරට පිළිවෙළකට ඒ පරිසරය තියාගන්න උත්සාහ ගන්නවා. යම්කිසි විදිහකට බැලුවොත්, දිල්හානිට විවේකය ටිකක් අඩුයි. බාහිර දේට යොමු වෙන්න තියෙන කාලය අඩුයි. වැඩියෙන් වැඩ කළාමත් වෙහෙසක් දැනෙනවා. ඒ නිසා ලැබෙන සෑම නිවාඩුවක්ම නිවාඩුවක් විදිහටම ගත කරන්න උත්සාහ ගන්නවා. රඟපෑමේ විෂයේදී මනස නිරවුල්ව තිබිය යුතු දෙයක්. ඒ නිසා ගෙදරයි රස්සාවයි දෙකම බැලන්ස් කර ගෙන ජීවිතය ගෙවනවා.

ප්‍ර මොන විදිහට කාර්ය බහුල වුනත්, දිල්හානි අම්මාව එක්කගෙන පංසල් එහෙම යනවලු නේද?

අම්මා ඉන්නෙ මගේ ගේ කිට්ටුවමයි. ඒ නිසා අම්මා මට හැමදාම හමුවෙනවා. හැම වෙසක් පෝයටම අපි දෙන්නා කෑම කන්නෙ එකට. එහෙම නොවුණොත්, අම්මා මෙහේ එනවා. එයාට කම්මැළි හිතුණොත් උදේට හරි, හවසට හරි මෙහෙට එනවා. මම ඉන්නවා නම් ඉන්නවා. සමහර දාට රාත්‍රියටත් මෙහේ ඉන්නවා. අය්යාත් ලංකාවේ නැති නිසා, මොන වැඩේ තිබුණත් මම අම්මා ගැන සොයා බලන්නත් මුල් තැන දෙනවා. අපේ පුතා දැන් පදිංචියත් වෙන තැනෙක. ඒ නිසා අම්මාට තමයි මුල් තැන දෙන්නෙ.

ප්‍ර ලංකාවේ දැන් නව රජයක් පවතින්නෙ? දිල්හානිලා වගේ බොහෝ දෙනෙක් අපේක්ෂා කළ ස්වභාවයේ රජයක්, මොකද හිතෙන්නෙ දිල්හානිලා හඬ නගලා නිර්මාණය වු ඒ රජය ගැන?

මෙහෙමයි අපි හඬක් නැඟුවේ නිකම්ම නිකම් ක්‍රමයකට නෙවෙයි. නව රජයකටත් වඩා මම හිතන්නෙ නව ක්‍රමයකට පුරුදු වෙමින් පවතින ස්වභාවයක් තිබෙන්නෙ. දැන් මිනිස්සු තම තමන්ගෙ වගකීම් ගැන හිතන්න පටන්ගෙන.  වංචාව දූෂණය, හොරකම නැතුව රස්සාව වුනත්, කරන්න ඕනෑය කියන අදහස් දරණ බව පෙනෙනවා. පොලීසියට වුණත්, එයාලගෙ රාජකාරිය බලපෑම් වලින් තොරව කරගෙන යා හැකි පරිසරයක් නිර්මාණය වෙමින් පවතිනවා. රටක තිබිය යුතු හොඳම දේ ලෙස මම දකින්නෙ පොදු නීතියක්. මොන රජයක් ආවත්, මේ තියෙන කුණු ගොඩවල් එක රැයකින් ඉවර කරන්න බැහැනෙ. මම හඬ නැඟුවේ රටේ වෙනස් විය යුතු පද්ධතියක් වෙනුවෙන්. හොඳට හිතන්න පුළුවන්, සමාජයක් බිහිවුණාම පොඩි දරුවන් පවා ඒ හොඳ ක්‍රමය හෙට දින අනුගමනය කරාවී. පසුගිය කාලයේදී සිදු වූ දූෂණ සහ නාස්තිය කියන දේ ගැන වැටහීමක් මට තිබුණා. ඒ සියල්ල වෙනස් විය යුතු නිසා තමයි අලුත් පරම් පරාවට මම උදවු  කළේ.

