ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන අසිනි


සවිනි යකුපිටියයි.

"මාස්ටර් සර් " බදා ගත්තු අසිනි ගැන ගොඩක් අය සමාජ මාධ්‍යයෙන් කතා කරන නිසා අපි හිතුවා මෙවර සඳැල්ල කතා බහට ඇයව එකතු කරගන්න. පුංචි තිරයෙන් හිතුවක්කාර රුවැත්තියක් ලෙස ඔබේ ආලින්දයට එන අසිනි, සැබෑ ජීවිතයේ ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය නමින් සවිනි යකුපිටියයි.

  ප්‍ර   ඔබ පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නෙ සෑහෙන කාලෙකට පස්සේ නේද?

ඔව්,  මම දැන් අවුරුදු දෙකකට කලින් "හිත ළඟ හිනැහුණා" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ, ලොක්කි සහ අළු පාට දේදුනු කියලා නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඊට පස්සේ ටික කාලයක් වැඩ භාරගත්තෙ නැතුව හිටියා. ඒ අතරෙ තව ලස්සන වැඩකට සම්බන්ධ වුණා, ඒක තාම විකාශය වෙලා නැහැ. ඒකත් ඉදිරියෙදි දැකගන්න ලැබෙයි. ඒ කාලෙ ඇතුළත මට වැඩ 18 ට විතර ආරාධනා ලැබුණත් මම ඒ එකක්වත් භාර ගත්තෙ නැහැ. මාස ගාණක් කිසිම වැඩක් භාර ගත්තෙ නැතුව හිටියා මම හොයන විදිහෙ චරිතයක් ලැබෙනකල්. එතකොට තමයි මට "මාස්ටර් සර්" නාට්‍යයේ අසිනි කියන චරිතෙ ලැබෙන්නේ. ඒ විදිහට තමයි මේක භාර ගත්තෙ.

  ප්‍ර   සවිනි නිර්මාණයක් භාර ගන්න කොට චරිතෙ ගැන ගොඩක් හිතනවා කියන්නේ ඇත්තද?

ඔව් මම හිතන්න ඕනෙ හැම විදිහටම චරිතෙ ගැන හිතන කෙනෙක්. මට කරන්න තියෙන දේවල් මොනවද? ප්‍රේක්ෂකයන්ට මගෙ චරිතෙ යන්නේ කොයි විදිහටද? කියලා ගොඩක් චරිතෙ ගැන අධ්‍යයනය කරලා තමයි මම මට සුදුසු චරිත භාර ගන්නේ.

 ප්‍ර  අසිනිගෙ චරිතෙ ගැන සවිනිට මොකද හිතෙන්නේ? 

අසිනි කියන්නේ හිතුවක්කාර අමුතු ළමයෙක්. එයා ගොඩක් පවුලෙ අයගෙන් ඈත් වෙලා කොළඹ තනියම ජීවත් වෙන ළමයෙක්. ඇය සමාජෙට රැවටෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒවත් එක්ක ඇය එක අවස්ථාවක ෆේස් බුක් එකෙන් කෙනෙක්ට ආදරේ කරලා ජීවිතේ වරද්ද ගන්න තැනකට එනවා. ඊට පස්සෙ තමයි ඇය ප්‍රබුද්ධ සර්ගෙ පන්තියට එන්නේ. ඒ දුක දරාගන්න බැරුව පන්තියට ඇවිත් ජීවිතේ නැතිකරගන්න හදන කොට තමයි ප්‍රබුද්ධ සර් ඒක නවත්තලා ඇයට ආයෙ ජීවිතේ දෙන්නෙ. ඒත් එක්ක තමයි අසිනි ටියුෂන් සර්ට තනියම ආදරේ කරන්න පටන් ගන්නේ. ඉතින් අසිනි කියන චරිතෙ ඉගෙන ගන්න ළමයෙක්ට නොගැළපෙන, අමුතු දේවල් කරන, අමුතු විදිහට හිතන වෙනස් චරිතයක්.

 ප්‍ර  සමාජ මාධ්‍ය හරහා නාට්‍යයේ ඇතැම් දර්ශන වයිරල් වීමත් සමඟ මොනවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබුණෙ?

මේ වෙද්දි ඇත්තටම චරිතෙත් එක්ක ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් බැනුම් තමයි අහන්න වෙලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ අසිනි කියන්නේ ඉගෙන ගන්න ළමයෙක්ට නොගැළපෙන වැඩ කරන කෙනෙක්. ඒවත් එක්ක සමාජෙ ඉන්න පාසල් ගුරුවරුන්ගෙන්, ටියුෂන් ගුරුවරුන්ගෙන්, ළමයින්ගෙන් සහ දෙමව්පියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ. හැමෝම කතා වෙන්නේ ඒ චරිතෙ සමාජෙට හොඳ ආදර්ශයක් දෙන්නෙ නැහැ කියලා. හැබැයි  මම කියන්නේ මුලින්ම නාට්‍ය බලන්න ඕනේ දෙන්නෙ හොඳ ආදර්ශයක්ද නරක ආදර්ශයක්ද බලන්න. මම කියන්නේ පිට කවරෙ විතරක් බලලා  තීරණය කරන්න එපා. මොකද  ටියුෂන් පන්ති යන ගෑනු ළමයින්ට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක් ඒක. ඒ නිසා මුල් ටික විතරක් බලල සහතිකය දෙන්න කලින් චරිතය මොන වගේද කියලා අධ්‍යයනය කරන්න කියලා තමයි මම කියන්නේ. ඒ නිසා නාට්‍ය අවසාන වෙනකල් බලන්න කියලා ආරාධනා කරනවා.

