ප්‍රකට නළුවන්ගේ දේශපාලන ගැටුම්


 

මෙකල මෙන්ම එකල ද නළු නිළියෝ, ගායක ගායිකාවෝ විවිධ පක්ෂවලට සහයෝගය දෙන්නට දේශපාලන වේදිකාවට නගින්නට අමතක නොකළෝය.   


එකල ජනප්‍රිය නළුවන් වූ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම මෙන්ම ජනප්‍රියතම ගායකයන් වූ එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු මේ කලාකරුවන් අතරින් කැපී පෙනුණි. ඒ හැරුණු විට ඇන්තනී සී. පොරේරා, ෂේන් ගුණරත්න ආදීහු 70වේ පෙරැළියේදී මුල් තැන් ගත්හ.   
70වේ පෙරැළියෙන් පසු චිත්‍රපට සංස්ථාව බිහි වී එහි ප්‍රථම විධායක සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩී.බී. නිහාල්සිංහ මහතා 1972දී වැඩ බාර ගත්තේය.   
එතැන් සිට ගාමිණී ෆොන්සේකා ඇතුළු කලාකරුවන් පිරිසක් නිහාල්ගේ ඇතැම් ප්‍රතිප්තති දැඩි ලෙස විවේචනය කරන්නට වූහ. සිනමාවේදී ඔවුන් කෙතරම් මිතුරන් වුව ද ඇතැම් වාද විවාද පත්තර පිටු පුරා එදා ඇදී යන්නට විය.   


හින්දි, දෙමළ ආදී චිත්‍රපටවලින් කොපි කරගත් කතා අනුකාරක ගීත එකල තහනම් විය. දළ සේයාපට ඇතුළු අමුද්‍රව්‍ය ලැබෙන්නේ චිත්‍රපට සංස්ථාවෙන් නිසා නීති රීතිවලට යටත් වන්නට සිනමා ශිල්පීන්ට සිදු විය. චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය ද සංස්ථාව සතු විය.   
නවකයකුට චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නට නම් ඊට කලින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර පෙන්වා බලපත්‍රයක් ලබාගත යුතු විය.   
තිස්ස අබේසේකර වැනි කලාකරුවන් කීවේ කැමරාවේ ඇණ මුරිච්චි ගණන දැනගත්තාට හොඳ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වීමට නොහැකි බවයි.   


ගාමිණී ෆොන්සේකා ඔහුගේ සුපුරුදු වාග් ශෛලියෙන් මේ අධ්‍යක්‍ෂවරුන් හැඳින්වූයේ ‘විනාඩි දහයේ සිනමා විශාරදයන්’ හැටියටය.   
“සිනමා හෝඩියේ අයන්නවත් නොදන්න අධ්‍යක්‍ෂලා මේ රටේ නම් පඳුරක් ගානෙ ඉන්නවා. ඒ අතරට ඒ වල්ලෙම මිනිත්තු දහයේ අධ්‍යක්‍ෂ විශේෂයකුත් පහළ වෙලා ඉන්නවා. විනාඩි දහයක කෙටි චිත්‍රපටයක් කරලා විනාඩි දහයකින් මුළු සිනමාවම ඉගෙන ගන්නා මිනිත්තු දහයේ මේ මෝඩ රැල ගල් ගහන්නේ කාට ද? ලෙස්ටර් පීරිස්ටයි.”   