ප්‍ර අපි කතා කරමු වාලම්පුරි ගැන, මේ ෆිල්ම් එක මුල සිට බලද්දී ඔබට ස්පර්ෂ වුණේ, මොන වගේ තැන්ද? ඔබට හිතෙන විදිහට මේ ෆිල්ම් එක විඳින්න තියෙන ෆිල්ම් එකක්ද ? සමාජයට කතාවක් කියන නිර්මාණයක්ද? නැතහොත්, ඔබට කිව්වොත් වාලම්පුරි ගැන පුංචි විචාරයක් කරන්න කියලා?

මට හිතෙන විදිහට ලක්මාල් ධර්මරත්න මේ ෆිල්ම් එකෙන් කතා කරන්නෙ ලංකාවේ දීර්ඝ කාලීනව පැවැති දේශපාලනික-සමාජීයීය සහ ආර්ථික පසුබිමක් ගැනයි. ඒක මුල සිටම බැලුවොත් , වාලම්පුරියම නෙවෙයි තියෙන්නෙ. මේක මේ සමාජ ක්‍රමයක් ගැන තියෙන්නෙ. පීඩා විඳින එකා කොහොමත් පීඩා විඳිනවා, වැරැද්ද කරන කෙනා, එළියෙ ඉඳිද්දී වැරදි නොකරන මිනිස්සුන්ට ඊට වඩා දඬුවම් විඳින්න වෙනවා. ඇත්තටම අපේ රටට මොකද වුණේ කියන දේ මේ ෆිල්ම් එක ඇතුළෙ තියෙනවා. සාමාන්‍ය ජනතාව ජීවිතය ගැට ගහ ගන්න දරන වෙහෙස, දුප්පත් මිනිස්සු රස්සාවක් හොයා ගන්න හදන දැඟලිල්ල, තරුණ පරම්පරාවේ තියෙන පීඩනය, කොච්චර ඉගෙන ගත්තත්, රස්සාවක් හොයා ගන්න බැරිකම. ඒ වගේ විශාල පරාසයක කතාවක්. මේක ඇත්තටම මට හිතෙන විදිහට නරඹන්න ඕනෑ චිත්‍රපටයක්. අපට මොකද වුණේ කියන දේ මේකෙන් කියැවෙනවා.

ප්‍ර වයසත් එක්ක රූපය වෙනස්වෙන එක ස්වභාවයෙන්ම සිදුවෙන බව ඇත්ත, ඒත් දිල්ගෙ එදා වගේම දඟකාර හඬ සහ හැඩකාර රූපයේ වෙනසක් වෙලා නැහැ වගෙයි පෙනෙන්නෙ? ඔබ ඔබගෙ ජීවිතයට මොහොතකට එබිකම් කර බැලුවොත්? ඔබට ඔබව කොහොම දකීවිද? පෙනේවිද?

