නළුවෙකුට ජනතා ප්‍රසාදය ගොඩක් වැදගත්


එකම කාල සීමාවක තමාගේ රංගන හැකියාව විවිධ ඉසව් කරා විසුරුවා හරිමින් - ඒ හැම නිර්මාණයකින්ම පාහේ ප්‍රේක්ෂක හදවත් තුළ ආදරය දිනාගත හැකිනම්, ඔහු හෝ ඇය ඇත්තෙන්ම දක්ෂ සහ වාසනාවන්ත කලාකරුවෙකි.

“සැඳැල්ලත්” සමග අද කතාබහට එක්වන්නේ එබඳු  කලා තරුවක් වශයෙන් අවිවාදිතව නම් කළ හැකි - චමීර ලියනගේ යි.

ප්‍ර කොහොමද චමීර මේ දිනවල කලා කටයුතු ?

මේ දවස්වල නම් ශාන් ජයරත්න ගේ වීදුරු තිර එක්ක තමයි වැඩිම කාලයක් ගතවෙන්නේ. ඊට අමතරව මම රංගනයෙන් දායකත්වය ලබා දුන්න ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේත් විකාශන කටයුතු කෙරෙනවා. මේ නිර්මාණ දෙකේම රූගත කිරීම් නම් අවසන්. ඒ දේවල් තමයි මේ දවස්වල කලාව පැත්තෙන් කෙරෙන වැඩ.

ප්‍ර ඔබේ අලුත් නිර්මාණ දායකත්වය වීදුරු තිර ගැන මතක් කළොත් ?

මේ ටෙලි නිර්මාණය දැන් ස්වාධීන රූපවාහිනී නාළිකාවේ සති අන්තයේ රාත්‍රී 8.30ට විකාශනය කෙරෙනවා. මෙහි අධ්‍යක්ෂණය ශාන් ජයරත්න. නිෂ්පාදනය රුෂාන් පෙරේරා ගේ. තිර රචනය ශලනි තාරුකා. ඇත්තටම මේ නිර්මාණයෙන් කතා කෙරෙන මාතෘකාව සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්න භය - නමුත් කතා කළ යුතු මාතෘකාවක්. මම හිතනවා ඒ තේමාව ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු නොවුණ හරි ලස්සන කතාවක්. මම මේ නිර්මාණයේ දී ස්තූතිවන්ත වෙන්න ඕන ශලනි තාරුකා ට. මොකද ඇයගේ තමයි නළු වරණය සහ කතා තේමාව.

ප්‍ර වෙනස් තේමාවක් ඇතුළේ කරපු ඒ චරිතය ගැන මොකද හිතන්නේ?

නළුවෙක් හැටියට අපි කරන්නේ චරිත නිරූපණය. ඔය නාට්‍යයෙන් පස්සේ මට මොනව වෙයිද කියලවත් මම දන්නේ නැහැ. ඒ තරම් දරුණු තැනකට මම වැටිලා ඉන්නේ.මේ චරිතය දැනට මම කරපු චරිත වලින් මට ලැබිලා තියන අභියෝගාත්මකම චරිතය කීවොත් හරි. ඉතින් මම විශ්වාස කරනවා, දැන් අපේ ප්‍රේක්ෂකයො හොද විවෘත මනසක් තියන තාර්කික පිරිසක් කියලා. ඒ නිසා මේ නිර්මාණය ඇතුළේ මිනිස්සු තේරුම් ගනීවි චමීර කියන්නේ නළුවෙක් - එයා කරන්නේ චරිත නිරූපණයක් විතරයි කියන දේ.

ප්‍ර ඉරගිනි මද්දහනේ මහතුන්ටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද ?

ඔව්. තමන් කරන චරිතයක් මිනිස්සුන් ගේ ඇගයීමට ලක්වෙනවා කියන දේ කලාව ඇතුළෙ ඉන්න අපිට  ලොකු වටිනාකමක්. ඇත්තටම නළුවකුට ඒ ජනතා ප්‍රසාදය ගොඩක් වැදගත්. මහතුන් කියන චරිතයටත් වෙනම ආදරයක් හැදිලා තියනවා. මේක කඳුළු කුණාටු කියන නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු කතාවක් නිසා මට නවකතා පොත කියවන්න කීවත් මම ඒක කළේ නැහැ. මම තිර පිටපතට අනුව තමයි ගියේ. මම රූගත කිරීම් ඉවර කලාම දැන් පොත කියවන්න ගත්තා. එතනදි මට හිතුණා මම පොත කියවපු නැති එක හොඳයි කියලා. මොකද එහෙම කළානම් ඒ චරිතය වෙනස් වෙන්න තිබුණා. ඉතින් ගොඩක් ප්‍රේක්ෂකයෝ මට කියනවා පොතේ ඉන්න මහතුන්ට වඩා මේ මහතුන් හොඳයි කියලා.  ඉතින් ඒ ප්‍රතිචාර දකිනකොට ගොඩක් සතුටුයි.  ඒ හැම ප්‍රතිචාරයක්ම ලැබෙන්නේ ලලිත් රෝහිත එදිරිසිංහ සහ තරංගා  දිසානායක කියන එහි අධ්‍යක්ෂකතුමා සහ තිර පිටපත් රචිකාව නිසාවෙන්. මොකද එයාලා තමයි මහතුන්ව ඒ විදිහට ගොඩනඟලා තියෙන්නේ. ඉතින් ඒ අයට ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න ඕන.  

