පින්කම ටෙලි නාට්‍යයේ අවුරුදු කුමාරයා වියළි ටෙලි නාට්‍යයේ ජයග්‍රාහී අධ්‍යක්ෂවරයා චන්දන ඉරුගල්බණඩාර


පරිසරය පුරාම අවුරුදු අසිරිය විසිර පැතිර තිබේ. කොහාගේ ඉමිහිරි නාදය, රබන්සුරල් රතිඤ්ඤා හඬ දසතින්ම ඇසෙන්නේය. හැම ගෙදරකින්ම හමා එන්නේ කැවිලිවල ඉමිහිරි සුවඳය. එහෙත් අවුරුද්ද සිය නිවසට නොඑන බැව් ඒ දුගී දැරිය දැන සිටියාය. එකතැන් වී සිටින තාත්තාගේ සාත්තුසප්පායම් කිරීමෙන් පසුව විඩාබර වූ ඇය පිල්කඩ මත වාඩි වී ඈත බලා සිටින්නට වූවාය. කිරි කැපීම වෙනුවෙන් ලැබෙන මුදල් ගෙන එන්නට රබර් වත්ත අයිති ගෙදරට ගිය අම්මා තවමත් ආවේ නැත.

“අවුරුදු කුමාරයා පාර වැරදිලා හරි අපේ ගෙදරටත් එන්න බැරි නෑ..” ඇය සිතන්නීය.

ඇයට සිහිපත් වන්නේ පාසලට ආ අලුත් ගණිත ගුරුවරයාය. පාසලේ ගුරුවරුන් අතරින් ඇයට කරුණාව දැක්වූ එකම ගුරුවරයා ඔහුය.  ඇය හැමදාම පාසල් යන්නේ අම්මා උදේම කිරි කපන්නට ගියාට පසුව තාත්තාගේ ආවතේව කර ගෙදර වැඩ නිම කිරීමෙන් අනතුරුවය.  එවිට පාසල ආරම්භ කර තිබේ. ඇය පන්ති භාර ගුරුතුමියගෙන් සහ විදුහල්පතිතුමාගෙන් හැමදාමත් දඬුවම් ලබන්නීය. ඇය ප්‍රමාද වී එන්නේ මන්දැයි ඔවුන් කවදාවත් ඇසුවේ නැත. ඒ ගැන ඇසුවේ අලුත් ගුරුවරයා පමණකි.

“ඒ සර්ටවත් අවුරුද්දට මාව මතක් වෙයි ද දන්නෙ නෑ..”

එසේ සිතමින් මඟ බලා සිටියදී ඇය දකින්නේ විදුහල්පතිතුමා පෙරටු කරගෙන සිය දුගී අලුත් ගුරුතුමා සහ පන්ති භාර ගුරුතුමියය. “අලුත් සර් වෙන්න ඇති අවුරුදු කුමාරයා..”
ඔවුන්ගේ මුහුණුවල පිරී ඇති සිනාව සහ අත්වල පිරී ඇති තෑගිභෝග දෙස ගල්ගැසී බලා සිටින දැරිය මුමුණා ගන්නීය.  

පින්කම ඒකාංගික ටෙලි නාට්‍යයේ අලුත් ගුරුතුමා ගේ චරිතය රඟ පානු ලැබුවේ චන්දන ඉරුගල්බණ්ඩාර විසිනි. ජයලත් මනෝරත්න, ජයනි සේනානායක ඇතුළු පිරිසක් සෙසු චරිතවලට දායක වූයේය. එය නිර්මාණය කළේ අතුල පීරිස්ය.

“ඒකාංගික වුණත් මිනිස්සු ඒ ගැන පැහැදීමෙන් කතා කරන තරමටම නාට්‍යය ජනප්‍රිය වුණා.. විදේශීය රටවල් කිහිපයකට ටෙලි නාට්‍ය උළෙලවල මෙය විකාශය වුණා.. අතුල පීරිස්ට සම්මානයක් හම්බ වුණා වගේ මතකෙකුත් තියෙනවා..” චන්දන කීවේය.

නළුවෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටි චන්දන අධ්‍යක්ෂවරයෙකු ලෙස දොරට වැඩියේ වියළි ටෙලි නාට්‍යයෙනි. පසු ගියදා පැවති රයිගම් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතක් එම ටෙලි නාට්‍යයට හිමි වූයේය.

“ඇත්තටම සම්මානය ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.. නිර්මාණයක් සාර්ථකයි කියලා උදම් අනන්න පුළුවන් වෙන්නේ ප්‍රේක්ෂක විචාරක යහපත් ප්‍රතිචාර සමසමව ලැබුණම තමයි.. වියළි ටෙලි නාට්‍යය හුඟක් ජනප්‍රිය වුණා.. ඒ හින්දම මගෙ හිතේ සම්මාන ගැන බලාපොරොත්තුවක් ඇති වුණා.. හැබැයි ටෙලි නාට්‍යය පටන් ගනිද්දී මගේ හිතේ තිබුණේ හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ රැඳෙන ආශාව විතරයි.”

ඔහු කීවේ සිය කුලුඳුල් අධ්‍යක්ෂණයම ජයග්‍රාහී වීමේ තෘප්තිය ගලා හැලෙන හඬකිනි.

චන්දන ඉරුගල් බණ්ඩාර ඉගෙනුම ලැබුවේ බලල්ල යූ. බී වන්නිනායක මහා විද්‍යාලයේය. ඒ කාලයේත් ඔහු කලා කටයුතු කෙරෙහි නැඹුරුවක් දැක්වූයේය. පාසලෙන් ඉවත් වූවාට පසු ඔහු කුරුණෑගල නිර්මාණි සිනමා සංස්කෘතික පර්ෂදයට සම්බන්ධ වී රංගනය ඇතුළු සිනමාවට සම්බන්ධ පාඨමාලා හැදෑරුවේය. එහි දේශනවලට ජයලාල් රෝහණ, ෂෙල්ටන් පයාගල ආදිහු ද පැමිණියහ. ජයලාල් රෝහණගේ නිර්මාණවලට දායක වෙන්නට ද ඔහුට අවස්ථාව ලැබිණි.  

“අපි ඉඳුවර අසපුව කියලා නාට්‍ය කණ්ඩායමක් හදාගෙන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පටන් ගත්තා.. ඒවා ලිව්වෙත් අපි.. රඟපෑවෙත් අපි.. අධ්‍යක්ෂණය කළෙත් අපි.. නාට්‍ය උළෙලවලටත් ඒවා ඉදිරිපත් කළා.. කණ්ඩායමේ මුලින් එකසිය තිස් දෙනෙක් හිටියා.. එකා දෙන්නා හැලිලා ගිහින් ඉතුරු වුණේ දහතුන් දෙනයි.. ඒකෙනුත් අන්තිමට ඉතිරි වුණේ මේ ක්ෂේත්‍රය ගැන හැබෑ ඇල්මක් තියෙන හය දෙනෙක් විතරයි.. ඒ හය දෙනාම මේ වෙනකොට ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා..”

තමා මෙතෙක් පැමිණි ගමනේ මං සලකුණු දෙස ආපසු බැල්මක් හෙළමින් චන්දන පැවසුවේය.

ගායකයෙකු වශයෙන් ද ජනප්‍රියව සිටි ඔහු 2003 දි කොළඹට පැමිණි එරන්දතී ලලිත කලායතනයෙන් සංගීත විශාරද උපාධිය ලබාගෙන එහිම ටික කලක් ඉගැන්වූයේය. එහෙත් ටෙලි නාට්‍ය පැත්තට යොමු වීම නිසා ඔහු තුළ සිටි ගායකයා කෙමෙන් යටපත් වූයේය.

“මම කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලාවේදී උපාධියට බාහිර ශිෂ්‍යයෙක් විදියට ලියාපදිංචි වුණා.. ටික කලක් ඉගෙන ගනිමින් ඉඳිද්දී මගේ අම්මා මිය ගියා.. ඒකෙන් මගේ ගමන පසුගාමී වුණා.. ඒ කාලෙ ජීවිතය සුවපහසු වුණේ නෑ.. මුදලක් උපයා ගන්න සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුණා.. ජූඩ් ශ්‍රීමාල් ඒ කාලේ මනමේ, සිංහබාහු, මහාසාර, නරි බෑනා වගේ නාට්‍ය ප්‍රදර්ශනය කරනවා.. අපි රෑට යනවා ඒවයෙ පෝස්ටර් ගහන්න.. පෝස්ටර් පන්සීයක් ගැහුවම රුපියල් හත්සීයක් හම්බ වෙනවා.. ඒ කාලෙ හත්සීයක් කියන්නෙත් අපිට ලොකු ගාණක්..” චන්දන කීවේය.

ඔහු මේ වන විට ටෙලි නාට්‍ය විසි පහක පමන රඟ පා තිබේ. ඒ හැම එකකම ඔහු රඟ පෑවේ එකකට එකක් වෙනස් චරිත වීම විශේෂත්වයකි. මේවා අතරින් වඩාත් ප්‍රිය කරන්නේ වන්ස් අපෝන් අ ටයිම් ඉන් කලම්බු ටෙලි නාට්‍යයේ චූලේ ගේ චරිතයට බැව් චන්දන කියන්නේය. 2020 ස්වර්ණවාහිනියේ විකාශය වූ එම නාට්‍යය රූගත කරනු ලැබුවේ මාලිගාවත්ත මහල් නිවාසවලය.

“චූලේ කියන්නෙ මැරයෙක්.. යටිකූට්ටු වැඩ කරන එකෙක්.. ඒත් මම ඒ චරිතයට හුඟක් කැමති වුණා.. මම ඒක සාර්ථකව රඟ පෑවා කියලා තේරුණේ මිනිස්සුන්ගේ ප්‍රතිචාරවලින්.. මේ අර කෙල්ල මරපු මැරයා නේද කියලා කෙනෙක් මට ගහන්නත් ගියා..”

ඔහු කීවේ සිනාසෙමිනි.

චන්දන විවිධ අංශවලින් දස්කම් පාන අපූරු පුද්ගලයෙකි. ඔහු තවත් තිදෙනෙකු හා එක්ව රස්තියාදුව නමින් කවි පොතක් ද පළ කර තිබේ. ඒ කවි පොතේ එක කවියකට අදහස ලැබුණේත් චූලේ චරිතය රඟ පාන කාලයේ බැව් ඔහු පැවසුවේය.

“ඒකේ ස්පා එකක දර්ශනයක් තිබ්බා.. මම කවදාවත් ස්පා එක්කට ගිහින් තිබ්බෙ නෑ.. ඒ හින්දම වැඩ කරන ගෑනු ළමයි දැක්කම කම්පනයක් ඇති වුණා.. ඒ හැඟීම තමයි කවියක් විදියට පිට වුණේ..”

ඔහු කීවේය. මේ ඒ කවියේ පද කිහිපයකි.

මාල හත්පොට දාලා ගම මැදින් ඔහු ළඟට
උජාරුවේ යන්නමයි හිටියේ..
ගම පුරා තොරණ බැඳ සනුහරේටම කියා
මඟුලකුත් කන්නමයි හිතුවේ
ආදරේ පිරි හදේ හිරි ඔතප් බිඳ දමා
ඔහු තමයි වාන් දොර හැරියේ
කෙත්බිම් ද පසු කරන්
ගම්දොරේ දුක දරන්
ගෙන්දගම් පොළවටයි ගැලුවේ..

චන්දි කොඩිකාර