දේශපාලකයාට කතා කරන්නට රංගනය නතර නොකළ ටෝනි


ටෝනි රණසිංහට නළුවකු වීමේ ආශාව ඇතිවී ඇත්තේ වයස අවුරුදු 11 දීය. ඒ පාසලේ විලියම් ශේක්ෂ්පියර්ගේ ‘‘හැම්ලට්’’ චිත්‍රපටය නරඹන්නට රැගෙන යාමෙන් පසුය.   


එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විශිෂ්ට බ්‍රිතාන්‍ය නළුවකු වූ ලෝරන්ස් ඔලිවියර් ය. පසු කල ඔලිවියර් සර් ලෝරන්ස් ඔලිවියර් විය.   


පාසලෙන් අස්වූ පසුවද ටෝනිගේ හි​තේ හොල්මන් කළේ ඔලිවියර්ගේ රඟපෑම්ය. එහෙත් ටෝනිට ඒ සඳහා අවස්ථාවක් නොවීය. 

 
ඔහු රැකියාව සඳහා ලඝු ලේඛකයකු බවට පත් වූයේද මෙකලය. රැලෙක්ස් රණසිංහ සුප්‍රකට කැමරා ශිල්පියෙකි. ඔහු ටෝනිගේ අයියාය.   


ආතර් යූ අමරසේන මහතා රැලෙක්ස්ගේ මිතුරකු විය. අමරෙ ඒ දිනවල චලන චිත්‍ර සිනමා සඟරාවේ සහාය සංස්කාරක විය. එමෙන්ම ‘‘චිත්‍රවාහිනී’’ නමින් අලුත් කලා සඟරාවක් පටන් ගන්නටද ඔහුට අදහසක් තිබිණ.   
අයියාගේ යාළුකම ඔස්සේ ටෝනි, අමරෙ හමුවී තම අදහස ගැන කීවේය. අමරෙ එකල ඔහු දැන හැඳින සිටි සිරිසේන විමලවීර මාස්ටර් ළඟට ටෝනි කැටුව යන්නේ චිත්‍රපටයක චරිතයක් ලබාදීමටය. වැඩේ හරි ගියේය.   
විමලවීර මාස්ටර් ටෝනිට චරිතයක් දෙන්නට කැමැත්ත පළ කළේය. ඒ ‘‘පුංචි අම්මා’’ චිත්‍රපටයටය. පුංචි අම්මා චිත්‍රපටය ආරම්භ කිරීමට සියල්ල සූදානම්ව තිබුණද විමලවීර මාස්ටර් ඊට පෙර මිය ගියේය.   
‘‘පුංචි අම්මා’’ නතර විය. ටෝනිගේ මුල්ම බලාපො​රොත්තුව ඉටු නොවුණේ ඒ අයුරිනි.   
එහෙත් අමරෙ වැඩේ අත් නොහැරියේය. ටෝනි සමඟ ඊළඟට ගියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවීමටය. ලෙස්ටර් එකල ‘‘ගම්පෙරළිය’’ නිර්මාණය කරන්නට සූදානම්ව සිටි කාලයයි.   
ලෙස්ටර් ටෝනි ගැන පැහැදී ‘‘ගම්පෙරළිය’’ චිත්‍රපටයේ බලදාස ගේ චරිතය රඟපාන්නට දුන්නේය. එදා ලෙස්ටර් අමරෙ ටෝනි ඇතුළු පිරිස කතාබහේ යෙදෙන විට එතැනට ආවේ සුගතපාල ද සිල්වාය.   
සුගත් ඒ කාලයේ ‘‘බෝඩිංකාරයෝ’’ නාට්‍යයට නළු නිළියන් සොයමින් සිටියේය. අමරෙ ටෝනි ගැන සුගත්ටද කීවේය. සුගත් ටෝනිට ‘‘බෝඩිංකාරයෝ’’ නාට්‍යයේ චරිතයක් දෙන්නට කැමැති විය.   
පසු කල ටෝනි කීවේ එකම දවසේ සිනමාවටත්, වේදිකාවටත් එන්නට ලැබුණේ ආතර් යූ අමරසේනයන් නිසා බවය.   