 ප්‍ර  "මාස්ටර් සර්" නාට්‍යයෙ ඇතැම් දර්ශන ඇත්ත සමාජයෙත් දකින්න ලැබෙනවා. සවිනිටත් ඒ වගේ අත්දැකීම් තියෙනවද?

ඔව්. තිර රචනය කරන කාවින්ද මලවිආරච්චි අයියා නිතරම අපි එක්කත් කතා කරලා අපේ අදහසුත් අරන් තමයි කතාව ලස්සනට ලියන්නේ. එහෙම අවස්ථාවක් තමයි  ළඟදි විකාශය වුණ මම සර් කෙනෙක්ට චොක්ලට් එකකින් ගහන දර්ශනය. ඒ දර්ශනය ගත්තෙ මම ඕලෙවල් කරන කාලේ ඇත්තටම වුණ සිදුවීමකින්. ඉතින් ඒ සිදුවීම අවුරුදු පහකට පස්සෙ ආයෙත් මට රඟ පාන්න අවස්ථාවක් ලැබුණා.

 ප්‍ර  ඇත්ත ජීවිතේ  සවිනි මොන වගේ කෙනෙක්ද ?

සවිනි කියන්නේ ඇත්ත ජීවිතේ අහිංසක කෙනෙක්. ටිකක් විතර තරහ යන හැබැයි ගොඩක් ආදරණීය චරිතයක්. 

 ප්‍ර  සවිනි රංගනයට පිවිසෙන්නේ කොහොමද?

මුලින්ම සහභාගී වුණේ වෙෙළඳ දැන්වීම්වලට. ඒ හරහා තමයි ටෙලි නාට්‍යවල රඟපාන්න  අවස්ථාව ලැබුණේ.

 ප්‍ර  මේ වෙන විට ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒක ඇත්තටම පොඩි කාලෙ ඉඳන්ම මගෙ තිබ්බ හීනයක්. හැබැයි මම දැනන් හිටියෙ නැහැ  ඒ හීනේ කොහොමද හැබෑ කරගන්නේ කියලා. කොහොමහරි මගේ ඒ තිබ්බ ආසාව තමයි අද මම මේ ඉන්න තැනට  ගෙනල්ලා තියෙන්නේ.  පාසල් කාලේත් මම වැඩිපුරම කළේ නර්තනය සහ සංගීතය. ඒකත් එක්ක මම ගොඩක් කලා කටයුතු තමයි පාසලේ දී කළේ. එතැනින් පටන් ගත්ත ආසාව නිසා තමයි මම උසස් පෙළ අවසන් කරලා රංගනයට එන්නේ. අතීතෙට ගිහින් ආපහු හැරිලා බැලුවොත් මට ඇත්තටම සතුටු වෙන්න හේතු ගොඩක් තියෙනවා. මොකද මට කිසිම අවස්ථාවක් සහ හැඳුනුම්කමක් තිබ්බෙ නැහැ. මම ඒ හැමදේම කරගත්තෙ තනියම.

ගොඩක් මහන්සි වෙලා කැපවීම් කරලා තමයි මේ ගමන ආවේ. ඉතින් තනියම නැගිට්ට කෙල්ලෙක් විදිහට මට මං ගැන තියෙන්නේ හරිම නිහතමානී ආඩම්බරයක්.

 ප්‍ර  මේ දිනවල වැඩකටයුතුත් මතක් කළොත්?

"මාස්ටර් සර්"නාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල කාර්‍යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව වෙෙළඳ දැන්වීම් කරනවා. තව අලුතෙන් භාර ගත්තු වැඩ දෙකක් තියෙනවා. ඒ වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා.

 ප්‍ර  පවුලෙන් ලැබෙන සහයෝගයත් අපි මතක් කරමු.

උපරිම සහයොගයක් ලැබෙනවා. අම්මා තමයි මට හැමදේම කරලා දෙන්නේ.රූගත කිරීම්වලට යන්න මගෙ තනියට එන්නෙ අම්මා. ඒ වගේම අක්කත් උපරිම සහයෝගෙ දෙනවා. අප්පච්චිත් මාත් එක්ක හිටියා නම් එයත් මට අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා,   මම හිතනවා එයා ඉන්න තැනක ඉඳන් මගේ දිහා බලන් ඇති. 

 ප්‍ර  ඉදිරි බලාපොරොත්තුව

මම ඇත්තටම ආසාවෙන් ඉන්නේ රිදී තිරයට එන්න. ටෙලිනාට්‍ය නිළියක් වෙනවට වඩා චිත්‍රපටි නිළියක් වෙන්න තමයි මම කැමති. ඒ නිසා තමයි ටෙලි නාට්‍ය අඩුවෙන් භාර ගන්නෙත්.

 ප්‍ර  සවිනි ආදරේ ගැන මොකද හිතන්නේ?

ආදරේ කියන්නේ හරි ලස්සන හැඟීමක්. ඒක අපි කොතන හිටියත් අපිට ඕනෙ දෙයක්. දෙන්නෙක්ගෙ ආදරේ ලස්සන වෙන්න ඒ දෙන්නගෙ අදහස් සමාන වෙන්න ඕනෙ, ඒ වගේම දෙන්නටම ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ නිසා ආදරේට හොඳ තේරුම් ගැනීමක් ඕනෙ කියලා මම හිතනවා.

 ප්‍ර  ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන් සමඟ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ? 

නව පරපුරේ රංගන ශිල්පීන් විදිහට ඇත්තටම ඒක අපිට ලොකු අවස්ථාවක්. මොකද එයාලගෙන් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ අය එක්ක වැඩ කරද්දි අපේ ගමනට තව අලුත් අත්දැකීම් එකතු කර ගන්න පුළුවන්. ඒ ගැන සතුටුයි.

කෞශල්‍යා ලක්ෂානි