රූපය ගැන මට තියෙන්නෙ හොඳ අවබෝධයක්, අද මේ චරිත දිහා බලද්දී මගේ රූපය කොච්චර වෙනස් වෙලාද, මට කොච්චර අසනීප වෙනවද, මම කොච්චර මැරෙන්න ළඟයිද, කියන එක ගැන මට දැනෙනවා. ඒ අවබෝධය මට තියෙනවා. අවසාන මොහොතේ සිල් රැකලා ඇති වැඩකුත් නැහැ, පිං කරලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා මේ ටික යමක් මතක තියා ගත්තාම එයාට මුළු ජීවිත කාලයේදීම හැම මොහොතකදීම, හරි දේ කරන්න තමයි එයා උත්සාහ ගන්නෙ. අපි වයසට ගිහින් පංසලක බෝධියක් යට සිල් අරගෙන ජීවිතය එක් රැයෙන් හදාගන්න බැහැ. හරි මාර්ගයේ යන්න ඒකට මුල සිට පුරුදු පුහුණු වෙන්න ඕනෑ.  අන්න ඒ ට්‍රේනිං එක තමයි අදටත් මට පවතින්නෙ. ඔයගොල්ලො ඔය මගේ රූපය දිහා බලලා, මගේ හඬ ගැන අහලා  කතා කරන්නෙ, අන්න ඒ මා සතු පුරුදු පුහුණුවීම ගැනයි. ඒක මම කොහෙවත් පාසලකට ගිහින් හදා ගත්ත දෙයක් නෙවෙයි. එහෙම ගිහින් ඉගෙන ගන්නත් බැහැ. ඒකට වැදගත් වෙන්නෙ, හොඳ මිනිසුන්ගෙ ඇසුර, පොත පත කියවීම, ලෝකයේ විවිධ විෂයන් ගැන වූ දේ දැන ගැනීම වගේ බොහෝ දේ නිසයි. හොඳ නාට්‍යයක්, ෆිල්ම් එකක් බැලුවත් අපට ඉගෙන ගන්න දේ තියෙනවනෙ. ෆෝන් එක බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ තිබියදී වැරදි දේටමනෙ ඒක යොදා ගන්නෙ. මම සාමාන්‍යයෙන් ඒවා පරිහරණය කරමින් දැනුම ලබන්න උත්සාහ ගන්න කෙනෙක්. මොන දේ කළත්., වියපත්වීම ගැන මට තියෙන්නෙ අවබෝධයක්.

ප්‍ර මිල්ටන් පෙරේරා, නැතහොත් ඔබගේ මාමණ්ඩිය, ඔබට හමු වී තිබෙනවද? ඒ හමුවීම් වලදී මොනවගේ දේ ගැනද කතා වුණේ? ඔහුගේ ගී අතරින් වඩා රිසි ගී මොනවද?

මට මිල්ටන් පෙරේරා කිසි දිනෙක හමු වී නැහැ. එතුමාගේ වියොවෙන් පසු කාලයකදී තමයි මම ප්‍රියංකර සමග  විවාහ වුණේ, එයාගේ ලේළිය විදිහට මට එයාව හමුවෙලා නැහැ. ගායකයකු ලෙසත් සජීවිව මට හමු වී නැහැ.  මම දන්නෙ ඔහුගෙ හඬ ගැන පමණයි. ඒ හැර ඔහුගෙ පවුල් පසුබිම හෝ පුද්ගලික ජීවිතේ ගැන දන්නෙ නැහැ. මම සාමාන්‍යයෙන් එහෙම පුද්ගලික දේ ගැන හොයන්නෙත් නැහැ. මට වැදගත් වෙන්නෙ, ඔහුගෙ හඬ සහ ගීතයි. අදටත් මම දකින හදවතට දැනෙන, හරි පිරිසිදු හඬක් තිබූ ශිල්පියෙක්. එයා මගේ මාමණ්ඩිය නිසා වර්ණනා කිරීම් නෙවෙයි කරන්නෙ. එයාගේ ගීත එකක් -දෙකක් කියලා කියන්න බැහැ, ගීත බොහොමයකට මම ආසයි.

ප්‍ර සමහරු මුනුබුරාලා එයාලගෙ සීයලාගේ ගීත ගයනවා, ඒත් ඔබ සහ ප්‍රියංකරගෙ එකම  පුතු දිල්මින්ට සීයාගේ ගීත ගයන්න වැඩි කැමැත්තක් නැති වගයි පෙනෙන්නෙ? ඒ ගැන ඔබ දකින්නෙ කොහොමද? දිල්මින් රැඩිකල් චරිතයක්ද? නැතිනම් මොන විදිහෙ ස්වරූපයෙ කෙනෙක් කියලද හිතන්නෙ?

