හෙමින් හෙමින් ගිය කලා ජීවිතේ රංගනය සම්බන්ධයෙන්ම පැවති රියැලිටියක් නිසා වේගවත් කරගත් ඔහු දැන් රංගන ක්ෂේත්රයේ තම නම ඉහළින්ම සනිටුහන් කරමින් සිය දක්ෂතා පෙන්වමින් සිටියි. මේ දිනවල නාළිකා කිහිපයකම ටෙලිනාට්‍ය හා සම්බන්ධ වෙමින් තම වෘත්තීය ජීවිතය එළිපෙහෙළි කරමින් සිටින සංජය මුරමුදලි නම් තරුණ රංගන ශිල්පියා සමඟයි මෙවර සැඳැල්ලේ කතාබහ..
ප්‍ර කොහොමද මේ දවස්වල සංජය කාර්ය බහුලයි ද?
ඇත්තටම ටිකක් කාර්ය බහුලයි. නමුත් ඒ කාර්ය බහුලවීම ගැන සතුටුයි. මොකද මම හැම වෙලේම හිතන්නේ වැඩ කරන එක තමයි හොඳ කියලා. කතාවක් තියෙනවා පර්ස් එක බලන්නේ නැතුව වියදම් කරන්න නම් වෙලාව බලන්නේ නැතුව වැඩකරන්න ඕන කියලා. ඉතින් මගේ ඔළුවේ ඒ කතාව හැම වෙලේම තියෙනවා. එහෙම නිදිමැරුවත්, මහන්සි වුණත් මම ඒ කාර්යබහුලත්වය ඇතුළේ සතුටු වෙන්න තියෙන අවස්ථා මඟ හරින්නේත් නැහැ. ඒ නිසා වෙන්න ඇති කොයිතරම් මහන්සි වුණත් ඒක දුකක් කියලා දැනෙන්නේ නැත්තේ.
ප්‍ර කලා කටයුතු ගැන කියමුද?
කලා කටයුතු ගැන කීවොත් මේ දිනවල ලොකු කතාබහක් යන්නේ ස්වර්ණවාහිනියේ විකාශනය වන මා කියන ටෙලිනිර්මාණය ගැන. ඒක දුෂ්ට චරිතයක්. ඒ නිසා ටිකක් බැනුම් අහන්න තියෙනවා. ඒ වගේම සිරස නාළිකාවේ විකාශනය වන ආලවන්ති ටෙලි නාට්‍යයටත්, ජාතික රූපවාහිනීයේ විකාශනය වන අමුතු දීගේ ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. මේ චරිත හැම එකක්ම වගේ එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ දේවල් හරි සතුටින් කරගෙන යනවා. ඊට අමතරව මම මගේ නිවේදන කටයුතුත්, වේදිකා නාට්‍ය වැඩකටයුතුත් සාමාන්‍ය පරිදි කරගෙන යනවා. තව විශේෂ දෙයක් තමයි මේ දවස්වල මට සංගීත ප්රසංගවලටත් ආරාධනා ලැබෙමින් පවතින එක. ඉතින් මේ දේවල් තමයි කලාව පැත්තෙන් වෙන්නේ.
ප්‍ර රිදී තිරයේ අලුත් නිර්මාණ මොනවාද?
ඉන්දියන් දමිළ සිනමාපටයකට සම්බන්ධ වුණා. එහි ප්‍රධාන නිළිය සහ අධ්‍යක්ෂකවරයා ඉන්දියාවේ. ඉතින් තවත් නොබෝ දිනකින් එය සිනමා ශාලාවල දකින්න ලැබේවි. රිදී තිරයේ ඒ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඒ වගේම අර්ජුන කමලනාත් මහතාගේ සම්බන්ධ කිරීමකින් තවත් අලුත් සිනමා පටයකට එක්වෙන්න සාකච්ඡා පවත්වාගෙන යනවා. ඒ ගැන ඉදිරියට කතා කරමු.
