‘‘මම හීන හීන ගානේ
ළංවෙන්න පෑ සිනාවේ
ළඟ ඉන්න සැමදා මා නිවා.’’
නවක කලාකරුවන් සොයා සමාජ මාධ්‍ය සිසාරා යද්දී මේ ආදර ගීතයේ ළයාන්විත රිද්මය ළඟත් ඊටම ගැළපෙන රූප රාමුව තුළත් මගේ නෙත් සිත් නතර වුණා. එම රූපණයට දායක වූ නව යොවුන් ශිල්පියාගේ පැටිකිරිය සොයා යන්නට මා සිත පෙලඹුණා.
අද තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වෘත්තාන්තය ලෙස සැලකෙන ‘‘දෙවෙනි ඉනිමේ’’ ආරණ්‍යා නම් සුන්දර යුවතියගේ සොහොයුරා වන ලසිතගේ භූමිකාවට පණ දෙන ඔහු නමින් ශනිඳු හඳුන්නෙත්ති.
අපේ දක්ෂතම මෙන්ම ජනප්‍රිය වේදිකා, ටෙලි හා ප්‍රාසාංගික රංගන ශිල්පියකු හා සංගීත ශිල්පියකු වන ජීවන් හඳුන්නෙත්ති ඔහුගේ දයාබර පියායි.
දිවංගත නාඩගම් හා නුර්ති කලාගුරු ධර්මදාස කුරුප්පු සූරීන්ගේ ‘‘සේනක නාඩගමේ’ ජීවන් හා මා රඟපෑ අයුරු අද වගේ මතකයි. එදා ජීවන් සේනක කුමාරයා වූවා. මම සුත්‍රධරයා වුණා. ඔහු මෙන්ම පුත්‍රයා ද කලා ලොව දිගු ගමනක් යතැයි අපේ පැතුමයි.
ශනිඳු කොහොමද පරපුරේ මතකය?
තාත්තා තමයි මගේ කුසලතාව මුලින්ම දැන හැඳින ගත්තේ. එයා කියන විදියට අපේ මුල්ගම වන බළපිටියේ විසු දක්ෂ කලාකරුවෙක් තමා මගේ සීයා.
එයාගෙ නම හඳුන්නෙත්ති ගුණසේනද සොයිසා. මාදුව ආදාදොළ කියන සුන්දර ගම්මානෙ තමයි එයාගෙ බිරිඳ කලුදුර සෝමවතී ද සිල්වා ඒ කියන්නේ මගේ ආච්චි ඉපදිලා තියෙන්නේ. පවුල් දෙකේම උදවිය කලාවට බොහොම ළැදියිලු.
ගමේ නාට්‍ය, සාද, මඟුල් ගෙවල් එකක්වත් ඔවුන් නැතුව සිදු වුණේ නැහැ. හවස 06න් පස්සේ රෑ මැදියම වනතුරු හැමදාම ගෙදර පැදුරු සාජ්ජයලු. සීයා වාදනය කළේ මැන්ඩලින් එක සහ සර්පිනාවයි. රැකියාව වශයෙන් සීයා ජේලර් තනතුරක් දැරූ නිසා ගමේ අය එයාට ඇමතුවේ ‘‘රාලහාමි’ කියලලු. ඉතින් සීයා සතු එම කුසලතාව තාත්තට වගේම මටත් උරුමවෙලා ඇති කියලා හිතෙනවා.
තාත්තත් පාසල් කාලේ හපන්කම් පෙන්වන්න ඇති.
තාත්තාගේ ජීවිතයම කලාගාරයක් කියලා මට හිතෙනවා. බළපිටිය සිද්ධාර්ථ ඉගෙන ගන්නා කාලෙත් එයා නාට්‍ය, වාදනය, ගායනය වැනි අංශවල දස්කම් පාලා තිබුණා. අම්බලන්ගොඩ බන්දු විජේසූරිය ගුරුතුමා යටතේ වෙස් මුහුණ කෝලම් හා නාට්‍ය රංගන කලාව හැදැරූ තාත්තා ෂෙල්ටන් ප්‍රේමරත්න හා කලුපහන යන ගුරුවරුන්ගෙන් සංගීතය හැදැරුවා.
මට තාත්තා ඒ කාලේ ගත්ත පින්තුර හා කලා සිහිවටන පෙන්වමින් පැමිණි නාට්‍ය ගීත ගයමින්, රඟපාමින් එම යුගයේ විභූතිය ගැන පාඩම් රැසක් කියලා දුන්නා. තාත්තා සම්බන්ධ නිර්මාණ පුහුණුවීම් වලදීත් වේදිකාගත වන දිනවල දී මෙන්ම ප්‍රසංග පැවැත්වෙන දිනවලදී මාව කැඳවාගෙන ගිහින් කලාකරුවන්ට හඳුන්වා දෙනවා.
මගේ වයස වෙද්දි තාත්තා ඉහළම පෙළේ කලාකරුවන්ගෙ නිර්මාණවලට දායක වෙමින් තිබුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පරාක්‍රම නිරිඇල්ල, පුණ්‍යසෝම ගුණසිංහ, ධර්මදාස කුරුප්පු වැනි චරිත එක්ක. ඔවුන් හා ලැබු අත්දැකීම් ඇහුවාම අද යුගය හරියට අහසයි පොළොවයි වගේ.