“මේ මිනිත්තු දහයේ මෝඩයෝ මෝඩ විචාරකයන් රැලකුත් එකතු කරගෙන එක එකාට ගරහ ගරහා තමන්ටම ඔප්පු තිරප්පු ලියන අලුත් බයිස්කෝප් කලාවක් හදාගෙන යනවා. මේ බයිස්කොප් විශාරද උන්නැහැලාගේ අලුත්ම ශෛලිය ව්‍යාකරණය මරා දැමූ චිත්‍රපට හදන එකලු.”   
“මේ ළඟදී මම මගේ යාළුවෙක්ගේ ඉල්ලීමට ඔය අලුත් විශාරදයකුගේ චිත්‍රපටයක් බලන්න ගියා. එහි එක දර්ශනයකදී එකම කාර්එක එකම වෙලාවෙ හැම පැත්තෙන්ම එනවා.”   
“මම ඇහුවා මේ එකම කාර් එක එකම වෙලාවෙදි හැම පැත්තෙන්ම එන්නෙ මොකද කියලා. එවෙලෙ මගෙ මිත්‍රයා උත්තර දෙනවා ‘ඕකනෙ අලුත්ම ශෛලිය’ කියලා.”
ගාමිණී මේ කෙටි චිත්‍රපට ලයිසන් ක්‍රමයට විරුද්ධ වූ ආකාරය ඒ වාග් ශෛලියෙන්ම පෙනෙයි.   
ඉන් පසු 77 පෙරැළියේ ජේ.ආර්. ජයවර්ධන මහතා බලය ලබා නව ආණ්ඩුවක් පිහිටු වූ විට එ.ජා.ප.යට සහයෝගය පළ කළ ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රම චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් විය.   
එකල බොහෝ නළු නිළියන්ට, ශිල්පීන්ට නිෂ්පාදකයන් මුදල් කොටසක් ගෙව්වේ​ ආෆ්ටර් රිලීස් ක්‍රමයට නොගොස් චිත්‍රපට තිරගත කිරීමෙන් පසුවය.   


ඇතැම් නිෂ්පාදකවරුන් චිත්‍රපට තිරගත කිරීමෙන් පසු මුදල් නොගෙවා කට්ටි පනින බව ජෝ අබේවික්‍රම එදා පැවැසීය.   
මේ නිසා කපටි නිෂ්පාදකයන්ගෙන් අසරණ නළු නිළියන් මුදා ගැනීම සඳහා ‘ආෆ්ටර් රිලීස්’ ක්‍රමයට මුදල් ගෙවීම නතර කර දමන මෙන් අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව ජෝ පැවැසීය.   
එය නව අධ්‍යක්‍ෂ මණ්ඩලය පිළිගත් අතර, කිසියම් නිෂ්පාදකයකුට තිරගත කිරීමෙන් පසු මුදල් දීමට පහසුකම් දීමට නම් එය සංස්ථාවට දැන්විය යුතු බවත්, එවිට ඔවුන්ගේ එම මුදල සංස්ථාවෙන් ලබාගැනීමට පහසුකම් යොදන බවත් ජෝ එදා පැවැසීය.   
චිත්‍රපට තිරගත කිරීමේදී එම මුදල් එන්නේ සංස්ථාවට නිසා එය පහසුවෙන් කළ හැකි විය.   
එකල ජේ.ආර්. ජයවර්ධන මහතාට වඩාත්ම සමීප වී සිටි නළුවා ජෝ විය යුතුය. ඔහු වරෙක පැල්මඩුල්ල ආසනයෙන් පාර්ලිමේන්තු අසුනක් තරග කිරීම සඳහා ජේ.ආර්.ගෙන් අවසර ඉල්ලීය. එහෙත් ජේ.ආර්. ජෝ ට කියා ඇත්තේ, “දේශපාලකයෝ ලංකාවෙ ඕනෑ තරම් ඉන්නවා, ඒත් ජෝ අබේවික්‍රමලා ලංකාවට ඉන්නෙ එක්කෙනයි” කියාය. ඉල්ලීම එතැනින් ලොප් විය.   