ප්‍ර කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මට කාලෙන් කාලෙට විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ලැබෙන්නේ අපි ඒ ඒ කාලවල කරන විවිධ චරිත අනුවනේ. අමුතු රසිකයා කරපු කාලේ මම දිහා පවු කියලා බලපු ප්‍රේක්ෂකයෝ මා එකේ රන්දික ඔබ නිසා හි චාලක වගේ චරිතවලට දුන්නේ ඔයා දැක්කම මට සෙරෙප්පුවෙන් ගහන්න හිතෙනවා වගේ ප්‍රතිචාර. සමහර ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. නමුත් මම හිතන්නේ ඒ චරිතවලට ඒ අදහස එනවා කියන්නේම මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියන දේයි. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සතුටුයි ඒ ගැන.
ප්‍ර තරුණ රංගන ශිල්පියෙක් විදිහට ඔබ මේ ආපු ගමන ගැන මොකද හිතන්නේ?
මගේ ගමන් මග ඇත්තටම කටුකයි. මම විදී නාට්‍ය, වේදිකා නාට්‍ය, අංග රචනය සහ සහය අධ්‍යක්ෂණය වගේ දේවල් කරලා තමයි මේ ක්ෂේත්රය ඇතුළෙත් රැඳිලා හිටියේ. ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහට මගේ හැරවුම් ලක්ෂය වුණේ සිරස ෆිල්ම්ස්ටාර්-2018. මේ නිසා මට ගොඩක් අවස්ථා ලැබුණා. ඒ කාලේ ඉඳන්ම මට එකම කාල පරාසයක් ඇතුළේ නිර්මාණ 5-6ක් වගේ ලැබුණා. දැනටත් එහෙමයි. ඉතින් මම හිතන්නේ ඒක මට ලැබුණු වාසනාවක් කියලා. ඉතින් මම මේ ඇවිත් තියන ගමන ගැන සතුටුයි.
ප්‍ර ඔබේ අලුත් පරම්පරාවට යම් යම් චෝදනා තියෙනවා ටික් ටොක්, රියැලිටි වගේ දේවල් නිසා ආපු නමුත් ක්ෂේත්රය ගැන ඉගැනුමක් නැති පිරිසක් ඉන්නවා කියලා. මේ ගැන ඔබේ අදහස මොකද්ද?
ඒක සාපේක්ෂයි. අපිට මාර්ග ගොඩක් තියෙනවා මේ ක්ෂේත්රයට එන්න. නමුත් එතනදි ඒ හැම දෙයක්ම කරන්නේ රංගනයට පිවිසෙන්නම නෙවෙයි. අපි බලන්නේ ඒ අදාළ ෆැල්ට්ෆෝම් එක භාවිතා කරන ප්‍රේක්ෂකයාගේ රසවින්දනය වෙනුවෙන්. හැබැයි එතැනත් හොඳ සහ නරක කියලා කොටස් දෙකක් තියෙනවා. ඇත්තටම ක්ෂේත්රයට එන්න ආස දක්ෂ නමුත් එන්න මගක් නැති අයට ඒක හොඳ අවස්ථාවක්. ඒකේ අවාසනාවන්ත කොටස තමයි. ජනප්‍රියත්වය මත වෙනයම් අරමුණු ඇතිව මේ ක්ෂේත්රයට එන පිරිස නිසා කලාව තුළ ඇතිවන පිරිහීම. මගේ අදහස කොහොම වුණත් මේ හැමදේම තියෙන්න ඕනැ කියන එකයි.
ප්‍ර රංගනයට අත්පොත් තියනකොට සංජයට තිබුණ බලාපොරොත්තු දැන් ඉෂ්ට වෙමින් යනවාද?
මම හිතන්නේ මම තාම ඒකට එනමඟ ඉන්නේ. කලින් දැකපු හීන සැබෑ වෙනකොට අපි තුළ තවත් අලුත් හීන මැවෙනවා. ඉතින් මම දැන් ඒ හීන සැබෑ කරගන්න උත්සහ කරනවා.
ප්‍ර සංජය කලා තරුවල ගොඩක් විවාහ උත්සවවල දෙවන මනමාලයා ලෙසින් දකින්න ලැබෙනවා. සංජය කවද්ද මනමාලයාට අදින්නේ?
තාම ඒ ගැන හිතලා නැහැ. විවාහය කියන්නේ අපි තව කෙනෙක් ගැන හිතන්න ඕන අවස්ථාවක්. මම හිතන්නේ තාම ඒ වගේ බර දෙයක් ගැන හිතන්න තරම් මම සුදුසු මදි කියලා. හැබැයි දවසක් ඒවී.