කොහොමද පාසල් කාලෙ ඔයාගෙ අත්දැකීම්?
මං හරිම වාසනාවන්තයෙක් කියලා හිතෙනවා. මොකද මගේ පියා වගේම මවත් කුසලතා පූර්ණ කලාකාරිනියක්. ඇය දැන් නර්තන ගුරුවරියක් ලෙස කොළඹ කලාපයේ සේවය කරනවා. පාසල් යන්නත් කලින්ම ඔවුන් තමා මගේ දෙගුරුන් වගේම ගුරුවරුන් ද වුණේ.
මම අධ්‍යාපනය ලැබුවේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ. එහි නාට්‍ය හා කලා කටයුතුවලට උපරිමයෙන් සම්බන්ධ වූ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සයිඩ් ඩ්‍රම්ස් වාදක හා බැන්ඩ් ලීඩර් ලෙස කටයුතු කළා.
පාසල් කාලෙදීම තාත්තා නිර්මාණය කළ ටෙලි ෆිල්ම්ස්වලට රංගනයෙන් දායක වුණා. ඒ වගේම අද දක්වාම හොඳ නාට්‍යයක් චිත්‍රපටයක් ප්‍රසංගයක් හෝ කලාවේ වැදගත් කතාබහක් ලැබුණාම තාත්තා මාව ඒ තැන්වලට කැටුව යනවා.
ඉතින් මේවායින් ඉගෙනීමට බාධාවක් වුණේ නැද්ද?
මුලින් මුලින් මට දැනුණේ කලාව කියන්නේ විනෝදයට දනවන තැනක් කියලයි. ඉතින් ඕනෑම කලා නිර්මාණයක් සැදී පැහැදී රසවිඳින මට්ටමකට මගේ හිත තැන්පත් වුණා. ඒත් නාට්‍ය හා රංග කලාව හදාරන කොටයි තේරුණේ කලාවේ තියෙන ගැඹුර හා බරපතළ වගකීම ගැන.
ඉගෙනීමේ කටයුතුවලට සමගාමීව කලා කටයුතු කරගෙන යන්න මට වාසනාව ලැබුණා. ඒකත් ඉගැන්වුවේත් උපදෙස් දුන්නේත් තාත්තා සහ අම්මායි.
පාසල් කාලයේදී කොහොමද කලාවට පිවිසුණේ?
පාසල් යද්දීම තාත්ත කළ නිර්මාණවලට දායක වුණා. ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ ‘‘යාලු මාලු’’ ටෙලිනාට්‍යයේ කුඩා චරිතයක් ලැබුණා. කලක් යනකොට තමයි සාරංග මෙන්ඩිස් නම් නිර්මාණකරුවාගේ ‘‘දෙවැනි ඉනිමට’ ආරාධනා ලැබෙන්නෙ. එහි ආරණ්‍යා ලෙස ප්‍රධාන චරිතයක් රඟපාන්නේ මල්කි දිසානායක සොයුරියයි. ඇගේ මල්ලි වන ලසීනගේ චරිතය මං රඟපානවා. ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
විශේෂත්වය නම් එහි මගේ තාත්තා ලෙස රඟපාන්නෙන් ජීවන් හඳුන්නෙත්ති වීමයි. ඒක මට අමතක නොවන අත්දැකීමක්. දැනට තාත්තා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පියෙක්. ඔහුගෙන් ආභාසය ලබමින් කලාවේ දුර ගමනක් යන්න උත්සාහ දරනවා.
සංගීතය පැත්තෙනුත් තාත්තා සමග දුර ගමනක් තියේවි.
ඇත්තෙන්ම එතුමාගේ පුතා වීමට ලැබීමත් දෙවියන් දුන් වරමක් ලෙස සලකන්න පුළුවන්. තාත්තා සංගීත කණ්ඩායම් රැසකට සක්‍රියව දායකත්වය දෙන පුද්ගලයෙක් ඒ වගේම බොහෝ සංගීත භාණ්ඩ වැයීමටත්, ගැයීමටත් තනු නිර්මාණයටත් උපන් හපනෙක්. ඕනෑම අභියෝගයක් භාරගන්නා කලාකරුවෙක්.
තාත්තාගේ අත්වැල මෙන්ම සෙවණැල්ල මෙන් ඔහු ළඟ රැඳී ඉන්න ලැබීම මට සතුටක්. ඒ වගේම අභ්‍යාසයක්.
සංගීතය පැත්තෙන් මම ගායනය, ගිටාර්වාදනය, කාල තරංග වාදනය ප්‍රගුණ කරනවා. තාත්තාගෙ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයකු ලෙස ද කටයුතු කරනවා.
මොනවද ඒ සංගීත කණ්ඩායම්?