මේ කාලය වනවිට ද ගාමිණී හා ජෝ අතර ඇයි හොඳයියක් නොවීය. එකල චිත්‍රපටවලට රඟපෑව ද පසුව ඔවුහු එකට රඟ නොපෑවා පමණක් නොව කතාබස් කිරීමෙන් ද වැළකී සිටියහ.   
‘වැලිකතර’ චිත්‍රපටය රූගත කරද්දී මේ විරසකය බෙහෙවින් දක්නට හැකි විය. ‘වැලිකතර’ රූගත කිරීමේදී ජෝ හා ගාමිණී නැවතී සිටියේ යාපනය ප්‍රදේශයේ බොහෝ ඈතින් පිහිටි නවාතැන්වලය. ඒ එකට හමුනොවන්නටය. දර්ශන තලවලදී ඇතැම් අවස්ථාවලදී දැඩි වාද විවාද ඇති වූ බව ද කියැවෙයි.   
කෙසේ වුව ද ඔවුන් සිනමා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ බව අමතක කළ නොහැකිය.   
ජේ.ආර්. සමයේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්වූ උපසේන මාරසිංහ මහතා ද පසුගිය වසර පහේ සංස්ථාව ගැන දැඩි විවේචනයක් නොකළේය.   
“චිත්‍රපට සංස්ථාව ආරම්භ කර දැනට අවුරුදු පහකට වැඩියි. මේ කාලය තුළදී සංස්ථාවෙන් සෑහෙන හොඳ වැඩ කොටසක් කෙරිලා තියෙනවා. ඒක අපි කියන්න ඕනෑ. ඒ වගේම නරක වැඩ කෙරිලත් තියෙනවා.”   
“කලාකරුවා කියන්නේ නිදහස් පුද්ගලයෙක්. එවැනි අයගෙන් නීති රීති දමලා වැඩ ගන්නත් බෑ. එහෙම කිරීම අපරාධයක්.”   


ඒ කාලයේ නව පාලක මණ්ඩලයෙන් තිර කතා අනුමත කිරීම ප්‍රමාද විය. ඒ නිසා සිදු වූයේ චිත්‍රපට නිෂ්පාදන කටයුතු ද ප්‍රමාද වීමය.   
එකල කලා පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියකින් කියැවුණේ තිර කතා අනුමත කර නැති නිසා දෙතුන් මසකට පෙර කාර්ය බහුල වී සිටි ජනප්‍රියම නළු නිළියන් වූ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියානි අමරසේන ආදීන් වැඩ නැති වීම නිසා විවේක සුවයෙන් පසුවන බවය. එමෙන්ම චිත්‍රාගාරවල ද නිහඬ බවක් පෙනෙන්නට ඇති බවය.   
චිත්‍රපටයක් නිපදවීම සඳහා කලින් තිර කතාව අනුමත කිරීමේ වැඩපිළිවෙළ ජනප්‍රිය වූවක් නොවීය. ජනප්‍රිය චිත්‍රපට නිපදවූ අධ්‍යක්‍ෂවරුන් පසු කල සංස්ථාවෙන් ලබාගත් තිර කතාවලින් නිපදවූ ඇතැම් චිත්‍රපට අසාර්ථක විය. උදාහරණයකට තිමති වීරරත්න ගත හැකිය.   
ඔහු කලින් අධ්‍යක්‍ෂණය කළ ‘මේ දෑස කුමටද?’, ‘සංගීතා’ ආදී චිත්‍රපට දින සියය ද සපුරා ප්‍රදර්ශනය වූ අතර, එම නළු නිළියන්ම (විජය, මාලිනී) ප්‍රධාන චරිත රඟපෑ ඔහුගේ ‘රජ දවසක්’ චිත්‍රපටය අසාර්ථක විය. ‘රජ දවසක්’ තිර කතා මණ්ඩලයෙන් අනුමත වූ තිර කතා පිටපතකි.   


තිමති ඊට කලින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වූයේ තුන් ඈඳුතු ප්‍රේම කතාවකි. එහෙත් එහි කතාව හින්දි චිත්‍රපටයකට නෑකම් කියන බව පවසා සංස්ථාවෙන් ප්‍රතික්ෂේප විය. ඒ සඳහා ඔහු තෝරාගෙන සිටියේ විජය, මාලිනී හා ශ්‍රීයානි අමරසේනය.
 රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තිර නාටක බැංකුව ජනප්‍රිය නොවීම ගැන එකල වාණිජ වශයෙන් සාර්ථක චිත්‍රපට රැසක්ම අධ්‍යක්‍ෂණය කළ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා කීවේ තිර නාටක බැංකුවට එන බොහෝ නිර්මාණ ආධුනිකයන්ගේ බවයි.   
“ඔවුන් ළඟ ප්‍රබල කතා තියෙනවා. ඒත් සිනමාව ගැන හොඳ අවබෝධයක් නැති කෙනෙකුට හොඳ තිර නාටකයක් ලියන්න බෑ. ඒක නිසා කළ යුත්තේ චිත්‍රපට කතා බැංකුවක් ඇති කිරීමයි. හොඳ කතා රචකයන් තිර නාටක ලියන්න බැරි නිසා අතරමං වී සිටිනවා.” ඒ ඔහුගේ අදහස විය.   
දේශීය සිනමාව රැක ගැනීම වෙනුවෙන්, ගාමිණී, ජෝ, විජය කුමාරතුංග වැනි ශිල්පීන් කැපවූයේ අවංකවමය. ඔවුනට සිනමාවෙන් තොර වෙනත් ජීවිතයක් නොවීය.   
වරෙක මා සේවය කළ පුවත්පතක හින්දි නළු නිළියන්ගේ දින දර්ශන පෙළක් ඉදිරියේදී ලබාදෙන බව පළ කළෙමි. ඒ කිට්ටුවම දිනෙක විජය මට හමු වූ විට පැවැසුවේ “ඇයි හින්දි ඒවා දාන්නේ. කාගෙ වුණත් කමක් නෑ අපේ අයගේ ඒවා දාන්න.” කියාය.   


බොහෝ පිරිස් ප්‍රකාශ කළේ විදේශ චිත්‍රපට වැඩියෙන් පෙන්වීම නිසා දේශීය සිනමාව පිරිහී යන බවය. එයට පක්‍ෂ, විපක්‍ෂ හෝ පෞද්ගලික අමනාපකම් අදාළ නොවීය.   
ගාමිණී - ජෝ පසු කල එකට රඟ නොපෑවා පමණක් නොව ගාමිණී - විජය ද වසර 12ක් පමණ එකට රඟ නොපෑහ.   
එමෙන්ම ගාමිණී - මාලිනී මෙන්ම විජය - මාලිනී ද සිනමා තිරයෙන් පසු කල දැකගත නොහැකි වූයේ විවිධ අමනාපකම් නිසාය. එහෙත් ඔවුහු සිනමාව රැක ගැනීමට කටයුතු කළහ.   
ගාමිණී, එවක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාට පෞද්ගලිකව කතා කර හමුවී  දේශීය චිත්‍රපටවලට එල්ල වී ඇති විදේශීය චිත්‍රපට තර්ජනය ගැන සාකච්ඡා කළේය.   
ඉන්දීය චිත්‍රපට මෙරට පෙන්වීම ගැන යමක් කිව හැකිදැයි මාධ්‍යවේදියකු එවක සංස්ථා සභාපති උපසේන මාරසිංහ මහතාගෙන් ඇසූ විට දුන් පිළිතුර කදිමය.   
“නවදිල්ලි උළෙලේදී ‘රණ මයුර’ සම්මානය දිනූ ‘ගම්පෙරළිය’ වැනි චිත්‍රපටයක්වත් ඒගොල්ලො අපෙන් මිලදී ගත්තෙ නෑ. ඒත් අපි ඒගොල්ලන්ගෙ චිත්‍රපට මිලදී ගන්නවා. අසාධාරණය අන්න ඒකයි. හිටපු ලොක්කෝ කිසි කෙනෙක් අපේ චිත්‍රපටයක් ඉන්දියාවට විකුණන්න උත්සාහ ගත්තේ නෑ.” ඒ ඔහුගේ පිළිතුර විය.   
කෙසේ හෝ සංසථාව ආරම්භ කළ මුල් කාලයේ චිත්‍රපට තේරීම් සඳහා සංස්ථාවෙන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඉන්දියාවට ගියහ. එය බොහෝ විටෙක දැඩි විවේචනයට බඳුන් වූවකි. එහිදී විවිධ අක්‍රමිකතා සිදු වූ බවට චෝදනා නැගුණි.   


එහෙත් නව සභාපති ලෙස පත්වූ මාරසිංහ මහතා කීවේ “එහෙම ආරංචි තියෙනවා. ඒත් ඒවායේ ඇත්ත නැත්ත ගැන මට මොකුත් කියන්න බෑ” කියාය.  
“කෝටි ගණනක් වටිනා චිත්‍රපට ගන්න දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් ගිහිල්ලා පුළුවන් ද කියලා මට නම් ප්‍රශ්නයක්. ඒ ගොල්ලෝ මේවා කොහොම තේරුවා ද කියන එකත් මට ප්‍රශ්නයක්. හැබැයි මීට පස්සේ කිසිම කෙනෙක් චිත්‍රපට මිලදී ගන්න පිටරට යන්නෙ නෑ. අපි චිත්‍රපට මෙහෙට ගෙන්න ගන්නවා. ඊට කලින් ඒ චිත්‍රපටවල කැටලොග් ගෙන්වාගෙන බලනවා. විදේශ විනිමය නාස්ති කරගෙන පිටරටවල සවාරි යන්න මටවත් මගේ අධ්‍යක්‍ෂ මණ්ඩලයටවත් අවශ්‍ය නෑ.” ඔහු එදා වැඩිදුරටත් පැවැසීය.  
ඒ හැත්තෑව දශකයේ සිනමාවේ අර්බුද හා විවේචනය. කොතරම් සක්‍රිය අයුරින් චිත්‍රපට කර්මාන්තය තිබුණේදැයි දැනගන්නට මේ කරුණුම ඇතැයි සිතමි.   
එදා හින්දි නළු නිළියන් තරමටම අපේ ගාමිණී, විජය, ජෝ, මාලිනීලා ජනතා ආකර්ෂණය දිනා ගත්හ. ඔවුන්ගේ චිත්‍රපටවල මංගල දර්ශන අගනුවර සිනමාශාලාවල පැවැත්වෙද්දී වේලාසනින්ම ප්‍රේක්ෂකයෝ සිනමාහල් අසලට රොක් වූහ.  


බොහෝ විට මංගල දර්ශනවලට සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට සහභාගි වීමට නොහැකි වුව ද ඔවුහු නළු නිළියන් දැකගන්නට හැන්දෑවේ 6ට නළු නිළියන් දැකගන්නට සිනමාශාලා අසලට පැමිණෙන්නට අමතක නොකළහ.   
මේ තත්ත්වය හැත්තෑ ගණන්වලදී ද තිබිණි. අද ද ඉන්දියාවේ විවිධ අවස්ථාවලට නළු නිළියන් සහභාගි වීමේදී තවමත් ඒ තත්ත්වය දක්නට ලැබෙයි. එපමණක් නොව ඉන්දියානු නළු නිළියන් ශ්‍රී ලංකාවට පැමිණි විට ද මෙරට ප්‍රේක්‍ෂකයන් තුළ ඇත්තේ ද එවන් තත්ත්වයකි.   
ශ්‍රී ලංකා සිනමාවට සිදු වූයේ කුමක් ද? අද ජනතා ආකර්ෂණය දිනාගත් ගාමිණී, විජය හෝ ජෝ ජීවතුන් අතර නැත. ඔවුන් සමගම සිනමාවේ විචිත්‍රත්වය මැකී ගියා ද?   


එහෙත් 1938 දී ශ්‍රී ලංකාවේදී හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සහභාගි වී නැති බව පවසන්නේ සුප්‍රකට සිනමා ලේඛකයකු වූ ඩී.වී. සෙනෙවිරත්නයන්ය. ඔහුගේ තොරතුරු අනුව කොළඹ රීගල්, එම්පයර්, ඔලිම්පියා, එල්ෆින්ස්ටන්, කැපිටෝල්, නැෂනල්, ටවර්, වැල්ලවත්තේ ප්ලාසා සිනමාහල් තිබූ බව වාර්තා වෙයි.   


1938 දී හින්දි චිත්‍රපට බැලීමට වඩා සිංහල නාට්‍ය බැලීමට ප්‍රේක්ෂකයන් පැමිණිය ද 1947 ජනවාරි 21 වැනිදා ‘කඩවුණු පොරොන්දුව’ තිරගත කිරීමත් සමගම ඒ සියල්ලම වෙනස් වී ගියේය.  
අද සිංහල සිනමාවක් ඉතිරිව තිබේ ද? 70 දශකයේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය බැව් බොහෝ දෙනා සලකති.   
අද අපට ඉතිරිව ඇත්තේ සිංහල සිනමාවේ රසබර අතීත මතක පමණක් ද? 

 

 

රොඩ්නි විදාන පතිරණ