මළවුන්ගේ
අනාවරණ
දෙව්මිගේ නිසල සිරුර දෙස බලාගෙන ඉකිබිඳින, හූල්ලන, ඇගේ මව්පියන් වන සෙනෙවිරත්න හා ෂෙරෝන් යුවළ වෙත කාගේත් අනුකම්පාව යොමු විය. මෙම යුවළ තුළ තිබුණේ තමන් විසින්ම එකම දියණිය විනාශ කර ගත්තා වැනි හැඟීමකි. ඔවුන් තුළ එවැනි පසුතැවීමක් ඇති වූයේ නම් එහි වරදක් නැතැයි දෙව්මිගේ කතාව අහන ඕනැම කෙනෙකුට සිතෙනු ඇත.
‘‘දෙව්මිට මොකද වුණේ ?’’ ඇගේ නිසල සිරුර දෙස බලා සිටිනා හැම කෙනෙක් තුළම ඒ කුකුස ඇතිවිය. මන්ද යත් ඇය අසනීප වන තුරුම ඉතාමත් කඩිසරව කටයුතු කළ හා කෙළිලොල්ව සිනාමුසු මුහුණින් යුතුව ජීවත්වුණ ආකාරය ඒ කවුරුත් දැක තිබූ බැවිණි. එසේම පාසලේ සිටි දක්ෂතම දැරියක වූ ඇගේ මරණය පාසලේ ගුරුවරුන්ටද අදහා ගත නොහැකි විය. ලංකාවෙන් ඇවිත් ඉතාමත් කෙටි කලක් තුළදී චතුර ලෙස ඉංග්‍රීසි බස කතා කරන්නටත්, ලියන්නටත් හැකිවීම ගුරුවරුන් කෙරෙහි ඇය කඩිනම්ව මතක සටහනක් තැබීමට හේතු පාදක වන්නට ඇත. ඇය මිය යන විට සිටියේ කැනඩාවේ ටොරොන්ටෝවලය. ඉගෙන ගත්තේ එහි පෞද්ගලික පාසලකය.
දෙව්මි වසරකට පමණ පෙර සිටියේ ලංකාවේය. ඉගෙන ගත්තේ ලංකාවේ රජයේ පාසලකය. එහෙත් ඇගේ ලොකුම ඉල්ලීම වූයේ පෞද්ගලික පාසලකට ඇතුළත් කරන ලෙසය. එහෙත් ඇගේ දෙමාපියන්ගේ අභිලාෂය වුණේ ඇය විදේශ රටක පෞද්ගලික පාසලකට ඇතුළත් කිරීමටය. සෙනෙවිගේ මිතුරන් කීප දෙනෙක්ද මේ වනවිට සිටියේ විදේශගතවය. ෂෙරෝන්ට ද අදහස වූයේ ඒ සමාජය සමග ගැළපෙන්නට නම් තමන්ද විදේශ ගත විය යුතු බවය. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ කැනඩාවය.
එහෙත් ඔවුන්ට එහි පදිංචිය ලබාගැනීමට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය. ලංකාවේදී පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ රැකියාවක් කළ සෙනෙවිට කැනඩාවේදී සිදුවූයේ ආපන ශාලාවක කුස්සියේ වැඩ කිරීමටය. එහෙත් සිය දියණියගේ අධ්‍යාපනයේ දියුණුව ගැන සිතා ඉවසාගෙන සිටියේය. එසේම ඔවුන්ගේ බලාපොරොත්තු වූයේ දෙව්මි එරට රජයේ පාසලකට ඇතුළත් කිරීමටය. එහෙත් මේ කාරණා දෙක එකක් මත අනෙක තීරණය වන තත්ත්වයක් වූයෙන් ලෙහා ගත නොහැකි නූල් පැටලුණ නූල් බෝලයක් මෙන් විය.
දෙවතාවක්ම අයැදුම්පත් ඉදිරිපත් කළත් තවමත් සෙනෙවිලා එරට පුරවැසියන් ලෙස පිළිගෙන නැත. එරට පුරවැසි භාවයක් නැතිව සෙනෙවිට එරට රජයේ රැකියාවක් ලැබෙන්නේ නැත. පෞද්ගලික ආයතනයක වුවද ඉහළ පෙළේ රැකියාවක් පුරවැසි බව නැති කෙනෙකුට ලබාදෙන්නේ නැත. ඒ නිසා දියණියටද රජයේ පාසලක් හිමි නැත. එපමණක්ද සංචාරක වීසා මත කැනඩාවට පැමිණ සැඟවී සිටින සෙනෙවිලාට ජීවත් වීමට සිදුවූයේද පොලිසියෙන් වසන්වය. හරිහමන් රස්සාවක් නැති නිසා ජීවත් වීමට හොඳ ගෙයක් ලබාගැනීමට ද නොහැකිය. එසේම පොලිසියෙන් වසංව ජීවත්වීමට සිදුවන නිසා තරමක් නගරයෙන් පිටත තැනක් ලබාගැනීම වඩාත් සුදුසු යැයි සෙනෙවි, ෂෙරෝනිට පැවසීය.