මම කරපු චරිත වලින් මට ලැබිලා තියන අභියෝගාත්මකම චරිතය කීවොත් හරි. ඉතින් මම විශ්වාස කරනවා, දැන් අපේ ප්‍රේක්ෂකයො හොද විවෘත මනසක් තියන තාර්කික පිරිසක් කියලා. 

ඒ නිසා මේ නිර්මාණය ඇතුළේ මිනිස්සු තේරුම් ගනීවි චමීර කියන්නේ නළුවෙක් - එයා කරන්නේ චරිත නිරූපණයක් විතරයි කියන දේ.

ප්‍ර ප්‍රශ්න ගොඩකින් ගෙතුණු ඒ කතාව ඇතුළේ චමීර හිතන විදිහට වැඩිපුරම අසාධාරණයට ලක්වෙන්නේ සමන්තා ද? මහතුන් ද?

හැමෝම අසාධාරණයට ලක්වෙනවා. අපි ඒ මුහුණ දෙන අවස්ථාව අනුව එකිනෙකා අසාධාරණයට ලක් වෙනවා. මේ නිර්මාණය ඇතුළේ යුතුකම් ඉටුකිරීම තුළ, සැමියා බිරිඳ ලෙස අවශ්‍යතා තේරුම් නොගැනීම මත, ආදරය කියන මාතෘකාවේදී මේ හැම තැනකදීම පුද්ගලයන් වශයෙන් අපි එකිනෙකා අසාධාරණයට ලක්වෙනවා. මම හිතන්නේ ඒක එක් අයෙක් කියලා ලඝුකරන්න බැහැ.

ප්‍ර අලුත් අත්දැකීම් සංදේශනය කරන ටෙලි නිර්මාණවලට වැඩි ප්‍රේක්ෂක ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා නේද?

ඔව්. වෙනස් කීවට - ඒ දේවල් ඇත්තටම සමාජයේ නිතර දකින්න අහන්න ලැබෙන සිදුවීම්. නමුත් සමහර අවස්ථාවල අපි ඒවා කතා කරන්න කැමති නැහැ. නැත්තම් භයයි. නමුත් දැන් ඒ තේමා නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න නිර්මාණ ශිල්පීන් උත්සහ කරනවා. ඒ වගේම ඒ දේවල්වලට ගැළපෙන සබුද්ධික ප්‍රේක්ෂක පිරිසක් ගොඩනැගිලා තියෙනවා. මේ හැම දෙයක්ම එක්ක ඒ මාතෘකා එළියට එනවා.

ප්‍ර චමීර ගේ රිදී තිරයේ වැඩ කටයුතු මොනවාද ?

ජගත් ආනන්ද සර් ගේ යකඩ මනමාලී චිත්‍රපටයේ සහ ලක්ෂ්මන් පුෂ්පකුමාරයන් ගේ මීදුම් තරණය කියන සිනමා නිර්මාණ දෙකේම රූගත කිරීම් අවසන්. ඊට අමතරව දැන් අලුත් සිනමා පටයක් සදහා ආරාධනාවක් ලැබිලා තියෙනවා රනිල් කුලසිංහගෙන්.

ප්‍ර ඔබේ කලා ගමනට සමීපතමයන් ගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?

මගේ අයියා තමයි මගේ හොඳම රසිකයා. මට මොන වගේ චරිතයක් ලැබුණත් මම මුලින් පිටපත ගිහින් පෙන්නන්නේ ඔහුට. ඇත්තටම ගෙදර හැමෝ ගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ රංගන ජීවිතයට බලපෑමක් නැහැ. මට ඒ නිදහස උපරිමයෙන් ලැබෙන නිසා මම තෝරා ගන්න චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.

ප්‍ර මොනවද චමීර ගේ අලුත් බලාපොරොත්තු?

ව්‍යාපාරක් ආරම්භ කිරීමේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේවල් මම ඉදිරියේ දී කියන්නම්.

දුලක්ෂි ලියනගේ