තාත්තා හැදුවා ‘‘රණ මොනරු’’ කියලා සංගීත කණ්ඩායමක් ප්‍රියසාද, ප්‍රසංග, නාට්‍ය, මෙන්ම රූපවාහිනී වැඩසටහන් රැසකට රණ මොනරු දායකත්වය දුන්නා. ඒ වගේම අප දායක වූ NOTES වාදක කණ්ඩායම, Calypes band වැනි වාදක මණ්ඩලය තාමත් සක්‍රීයයි.
අපේ බෑන්ඩ් එක ඕනෑම සංගීත රටාවකට ඔට්ටුයි. සරල ශාස්ත්‍රීය මෙන්ම වේග රිද්මය වැඩ පෙන්වුවා. මං හිතන්නේ ග්‍රැමෆෝන් යුගයේ සිට නව තාක්ෂණය දක්වා හදාරවා හසුරුවන්න අපේ සංගීත කණ්ඩායම ගජ හපන්නු.
තාත්තා දක්ෂ විකට නළුවෙක්. ඒ වගේම අනුකරණ ගායන ශිල්පියෙක් ඔබට ඒ කුසලතා තියෙනවද?
තාත්තා අත්දැකීම් බහුල ශිල්පියෙක්. නාඩගම්, නුර්ති හා ස්වතන්ත්‍ර නාට්‍යවල දක්ෂ නළුවෙක්. ඉදිරි කාලය තුළ තාත්තා සමග ශිල්ප දක්වන්නට මටත් වාසනාව ලැබේවි. ඒ වගේම එතුමා වේදිකා හා ටෙලිනාට්‍ය රැසක් නිපදවූවා. ඒ අතරින් මගේ සිත්ගත් ‘ලූලා’ නම් හාසෝත්පාදක නාට්‍යය අගය කරනවා.
දිවංගත අමරදේව සුරීන් වැනි දුර්ලභ සම්භාව්‍ය සංගීත ශිල්පියකුගේ හඬ පවා අනුකරණය කර ගී ගැයීමට තාත්තාට හැකි වුණා. ඒත් මං කැමති ස්ව නිර්මාණය තුළින් මගේ සංගීත දිවිය ඉදිරියට ගන්නටයි අනුකරණයෙන් ටිකෙන් ටික ඈත් වෙනවා.
දැනටම මා ලියා තනු යොදා ගායනා කිරීමට උත්සාහ දරන ගීත නිර්මාණ කිහිපයක් තිබෙනවා. විඩියෝ සහ යු ටියුබ් නාළිකාවලින් Shanidn Hadunneththi යනුවෙන් එම නිර්මාණ බලා ගත හැකියි.
‘‘හිමි නැති ආදරේක’’ ‘‘ආදරෙන් හිත හිනැහේවි’’. ‘සීතල හාදුවකින්’’ තාත්තේ මට දැනෙනවා’’ වැනි ගීත රැසක් එහි ගැයෙනවා. මා රඟනවා.
විශේෂයෙන් මගේ තාත්තාගේ 60 වන උපන් දිනය නිමිත්තෙන් මා විඩියෝ ගීයක් නිර්මාණය කළා.
ඔහුගේ 40වසරක කලා දිවිය වෙනුවෙන් එය සමාජ මධ්‍යයට නිකුත් කළා ‘‘තාත්තේ මට දැනෙනවා’’ නම් එම ගියේ පද රචනය කළේ තරිඳු සිල්වා, තනු නිර්මාණය හා සංගීත සංකලනය මගේ. සංස්කරණය කළේ ඔෂාන් පෙරේරා.
‘‘තාත්තේ මට දැනෙනවා
දුන්නු ආදරේ තරම
පෙන්නුවාට වඩා හොඳට
තේරුම් ගත්තා.....’’
එදා මේ රූප රාමුව නරඹල තාත්තාගේ දෑස් කඳුළින් පිරුණා.
ශනිඳුගේ අලුත් බලාපොරොත්තු මොනවාද?
මම තවම අංකුර කලාකරුවෙක්. ඉදිරියේදී අලුත්ම ගීතයක් නිර්මාණය කිරීමට සූදානම් වෙනවා. තාත්තාවගේ නුර්ති හා නාඩගම් ගී ගැයිමටත් ජනගත කිරීමටත් තමා ආසාව. වේදිකා නාට්‍යයක් සඳහා ආරාධනාවක් ලැබිල තියෙනවා. අලුත් චිත්‍රපටයකට හා ටෙලි නාට්‍යයකට සූදානම් වෙමින් ඉන්නවා.
පුතාගේ කුසලතා ගැන ප්‍රවීණ රංගධර ජීවන් තාත්තා කියන්නේ මෙහෙමයි.
පුතාගේ සැඟවුණු කුසලතා මං දැක්කේ පුංචි සන්දියේදිමයි. සෑම කලාංගයක්ම ඔහුට ඉගැන්විය යුතුයයි මං තීරණය කළා. තබ්ලා, ගිටාර් වාදනය සඳහා පන්ති අරන් ගියා. එයා තුළ ඉන්න නිර්මාණශීලි කලාකරුවා එළියට ගන්නයි මගේ වෑයම. දෙවෙනි ඉනිමෙන් ඇරඹු ඒ ගමන පියවරෙන් පියවර ඔසවන හැටි බලා ඉන්න ආසයි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි