පරිගණක විද්‍යා අංශයේ උපාධිධරයකු වන, නිකින් කෘත්‍රිම බුද්ධිය නැතහොත්, AI පරිගණක තාක්ෂණයට සම්බන්ධව සේවා ලබා දෙන නව ව්‍යවසායකත්වයක් සොයා ගිය, තාරුණ්‍යයට අරුතක් සැපයූ චරිතයකි. 2025 ආසියාවේ 30 න් පහළ විශිෂ්ටතමයින් අතරට ඔහු ඇතුළත් වූයේ, Social Media Marketing & Advertising යන අංශයට අදාළ වර්ගීකරණය යටතේය. සැඟවුණු මැණිකක් ලෙස පරිගණක ක්ෂේත්‍රය වෙනුවෙන් නිහඩව සේවයක් කරමින් සිටි නිකින් ගැන බොහෝ දෙනා විමසුම් කිරීමට පටන් ගත්තේ ෆෝබ්ස් විශිෂ්ටතමයින් අතරට නම් වීමත් සමගය.
මගේ ගම කොට්ටාව, කුඩා කාලය ගෙවී ගියේ ඩුබායි සිට. පහේ පංතිය වෙනකල් ඉගෙන ගත්තෙත් එහිදීයි. 2010 දී විතර ලංකාවට ඇවිත් ඉන්පසුව උසස් පෙළ දක්වා ඉගෙන ගත්තෙ නුගේගොඩ ලයිසියම් පාසලෙන්. ඒ ලෙවල්වලින් පසුව මලයාසියාවේ, මොනෑෂ් යුනිවර්සිටි එකට ඇතුළත් වී පළමු පංතියේ උපාධියක් ලබා ගන්න පුළුවන් වුණා. උපාධිය ලැබුවේ, පරිගණක විද්‍යා අංශයෙන්. ඉන්පසුව කෘත්‍රිම බුද්ධිය විෂයට අදාළව Phd දක්වා ඉගෙනීම් කළා.
ප්‍ර දැන් අපි ඔබට ආචාර්ය නිකින් මාතරආරච්චි ලෙස අමතන්නද?
තවම උපාධි ප්‍රදානෝත්සවය සිදු වුණේ නැහැ. ඒ නිසා එයින් පසුව අපි බලමු.
ප්‍ර එතකොට ඔබගේ ව්‍යාපාරය ආරම්භ කළේ?
පරිගණක විද්‍යා අංශයේ උපාධිය ලබා ගෙන සිටියදී, කෝවිඩ් වසංගතය ආවා. ඒ නිසා, Phd උපාධිය වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කිරීම ප්‍රමාද වුණා. ඒ කාලයේදී නිකරුණේ කාලය ගෙවන්න බැරි නිසා තමයි කම්පැණි එක පටන් ගත්තෙ.
ප්‍ර එය නම් කළේ?
සයිනප්සි AI Labs නමින්.
ප්‍ර සයිනප්සි Synapse යන්නෙහි තේරුම?
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයෙන් ගත්තොත්, දත්ත අනුබද්ධ වන තැනක් ලෙස දක්වන්න පුළුවනි. දත්ත යවන තැනක් වගේ අදහස ගන්න පුළුවනි. කෘත්‍රිම බුද්ධියට සාපේක්ෂ නිසා ඒ නම යොදා ගත්තා.
ප්‍ර මේ විදිහට ව්‍යවසායකත්වයේ ගමනක් ඇරඹීමට පෙර, වෙනත් රැකියාවක නිරත වුණාද?
සීමාවාසික පුහුණුවක යෙදුණා. හැබැයි රැකියාවක් කළේ නැහැ.
ප්‍ර නිකින්ගෙ පවුලේ විස්තර?
අම්මයි - තාත්තයි සහ තව මට බාල සහෝදරියක් ඉන්නවා. ඇයත්, ගෘහ නිර්මාණ හා ගෘහස්ත සැලසුම් අංශයේ උපාධි අපේක්ෂිකාවක ලෙස මලයාසියාවේ සිට අධ්‍යාපනය හදාරනවා. අම්මයි-තාත්තයි දෙදෙනාම Quantity Surveyors වරු. තාත්තා සේවය කරන්නෙ සවුදි අරාබියේ. අම්මා නම් දැන් රැකියාව කරන්නෙ නැහැ.
ප්‍ර නිකින් පෙම්වතෙක්ද? විවාහකද ? කැමතිද ඒ ගැනත් කියන්න ?
තවම විවාහ වෙලා නැහැ, මැලේසියානු ජාතික පෙම්වතියක් සිටිනවා. ඇය මේ දිනවල සිටින්නෙ ඔස්ට්‍රේලියාවෙ.
ප්‍ර නිකින් මොන වගේ චරිතයක් ද කියලා දැන ගන්නත් කැමතියි?
මම හිතන විදිහට අරමුණක් ඇතිව කටයුතු කරන කෙනෙක්.