එහෙත් පසුකල අමරෙත් ටෝනිත් තරහ වූහ.   
දෙදෙනා තරහ වෙන කාලය වනවිට අමරෙ ‘‘සුරතුර’’ කලා පුවත්පතේ කර්තෘ වරයාය. ඒ 70 දශකයේ අගභාගයයි. ටෝනි ශ්‍රී ලංකාවේ සම්මානනීය ජනප්‍රිය නළුළුකු ලෙසින් බැබළුණු යුගයයි.   
අමරෙත් ඔහුගේ බිරිඳ ශ්‍රියානි අමරසේනත් ‘‘රිදී තැල්ල’’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වූයේද මේ කාලයේය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකාය.   
සිය දෙමාපියන් සමඟ විනෝද ගමනක් යද්දී වල් අලි ප්‍රහාරයකට මැදිවන පවුලක වැඩිමල් දරුවා වනයේ අතරමං වෙයි. දරුවා වනාන්තරයේම හැදී වැඩී, තරුණයකු බවට පත්විය. ඒ චරිතය රඟපෑවේ ගාමිණි ෆොන්සේකාය. සිය වැඩිමහල් සොයුරා වෙන්වීමෙන් පසු සුපුරුදු ලෙස නගරයේ හැදෙන ඔහුගේ මල්ලී ලෙස රඟපාන්නට අමරෙ ටෝනිට කතා කළේය.   


මම දිනක් ටෝනිගේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඔහු හමුවීමට ගියෙමි.   
ගිය විටම ටෝනි මගෙන් ඇසුවේ ‘‘අමරෙද උඹව එව්වෙ මචං?’’ කියාය. මා ටෝනිට ටෝනි අයියා කියා කතා කළද ඔහු මා ආමන්ත්‍රණය කළේ ‘‘මචං’’ යනුවෙනි. ටෝනි බොහෝ දෙනාට ආමන්ත්‍රණය කළේ ‘‘මචං’’ කියාය.   
‘‘ඔව්. ඇයි?’’   


‘‘නෑ මචං... මට අමරෙ රිදී තැල්ලෙ ස්ක්‍රිප්ට් එක එවල තිබුණා. ඒකෙ කැරැක්ටර් එකකට. මං ඒ කැරැක්ටර් එකට කැමැති නැති නිසා බෑ කිව්වා. අමරෙ ඒකට මා එක්ක තරහ වෙලා’’ මා රිදී තැල්ලේ මේ ගැටලුව ගැන දැන ගත්තේ එහිදීය.   
අමරෙත් ටෝනිත් තරහ වූයේ ඒ ආකාරයටය. පසුව ටෝනිට රඟපාන්නට තිබූ චරිතය රඟපෑවේ ලයනල් දැරණියගලය. මේ තරහව බොහෝ කල් තිබුණේය. එහෙත් මා ටෝනිට ප්‍රිය කළ නිසා ඔහු හා සම්මුඛ සාකච්ඡාවල යෙදෙන්නට ප්‍රිය කළෙමි. අමරසේන මහතා ද ඒවා කිසිත් නොතකා සිය පුවත්පතේ පළ කළේය.   
“දෙන්නා ආයෙමත් යාළු වුණේ මමත් අමරෙත් නිෂ්පාදනය කළ ‘‘තරණය’’ චිත්‍රපටයේ ‘‘ස්ක්‍රිප්ට්’’ එක ලියන්න ටෝනිට දුන්නට පස්සෙ. ඒත් දෙන්න වරින් වර ඔය විධියට තරහ වුණා. ටෝනි සමහර වෙලාවට මට කියනවා අමරෙ මා එක්ක කතා කරන්නෙ නෑ කියලා’’ ශ්‍රියානි කියයි.   


රිදී තැල්ලේ ගෝරිය තරණයෙන් ‘‘ෂේප්’’ වුවද තරණය මුදල් සෙවීම අතින් අසාර්ථක වූවේය.   
ටෝනිද එක කාලයකදී අසාර්ථක නළුවකු වශයෙන් සැලකීම නිසා ඔහුටද චිත්‍රපට අඩුවන්නට විය.   
දැන් යළි ටෝනිගේ අතීතයට යමු. ලඝු ලේඛක රැකියාවෙන් ටෝනි අස්වන්නට තීරණය කළේ ‘‘ගම්පෙරළිය’’ රඟපෑමෙන් පසුව. චිත්‍රපට දිගටම ලැබීම නිසාය. ලඝු ලේඛක රැකියාව කරගෙන යාමට ටෝනිට අපහසු විය. අනෙක ටෝනි පැවසුවේ ලඝු ලේඛක රැකියාව ඒකාකාරී හා නීරස බවය.   
ලෙස්ටර්ගේත් ගාමිණීගේත් උපදෙස් මත ටෝනි රැකියාවෙන් ඉවත් වූයේය.   
මුල් යුගයේ ටෝනි තිරයේ අහිංසක පෙම්වතා ලෙස හැඳින්විණ. ඇත්තෙන්ම ඔහු ඉතා කඩවසම්ය. ප්‍රේමණීය නළුවකු විය.  