මිතුරන්ගේද උදව් ඇතිව නිවාස ගණනාවක්ම සොයාගනු ලැබූවද ඒවායේ මිල ගණන් සෙනෙවිලාට දැරිය නොහැකිය. දැනටමත් ඔවුන් සිය දියණිය පෞද්ගලික පාසලකට ඇතුළත් කිරීමට විශාල වියදමක් දරා ඇත. ඒ වෙනුවෙන් ලංකාවේ පවතින ඉඩ කඩම්වලින් කොටසක් විකුණා දැමීමටද ඔවුන්ට සිදුවිය. එසේ තිබියදී හොඳ ගෙයක් වෙනුවෙන් කෙසේ වියදම් දරන්නද?
කෙටි කලක් සිය මිතුරෙකුගේ නිවසේ ගත කළ ඔවුන්ට අඩු කුලියකට ගෙයක් ලැබිණ. එය මිනිස් වාසය සඳහා සුදුසු යැයි අනුමත නොකරන සාමාන්‍යයෙන් සීත කාලයේදී යම් උණුසුමක් ලබාගැනීම සඳහා බොහෝ නිවෙස්වල නිවසේ පාදමේ පොළොව යටට හාරා සකස්කරන ලද බිම්ගෙයක් වැනි නිවසකි. මෙයට කිසිදු වාතාශ්‍රයක් සුළංපොදක් එන්නට තැනක් නැත.
රෝගයෙකුගේ සිරුරේ පවතින බැක්ටීරියාවක් තවත් පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ක්‍රම ප්‍රධාන වශයෙන් කීපයක් පවතී. එකක් කතා කිරීමේදී කෙළ විසිවීමක් වැනි දෙයකින් හෝ මුඛ චුම්බනයකින්. එසේත් නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාසයේදී. එලෙස ආශ්වාස ප්රාශ්වාසයත් සමග පරිසරයට එකතුවන බැක්ටීරියාව රෝගියා අසල සිටින කෙනාගේ තුවාලයකට එකතු වීමෙන් ඒ අයගේ ශරීරයට එකතු විය හැකිය. සෙනෙවිගේ සිරුරට එලෙස එක් වූ බැක්ටීරියාව දෙව්මිගේ සිරුරට කිසියම් ක්‍රමයකට එක් වී ඇත. ඇතැම්විට එය ඇයට එන්නත් කළ ස්ථානයේ කුඩා සිදුරෙන් ඇතුළු වුණා වන්නටද හැකිය.
සීත කාලයට භාවිත කිරීමට ඉදිකර ගන්නා මේ යටබිම් මහල් බොහෝ දෙනා කුලියට දෙති. සෙනෙවිලාට මේ නිවස ලැබුණේද ඒ අනුවය. තමන්ට වීසා අහිමි බව ඔවුන් කාටවත් දැනගන්නට ඉඩ තැබුවේ නැත. එහෙත් තමන් රැකියාව කළ හෝටලයේ හිමිකරුට සෙනෙවි ඒ බව දන්වා තිබුණේ හදිසි පොලිස් වැටලීමකදී ඔහුගේ සහය අත්‍යවශ්‍ය වූ බැවිනි. දිනක් සිතුවා සේම වීසා නැතිව රටේ රැඳී සිටින්නන් සොයා පොලිසිය මෙහෙයුමක් අරඹා තිබිණ. පොලිසිය සෙනෙවි සේවය කළ ස්ථානයට ද කඩාපාත් විය. සෙනෙවි ගැනද සෙවීමට මත්තෙන් හෝටලයේ කෑම ගනිමින් සිටි අය ගොඩට ඔහුව එකතු කළ මුදලාලි ඒ උගුලෙන් බේරාගත්තද වීසා නැති අය ළඟ තබාගැනීමේ වරදට දඬුවම් ලැබීමට නොහැකි නිසා සෙනෙවි රැකියාවෙන් ඉවත් කළේය.
ඉන්පසු ඔහුට තවත් රැකියාවක් සෙවීම පහසු වූයේ නැත. අවසානයේ වයෝවෘද්ධ රෝගියකු රැක බලාගැනීමේ ඔහුට ඇප උපස්ථාන කිරීමේ අවස්ථාවක් සෙනෙවිට ලැබිණ. එයින් ලැබෙන වැටුප දෙව්මිගේ පාසල් ගාස්තුවවත් පියවා ගැනීමට නොහැකි වූයෙන් අවශ්‍ය මුදල් සොයා ගැනීමට විටින් විට ලංකාවේ ඉඩ කඩම් විකුණා දැමීමට සෙනෙවිට සිදුවිය.
දිනක් පාසල නිම වී ගෙදර පැමිණි දෙව්මි ගුරුවරිය විසින් ලබාදුන් පණිවුඩයක් පියා අතට පත් කළාය. එහි වූයේ දෙව්මිට ලබාදිය යුතු ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීමට දැන් කාලය එළැඹ ඇති බැවින් එය ලබාදෙන ලෙසය. ඒ අනුව එන්නත ලබාදීමට පියා කටයුතු කළද ඒ රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් නොව සුබසාධක මධ්‍යස්ථානයකින් නොමිලේ ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයකිනි. එන්නත ලබාදුන් දිනයට පසුදින දෙව්මිට උණ ගැනිණ. සාමාන්‍ය උණ තත්ත්වයක් ෙස් වටහා ගත් සෙනෙවිලා ඇයට පැරසිටමෝල් ලබා දුන්හ. එහෙත් දිනෙන් දිනම උණ වැඩිවන්නට විය. ඒ නිසා පෞද්ලික වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත්හ. ඒ සඳහාද විශාල මුදලක් වැය කරන්නට සිදුවිය.
එහෙත් ඇයට සුවයක් ලැබුණේ නැත. එය සීත කාලය විය. ඔවුන් සිටි නිවස යටබිම් මහලක් වූ නිසා එහි තෙත් ගතියක්ද පැවතිණ. එන්න එන්නම දෙව්මිගේ තත්ත්වය බරපතළ විය.
කෙතරම් තත්ත්වය බරපතළ වුවද නැවත ප්‍රතිකාරවලට යාමට අතේ මුදල් නැති විය. එහෙත් දිනක් දෙව්මිගේ තත්ත්වය ඉතාමත් බරපතළ විය. ඇයට මීමැස්මොර තත්ත්වයක් ඇතිවිය. ඇයව සිය ඇකයේ හොවාගෙන උණුසුම් කරන්නට උත්සාහ කළත් සෙනෙවිට දැනුණේ දෙව්මිගේ ගත අප්‍රාණික වන බවකි. එයින් බියට පත් ඔහු සිය මිතුරාට අමතා දෙව්මි රෝහලට රැගෙන යාමට අවශ්‍ය බැවින් එයට අවශ්‍ය මුදල් රැගෙන අදාළ තැනට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. සෙනෙවිගේ කට හඬින්ම එහි ඇති බරපතළකම තේරුම් ගත් මිතුරා මුදල්ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝහි ළමා රෝහලට පැමිණියේය. එහෙත් රෝහලට ඇතුළත් කර පැය කීපයකදී ඇය ජීවිතයෙන් සමුගත්තාය. ඒ සිය එකම දියණියට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී ඉහළ තැනක වැජඹෙනු දකින්නට සෙනෙවිලා තුළ තිබූ එකම දැඩි ප්රාර්ථනාවද සුනුවිසුනු කරමිනි.
දෙව්මි මිය ගියේ ඇයි? මේ සම්බන්ධයෙන් දැන ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කෙරිණ. ඇයට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීමෙන් පසු උණ ගැනුණ බව දෙමාපියන් පැවසුවද එහි බලපෑමක් මේ අසනීප තත්වයට බලපා නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු විය. දෙව්මිගේ පටක අන්වීක්ෂීය පරීක්ෂාවකට ලක්කිරීමෙන් එහි රුධිරයේ පවතින බැක්ටීරියාවක් හඳුනාගත හැකි විය. මේ බැක්ටීරියාව ශරීර ගත වුයේ කෙසේද? ඒ ගැන සෙවීමට වෛද්‍යවරු ඇගේ පවුලේ විස්තර සොයා බැලූහ. එහිදී සෙනෙවි ඇප උපස්ථාන සිදුකළ රෝගියා ගැන දැනගන්නට ලැබිණ. ඒ අනුව සෙනෙවිගේ රුධිර සාම්පලයක් හා ඛේටය ද රෝගියාගේ රුධිර සාම්පලයක් හා ඛේටය ද පරීක්ෂාවට ලක්කරනු ලැබිණ.