ප්‍ර ජීවිතය ගැන හිතන විදිහ?
Achieving Things - ඒ කියන්නෙ අභිප්‍රායන් ඔස්සේ යන ගමනක් වගේ කියලයි මට හිතෙන්නෙ. තමුන්ට ලැබුණු වටිනා ජීවිතයට සහ මිනිසත්බවට උපරිම අරුතක් දීමට කටයුතු කළොත් හොඳයි. හැබැයි ජීවිතය කියන්නෙ වැඩ කිරීමම විතරක්ම නෙවෙයි. ජීවිතය සතුටින් ගත කිරීමට අවශ්‍ය වට පිටාව සකසා ගෙන එය වින්ඳනය කළ හැකි නම්, වඩා අරුත්බරයි නියලයි මට හිතෙන්නෙ.
ප්‍ර ඔබගේ Synapse ආයතනයේ ස්වභාවය මොන වගේද? මොන වගේ සේවයක්ද ලබා දෙන්නෙ?
මෘදුකාංග හෙවත් Software නිර්මාණ කටයුතු ඔස්සේ අලෙවිකරණ නිෂ්පාදන අංශ සඳහා Software නිර්මාණය කිරීම සිදු කරනවා. විවිධ සමාගම් සහ ආයතනවලට අපේ සේවාවන් ලබා දෙනවා. මාකටින් ඒජන්සීස් ඇතුළු අංශවලටත් සේවා සපයනවා. සමාජ මාධ්‍යය අධීක්ෂණය කිරීමේ කටයුතු ඒ අතරට අයත්. යම්කිසි බ්‍රෑන්ඩ් එකකට මිනිස්සු දක්වන කැමැත්ත, අකමැත්ත, ඇයි එයාල කැමති? ඇයි අකමැති? ආදී වශයෙන් සියල්ල සොයා බලා අපි ඒවාට අපේ විෂයට අදාළව විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. බොහෝ වෙලාවට අපි වැඩ කරන්නෙ ප්‍රකට බ්‍රෑන්ඩ්ස් එක්ක. ඊට අමතරව චැට් ජීපීටී වගේ AI මොඩල්ස් වලටත් සම්බන්ධව සේවා සපයනවා.
ප්‍ර ෆෝබ්ස් විශිෂ්ටතමයින් අතරට නම් වීම ගැන දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද ?
ඒක මම තනිවම ලැබූ ජයක් හෝ අගැයීමක් නෙවෙයි. අපේ මුළු කණඩායමම ලැබූ ජයක්. ඒ ගැන අපි හැමෝටම තියෙන්නෙ සතුටක්. කණ්ඩායමක් සහ කණ්ඩායම් හැඟීමක් නැතුව ඉලක්ක ජය ගන්න බැහැ.
ප්‍ර මේ වගේ තාක්ෂණය එක්ක කටයුතු කරන අය බොහෝ විට, රොබෝලා වගේ යාන්ත්‍රිකයි කියලා සමහරු හිතන්නෙ? නිකින් ඒ ස්වභාවයේදී මොන වගේද?
මෙම විෂයය ඉතා පුළුල්. අලුත් දෙයක් කරන්න ගත්තාම, එහි ඉලක්කය සහ ප්‍රතිඵලය එනකල් දීර්ඝ කාලයක් කටයුතු කරන්න වෙනවා. හැබැයි මම මුලින්ම කිව්ව විදිහට ජීවිතය සැහැල්ලු කර ගන්නත් කාලය වෙන කර ගැනීම කළ යුතු දෙයක්. ෆිල්ම් නැරඹීම වගේ දේ කරනවා. යුනිවර්සිටි එකේ සිටි කාලයේදී විවිධ වැඩ සටහන් එහෙම මෙහෙය වද්දී පෙරමුණ අරගෙන කටයුතු කළා.
ප්‍ර නිකින් වගේ වෙන්න නම් තාරුණ්‍යයේ අනෙක් අයට ඔබ දෙන උපදෙස? මේ ක්ෂේත්‍රයේ තව අවස්ථා තියෙනවද?
අනිවාර්යයෙන්ම ජීවිතයෙ ඉලක්ක සපුරා ගන්න පුළුවනි. තමුන් අපේක්ෂා කරන ඉලක්කය මනසේ තියාගෙන, ඒ වෙනුවෙන් කටයුතු කිරීම කළොත්, තමුන්ගෙ අභිප්‍රායයන් සපුරා ගන්න පුළුවනි. මෙම අංශය කියන්නෙ සෑමදාම අලුත් මාර්ග විවර වෙන විෂයයක්. ලංකාවේ බොහෝ දෙනා මේ අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමේ ප්‍රවණතාවය වැඩි වෙලා. එකම අඩුවකට තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවේ දැනුම සම්බන්ධවයි, ඒ දැනුම හැකිතාක් වැඩි කර ගත්තොත්, බොහෝ දෙනාට කළ හැකි අලුත් දේ බොහෝමයි.
සඳුන් ගමගේ