දිල්මින් පෙරේරා කියන්නෙ මම දකින විදිහට එයාගේ යුනික්නස් එක මනුස්සයකු විදිහට හදාගෙන තියෙන කෙනෙක්. එයාගේ දේ වලට ඇඟිලි ගහන්න මම කැමති නැහැ. සමාජයට හොර බොරු නැතුව ඉන්න උත්සාහ ගන්න කෙනෙක් වග පෙනෙනවා.  දැඩි ආශාවන්ට එයා ලොල් නැති වග පෙනෙනවා. වංචාව නැහැ. එයාගේ ජීවිතය හරිම සරලයි. ජීවිතේ තරගයක යන කෙනෙක් නෙවෙයි. කලාවේ සමහර දේ කරන්නත් එයා ප්‍රමාද සමහර විට, ජීවිතේ තරගයක් කරගෙන නැති නිසා වෙන්න ඇති. හැබැයි කරන දේ හොඳට ප්‍රැක්ටිස් කරලා කරන්න තමයි උත්සාහ කරන්නෙ. මම කවදාවත් හිතුවෙ නැහැ එයා ගායනයට ඒවි කියලා. මොකද එයා ඉගෙන ගත්තෙ වෙන විෂයයක්, ඒත් දෛවය-ජාන-පරම්පරාව, කියන මේ ඔක්කොම නිරායාශයෙන් පිහිටලා. මගේ අරමුණ වුණේ එයා වෙනත් ක්ෂේත්‍රයක නිරතවෙනවාට. ඒත් එයා දැන් වැඩි හිටියෙක්, ඒ වගේම, විවාහකයි. එයාගෙ තීන්දු -තීරණ එයාගෙ කැමැත්තට විය යුතුයි, කවුරුවත් ඉන්න ඕනෑ වෙනත් කෙනෙකු කියන ජීවිතයක නෙවෙයි. තමන් හරි ජීවිතයක් ගොඩ නඟා ගෙන හරි විදිහට යා යුතු ගමනක්. අවශ්‍ය වෙලාවට මම එයාට උදවු කරනවා, ඒත් වැරැද්දක් එහෙම ආරංචි වුණොත් මම ඒ ගැන ඝෘජුව අහනවා සහ අවශ්‍ය උපදෙස් දෙනවා.  හැබැයි ඒ දෙන්නාගේ ජීවිතවලට ඇඟිලි ගහන්න යන්නෙ නැහැ.

ප්‍ර විවේකයෙන් ගෙදර සිටියදී දිල්හානි ප්‍රියංකර එක්ක වැඩි පුර කතා වෙලා තියෙන්නෙ සහ කතා වෙන්නෙ මොනව ගේ විෂයන් ගැනද?

මාත් එක්ක එහෙම විෂයයන් ගැන කතා කරලා නැහැ. ගෙදරදී සාමාන්‍යයෙන් ගෙදරක වෙන කතා බහ සහ ඒ ස්වභාවය තමයි තියෙන්නෙ. එයා සිංදු අහන්න තමයි වැඩිපුරම කැමති, පැරණි චිත්‍රපට ගීත අහන්න. පැරණි චිත්‍රපට, තමයි එයා නරඹන්නෙ. මම ඊට වඩා වෙනස්. ලෝකයේ වෙන දේවල් ගැන, විශ්වය ගැන, දර්ශනය ගැන අවධානය යොමු කරන කෙනෙක්. මටම වගේ තර්ක කර ගන්න කෙනෙක්. දාර්ශනිකයින්ගෙ දේශණ අහන්න, පරිසරයෙ කාලය ගත කරන්න කැමති කෙනෙක්. හැබැයි සාමාන්‍ය ගෙදරක තීන්දු තීරන වලදී අපි දෙන්නම ඒ එකඟතාවයේ සිටින්නෙ.

සඳුන් ගමගේ