එහිදී සෙනෙවිගේ රුධිරයේ හා ඛේටයේත් රෝගියාගේ රුධිරයේ හා ඛේටයේත් පවතින බැක්ටීරියාවක් හඳුනාගත හැකි විය. දෙව්මිගේ පටක පරීක්ෂාවේදී හඳුනාගත් බැක්ටීරියාව සෙනෙවිලාගේ රුධිර හා ඛේට පරීක්ෂාවෙන් සෙයාගත් බැක්ටීරියාව හා සැසඳෙන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහා ක්ෂුද්රජීවී වර්ධන පරීක්ෂාවක් (කල්චර් ටෙස්ට්) සිදුකරනු ලැබිණ. එහිදී මෙම බැක්ටීරියා සියල්ල සමාන බව තහවුරු විය.
රෝගයෙකුගේ සිරුරේ පවතින බැක්ටීරියාවක් තවත් පුද්ගලයෙකුට ඇතුළු විය හැකි ක්‍රම ප්‍රධාන වශයෙන් කීපයක් පවතී. එකක් කතා කිරීමේදී කෙළ විසිවීමක් වැනි දෙයකින් හෝ මුඛ චුම්බනයකින්. එසේත් නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාසයේදී. එලෙස ආශ්වාස ප්රාශ්වාසයත් සමග පරිසරයට එකතුවන බැක්ටීරියාව රෝගියා අසල සිටින කෙනාගේ තුවාලයකට එකතු වීමෙන් ඒ අයගේ ශරීරයට එකතු විය හැකිය. සෙනෙවිගේ සිරුරට එලෙස එක් වූ බැක්ටීරියාව දෙව්මිගේ සිරුරට කිසියම් ක්‍රමයකට එක්වී ඇත. ඇතැම්විට එය ඇයට එන්නත් කළ ස්ථානයේ කුඩා සිදුරෙන් ඇතුල් වුණා වන්නටද හැකිය.
එසේත් නැත්නම් ආශ්වාස ප්රාශ්වාසයෙන් එක්වුණා වන්නටද හැකිය. එම බැක්ටීරියාව එකතු වීමෙන් සෙනෙවි අසනීප නොවුණ ද ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදුන් වහාම ශරීර අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් සමග මෙම බැක්ටීරියාව සමග සටන් කිරීමේ ශක්තියක් දෙව්මිගේ ප්රතිදේහවලට නොමැතිවීම ඇය ඉන් ආසාදිත තත්ත්වයකට පත්වීමට හේතු වූවා විය හැකිය. එසේම ඇය විසූ නිවසේ තිබූ අධික ශීතල, වාතාශ්‍රයක් නොමැතිකම, නිසි කලට නිසි ප්‍රතිකාර නොලැබීම ඇයට මරණය ළඟා කරන්නට සමත් වී ඇත.
කෙසේ වුවද තමන්ට ඔරොත්තු නොදෙන බලාපොරොත්තු ගොන්නක් සමග කැනඩා බලා ගිය සෙනෙවිලාට අවසානයේ සිය එකම දියණිය කෙෙරහි තැබූ බලාපොරොත්තුව පමණක් නොව ඇයද කැනඩාවේම මිහිදන් කර ආපසු ලංකාවට එන්නට සිදුවූයේ මේ මරණයත් සමග කළ පොලිස් පරීක්ෂණවලදී සෙනෙවිලා අනවසර පදිංචිකරුවන් බව තහවුරු වූ නිසාය.
ඒ වන විට ඔවුන්ට ලංකාවේද ඉන්න හිටින්න නැති තත්ත්වයක් ඇතිව තිබුණේ තිබූ ඉඩ කඩම් දේපළ රැසක් ඒ වන විටත් විකුණා අවසන්ව තිබූ බැවිනි. ලංකාවට පැමිණ දින කීපයකින් කැනඩාවේ පුරවැසිභාවය පිළිගන්නා බවට ලිපියක් ඔවුන්ට ලැබිණ. එහෙත් දැන් කුමක් වෙනුවෙන් නැවත කැනඩා යන්නදැයි සෙනෙවි ඒ ලිපියත් අතේ තබාගෙන කල්පනා කරන්නට විය. ඒ ලිපිය මීට මාස කීපයකට පෙර ලැබුණේ නම් මේ කිසිවක් මෙසේ සිදුනොවනු ඇතැයි ඔහු කල්පනා කළේ දිගු සුසුමක් වා තලයට මුසු කරමිනි.
අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ මෙම කතාවේ එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
සටහන - මුදිතා දයානන්ද