දයාරත්න රටගෙදර විසින් ලියන ලද ටෝනිගේ සම්මුඛ සාකච්ඡාවක මෙසේ සඳහන් වෙයි.   
‘‘ලැබෙන චිත්‍රපට ප්‍රමාණය වැඩිවීම සමගම දරාගත නොහැකි සතුට මා විඳ ගත්තත් හදිසියේම කුමක් හෝ අවාසනාවන්ත කමක් මත මට ලැබෙන චිත්‍රපට ප්‍රමාණය අඩුවන්නට විය. ජනප්‍රියත්වයද මදින් මද ගිලිහෙන්නට විය. එය මට දරාගත නොහැකි වේදනාවකි. ඒ ඔහුගේ අතීත ස්මරණයයි.   
අන්තිමට ටෝනිට එකම චිත්‍රපටයක්වත් නැතිව ගියේය. ඒ සමගම ඔහු රඟපෑ චිත්‍රපට ගණනාවක්ම මුදල් අතින් අසාර්ථක වන්නට විය. එදා බොහෝ දෙනා ඔහු හැඳින්වූයේ අවාසනාවන්ත නළුවකු ලෙසින් බව ඔහුම සම්මුඛ සාකච්ඡාවකදී කියා ඇත.   


චිත්‍රපට නැතිවීම නිසා ටෝනි ආර්ථික අර්බුදයකට ලක්වුවද ඔහු ඒ කාලය යොමු කළේ පොත්පත් කියවන්නටය. සිනමාව හදාරන්නටය.   
ටෝනි සාර්ථක සිනමා නවළුකු ලෙස පමණක් නොව යළික් වරක් සාර්ථක වේදිකා නළුවකු ටෙලිනාට්‍ය නළුවකු බව ඔප්පු කළේ මේ දුෂ්කර කාලය හරිහැටි යොදාගත් බැවිනි.   
ඔහු බන්දුල විතානගේ සමඟ එක්වී විලියම් ශේක්ෂ්පියර් ගේ වැනීසියේ වෙළෙන්දා කරළියට ගෙනාවේය. ඉන්පසුව ඔහු ජුලියස් සීසර් කරළියට ගෙන ආවේ ගාමිණී ෆොන්සේකාද වේදිකා නළුවකු බවට පත් කරමිනි.   
බොහෝ දෙනා නොදන්නා කාරණයක් තිබේ. ඔහු කිසි දිනෙක මෝටර් රථයක් පැදෙව්වේ නැත. චිත්‍රපටවලදී වුව ඔහු මෝටර් රථ පදවන දර්ශනවලට පෙනී සිටියේ සමීප රූපවලදී පමණි. එහෙත් ඒ අඩුව ප්‍රේක්‍ෂකයාට නොදැනෙන්නට අපූරුවට රඟපෑවේය.   


ටෝනි හැම විටෙකම කීවේ නළුවකුට රඟපාන්නට විවිධ මෙවලම් අවශ්‍ය නොවන බවය. හිස් අතින් පැමිණ හොඳ රඟපෑමක් ඉදිරිපත් කරන්නට හොඳ නළුවකුට හැකියාව ඇති බව ඔහුගේ හැඟීම විය.   
‘‘සමහරු රඟපානකොට මේසය අල්ලනවා, ටෙලිපෝන් එක අතගානවා. එහෙම ඕන නෑ. ඒ කිසිම දෙයක් නැතිවත් නළුවකු හොඳ රඟපෑමක් ඉදිරිපත් කළ යුතුයි’’ ඔහු ඒ බව කීවේ මා අධ්‍යක්‍ෂණය කළ ‘‘හතේ වසම’’ ටෙලිනාට්‍යයේ එක් නළුවකු රඟපෑමේදී දොරවල් ඇල්ලීම, මේස ලාච්චු ඇරීම වැනි දේවල් කිරීම නිසයි.   
තිරයට ඔහුගේ මුහුණ පමණක් සෑහෙන තරමට ඔහු රඟපෑම් ඉදිරිපත් කෙළේය. කතා කළේ ඔහුගේ මුහුණයි.   


‘‘හතේ වසම’’ රඟපාන කාලයේදී ටෝනිට ඉංගිරියේදී නවතින්නට සූදානම් කර තිබුණේ අප සිටි නිවසේම ඉදිරිපස කාමරයයි. එහෙත් ඔහු එහි නවතින්නට අකැමැති විය.   
ඔහු ඒ වෙනුවට මඳක් එහායින් පිහිටි ගෙස්ට් හවුසියක කාමරයක් වෙන්කර ගත්තේය. ඔහු හුදෙකලාව සිටින්නට ප්‍රිය කෙළේය.   


