දෙයියන්ගෙන් දෙයියා හැඩ කරන සමීර, කලනි සහ ටෂිල


ජනප්‍රිය යූ ටියුබ් නාළිකාවක් වන දෙයියන්ගෙත් දෙයියා 500වැනි නිර්මාණය පසුගියදා ජනගත විය. යූ ටියුබ් නාළිකා අතර අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් වූ දෙයියා හි එක් විශේෂත්වයක් නම් එය පවුලේ සාමාජිකයන් ගේ නිර්මාණයක් වීමය. සමීර මදුසංක සහ කලනි නිසංසලා දෙපල සමග ටෂිල මදුසංක පුතණුවන් ද චරිතවලට පණ පොවති.

මාර/කැටියපේ මහ විදුහලේ තෙවැනි පන්තියේ දක්ෂ සිසුවෙකු වන ටෂිලගේ රංගනය විශේෂ අවධානයක් දිනාගෙන ඇත.

දෙවියා හාස්‍යොත්පාදක නිර්මාණයකි.දෙවියා හෙවත් ගෘහ මූලිකයා කකුල අද්දවමින් යන ගමන, අමුතු හිනාව මෙන් ම කට්ටකමට බර චර්යා ද ආකර්ෂණීයයි. කලනි හෙවත් බිරිය ගේ රංගනය ද සජීවමත් ය .ගැමි ගෙදර කුටුම්බයක ගැටුම් සහ ප්‍රමෝදය කථාංග වලට විෂය වෙයි.

දෙයියා හි ආරම්භය ගැන සමීර මෙසේ පවසයි.

“රඟපෑමේ ආසාව පොඩි කාලෙ ඉඳලම තිබුණා. අවස්ථාවක් ලැබුණෙ නෑ.

යූ ටියුබ් නාළිකා, ටික්ටොක් ජනප්‍රිය වෙන කාලෙ යාළුවන් ගෙ ෆෝන් වලින් මගෙ රඟපෑම්,ගායනා නිකං වීඩියෝ කරලා බැලුවා. මට හිතුණා වැඩක් කරන්න පුළුවන් බව.”

“කලනි බැන්දට පස්සෙත් මගෙ හිතේ මේ ඕනැකම තිබුණා. මම කොහොම හරි ෆෝන් එකක් ගත්තා. ඒ වෙද්දි මම සමාජ මාධ්‍යයෙන් දෙයියා දෙයියා ගීතය අහල දැකලා තිබ්බා. එකේ මුල් කොටස වෙන් කරගෙන බිරියගෙ සායක් හැට්ටයක් ඇඳගෙන නැටුමක් වීඩියෝ කළා. ඒක තමයි මුලින්ම දැම්මේ. ඒක ගොඩක් අය බැලුවා. වෛරල් වුණා. සමහරු ඒකට බැන්නා. ඒත් ගොඩක් අය කැමති වුණා. තව එකක් ඕනැ කීවා. තව එකක් කළා.මේ විදියට මට මේ ක්ෂේත්‍රයෙ ඉදිරියට යන්න පුළුවන් යැයි හිතුණා. ඒ නිසා මේක කරගෙන ගියා.”

දෙවියා නාලිකාවට පසුබිම් වන නිවස මැටියෙන් තැනූ එකකි. තරමක් උස් බිමක හරිත වර්ණ පරිසරයෙන් වටවූ මෙය පෙනෙන්නේ - එම නාළිකාව සඳහාම විශේෂයෙන් තැනූ නිවසක් බවය.

මේ ගැන මදුසංක ගෙන් ඇසීමි.

“මේ තමයි අපි ඉන්න ගේ. අපේ මාළිගේ. වෙනත් ගෙයක් අපට නැහැ තවම.” මදුසංක කීවේය.

ඇත්තටම එය සුන්දර නිවහනකි. එය සමීරගේ ජීවන වෘත්තිය සමගද බැඳෙයි. ඒ මෙසේය.

“දෙයියා නැටුම වයිරල් වෙන කාලෙ අපි දුෂ්කර ජීවිතයක් ගත කළේ. මම කළේ කුලී වැඩ.සමහර දවස්වලට කුලී වැඩත් ලැබුණෙ නැහැ. එක දවසක් මමයි බිරියයි පුතයි තුන් දෙනා මුළු දවසටම කෑවෙ අඹ. ඒත් මම දැන් ජීවත් වෙන මට්ටම හිතද්දි ඒ ගැන දුකක් නෑ.රජ මාලිගයක් නැතත් අපි දැන් දුකක් නැතිව හොඳින් ජීවත් වෙනවා.කාටවත් කරදරයක් නැතිව.”

දිරිගන්වන ප්‍රතිචාර ද, ඇනුම් බැණුම් ද මැද පැමිණි ගමන සුන්දරය. දෙයියා නාලිකාවෙහි සුවිශේෂත්වය වන්නේ පවුලේ සාමාජිකයන් තිදෙනා චරිත බවට පත්වෙමින් තම නිවස ම රංගභූමිය බවට පත් කර ගැනීමය.එහි ආරම්භය මෙසේය.

“මුලින්ම මම පුතත් එක්ක චූටි සමන් නමින් වැඩක් කළා. අත්හදා බැලීමක්. ඒක ගොඩක් සාර්ථක වුණේ නැහැ. ඊට පස්සෙ තමයි අපි තුන් දෙනා කතාවෙ චරිත බවට පත් වෙලා දෙයියා පටන් ගත්තේ. දෙයියා ගීතයේ මුල් කොටස සහ සංගීතය හොඳින් ගැළපුණා.පන්සීය වාරයක් පහුකරන මට්ටමට ජනප්‍රිය වුණා. ගොඩක් අය දැන් කතා කරනවා.අපි බලන්න එනවා.”

වීඩියෝ කිරීම, කතාව ලිවීම, සංස්කරණය කව්ද කරන්නෙ?

“ඔක්කොම කරන්නෙ මම. ඒවා තනියම ඉගෙන ගත්තා.වීඩියෝ කරද්දිත් බිරියත් හවුල් වෙනවා.සමහර වෙලාවට දෙන්නා කතා කරලා පිටපත ලියනවා.බිරියත් ලියන වෙලාවල් තියෙනවා.අපි ඉතින් සහයෝගයෙන් වැඩ කරනවා.මත ගැටුම් ඇති වෙන වෙලාවලුත් නැත්තෙම නෑ” සමීර කියයි.

මේ ප්‍රහසන මාලාවෙ හි බොහෝ කථාංගවල දී දෙයියාට ඇබැද්දි සිදුවෙයි.ජීවන ඇබැද්දියට මුහුණ දෙන ගැමි තරුණයෙකු උපහාසයෙන් ඒවා විඳ දරාගන්නා පරිදිම දෙයියා ඒවාට මුහුණ දෙයි.

අනාගතය සැලසුම් කළේ කොහොමද?

“ගොඩක් දේවල් ඔළුවෙ තියෙනවා. වීඩියෝ, එඩිටින් තවත් දේවල්. ඒ වගේම බුරියානි කිචන් එකකුත් පටන් ගත්තා. ඒකටත් ප්‍රතිචාර හොඳයි. අපට දැන් ප්‍රසංග වලටත් කතා කරනවා.අනාගතය අසුබ නෑ. පසු බාන්නෙ නැතිව අලුතින් යමක් නිර්මාණය කිරීම තමයි මගේ ගමන” සමීර මදුසංක කියයි.

තිඹිරියාගම බණ්ඩාර