ප්‍ර ඔබේ ආදරවන්තිය අපූර්වා ගැනත් මතක් කරමු?
දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහා තමයි ඇයව ප්‍රේක්ෂකයන් හඳුනාගන්නේ. ඇය කලා ක්ෂේත්රයට හොඳ කෙනෙක්. ඒ වගේම මගේ ජීවිතේටත් සහයෝගය දීලා මගේ ඉදිරිය වෙනුවෙනුත් කැපවෙන කෙනෙක් වුණා. ඒක මගේ ජිවිතේට හොඳ වටිනාකමක්.ඇය දක්ෂ, ආදරණීය, නිතරම පොඩි ළමයෙක් වගේ හැසිරෙන හොද කෙනෙක්.
ප්‍ර ඇයත් දැන් රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබ ඒවා නරඔනවාද?
ඔව් දැන් ඇය දෙරණ නාළිකාවේ සංගීතේ සහ ජාතික රූපවාහිනීයේ අමුතු දීගේ කියන ටෙලිනාට්‍ය දෙකෙහිම රංගනයෙන් දායක වෙනවා. ඇයත් ඒ රංගන කටයුතු දක්ෂ ලෙස කරනවා. මමත් ඒ දේවල් බලනවා.
ප්‍ර ඒ දේවල් බලලා ඔබ ඇයට දෙන අදහස් මොනවාද?
මට ගොඩක් වෙලාවට ඇයට වඩා රංගනයේ දැවැන්ත චරිත සමඟ වැඩ කරන්න ලැබිලා තියන නිසා තරමක් හොඳ අත්දැකීම් තියනවා. ඒ නිසා මම ඇයට අපහසු තැන්වලදී වෙනස්කම් කරන්න උදව් කරනවා. ඇය ඇයගේ සෙමින් ගමන ඇතුළේ බොහෝ වේලාවට සාර්ථකයි.
ප්‍ර ඔබ වැඩිපුරම කැමති ඇය ගායිකාවක් ලෙස දකින්නද රංගනශිල්පිනියක් ලෙස දකින්නද?
මම වඩාත්ම කැමති ඇය ගායන ශිල්පිනියක් විදිහට දකින්නයි. මම ඇගේ කටහඬට හරිම ආසයි. ඒක අහන්න හිතෙන, හිතට ළැදි හඬක්. ඇත්තටම රංගන ක්ෂේත්රයට එන එක පහසුයි නමුත් ගායිකාවක් ගායකයෙක් වෙන්න හැමෝටම බැහැ. ඉතින් ඒ නිසා මම ඇය ඒ විදිහට දකින්න ආසයි.
ප්‍ර ඔබේ ගමනට හයියක් වෙන පවුලේ අයවත් මතක් කරමු?
මගේ පවුලේ අම්මයි, අප්පච්චියි, නංගියි තමයි ඉන්නේ. නංගි දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඇත්තටම මම අද මෙතන ඉන්නේ ඒ අය වෙනුවෙන්. ඒ අය සතුටින් තියන්න ඕන. ඒ අයට හැම දේම දෙන්න ඕන කියන අරමුණ නිසා. ඉතින් මම මෙතනට එන්න එයාලා තමයි මුල් වුණේ. ඒ වගේම මා වටා හොඳ මිතුරන් පිරිසක් සහ ආදරණීයන් පිරිසක් හිටියා. ඒ නිසා තමයි අද සංජය මුරමුදලි කියලා කෙනෙක් ලංකාවක්, ලෝකයක් හදුනාගන්නේ.
ප්‍ර සංජයගේ කලා ජීවිතේ ලොකුම බලාපොරොත්තුව මොකද්ද?
කවද හරි දවසක සංජය මුරමුදලි කියන කෙනාව ආදර්ශයට අරන් තව කෙනෙක්ට හැදෙන්න පුළුවන්, මේ දේවල්වලින් තව කෙනෙක් හැදෙන්න ඕන කියලා හිතනවා නම් ඒක තමා ලොකුම බලාපොරොත්තුව. මම තවමත් ඉගෙන ගන්න මට්ටමින් ඉන්නේ. ඉතින් අධ්යක්ෂණයට එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ විදිහට කවදාක හරි කලාවේ හොද නිර්මාණ බිහිකරන්න තමයි හිතන්නේ.
දුලක්ෂි ලියනගේ