ඔහු ඒ ගෙස්ට් හවුසියේ සිට අප සිටි නිවසට පැමිණ උදෑසන ආහාර ගත්තේය. ඉන් පසුව රූපගත කිරීම්වලට සහභාගී වූයේය.   


රූගත කිරීම්වලදී ඔහුට කිව යුතු වූයේ දර්ශනයේ අංකය සහ රූගත කරන ස්ථානය පමණකි.   
කැමරා කෝණය සකස් කළ විගසම ඔහු රූගත කිරීමට සූදානම්ය. අවශ්‍ය දෙබස් සියල්ලම හොඳින් කටපාඩම්ය. ඔහුගේ පමණක් නොව අනෙක් ශිල්පීන්ගේ දෙබස්ද මතකය.   
රාත්‍රී කාලයේදී ඔහු දර්ශනය හොඳින් කියවා තනියම පුහුණු වනවා විය යුතුය.   
මාලන් බ්‍රැන්ඩෝ නම් සුප්‍රකට හොලිවුඩ් නළුවාද බොහෝ විටෙක කාටත් නොදැනෙන සේ මෙසේ තම චරිතය විවිධ ආකාරයෙන් පුහුණු වූ බව ඇතැම් විචාරකයෝ පවසති. බ්‍රැන්ඩෝගේ රඟපෑම් එතරම් සාර්ථක වන්නට එයද හේතුවක් වන්නට ඇත.   


ටෝනි ඔහු අසාර්ථක නළුවකු ලෙස හැඳින්වූ කාලය ගැන අපූරු කතාවක් කියා තිබුණේය.  
‘‘මට චිත්‍රපට නැති කාලෙ යාළුවො නැතිව ගියා. ගාමිණී ෆොන්සේකා තමයි මට ආපසු නැගිටින්නට අතහිත දුන්නෙ’’ ඔහු කීවේය.   


ටෝනිගේ අසාර්ථක චිත්‍රපට චරිත ගැන ඔහු කීවේ ඊට හේතුව ඒ චරිතවලට අවශ්‍ය ප්‍රමාණයට සමීප නොවීම විය යුතු බවය. ඒ නිසාම ඔහු පසු කාලයේදී තමා රඟපාන චරිත ගැන සැලකිලිමත් වූයේය. ටෝනි සාර්ථක නළුවකු වූයේ එපරිද්දෙනි.   


අහිංසක පෙම්වතා ලෙස කාලයක් වැජඹුණද ටෝනි ආඩම්බරකාරයකු විය. ඔහු නළුවකුගේ ආත්මාභිමානය පහළට දමන්නට කැමැති නොවීය.   


‘‘හතේ වසම’’ ඉංගිරියේ රූගත කරද්දී ඔහු හා කතා බහ කිරීමට සුප්‍රකට දේශපාලකයකු පැමිණියේ තවත් පිරිසක් සමගිනි. තම සුවිසල් රථ​යෙන් බැස ඔහු පිරිස සමඟ දර්ශන තලයට ආවේ ඈති සිටම ටෝනිට කතා කරමිනි.   


‘‘හලෝ ටෝනි...’’ දේශපාලකයා උස් හඬින් කතා කළේය.   
ටෝනි ගණනකට නැතිව දේශපාලකයාට ඔහුගේ නමින්ම ඇමතුවේය.   
‘‘හලෝ.....’’  
‘‘ඔයා ඉන්නව කියල ආරංචි වුණා. ටිකක් කතා කරල යන්නයි ආවේ..’’  
‘‘දැන් කතා කරන්න බෑ... දැන් මම ෂූටින්...’’  
‘‘ඕ. කේ.. ටෝනි. එහෙනම් ගිහිල්ල එන්නම්...’’  
‘‘ඕකේ....’’  


වර්තමානයේ ඇතැම් නළුවකු සිටින දර්ශන තලයකට සුප්‍රසිද්ධ දේශපාලකයකු ආවා නම් ඔහු රූගත කිරීම් සියල්ල අවලංගු කොට ඔහු හා එක්වන්නට යනවා නිසැකය. එහෙත් ටෝනි දේශපාලකයාට ඔහු​ගේ නමින් අමතන්නට ධෛර්යය තිබිණ. ඔහු හා කතා කරනවාට වඩා තම රාජකාරිය වැදගත් බව ඔහු දේශපාලකයාට හැඟවීය.  


දැනුමෙන්, ජනප්‍රියත්වයෙන්, කුසලතාවෙන් පිරුණු කලාකරුවකුට කළ නොහැක්කේ කුමක්ද? එවන් කලාකරුවන් සමඟ නිර්මාණකරණයේ යෙදෙන්නට ලැබීම ගැන මම අද සතුටට පත්වෙමි. 

 

රොඩ්නි විදානපතිරණ