තෙරිණි සසුනේ ගීතය ගැෂීම නිසා හැමෝම වගේ හොයන තක්සිලා සෙව්වන්දි


තක්ෂිලා සෙව්වන්දි ගැන ඇයගේ පාසල් සමයේදී වැඩි දෙනෙක් කතා වුණේ මලල ක්‍රීඩිකාවක ලෙස සමස්ත ලංකා මට්ටමින් දැක්වූ ඉහළ දක්ෂතා නිසයි. ඉන්පසුව මලල ක්‍රීඩාවට සමුදී ඇය කටයුතු කළේ වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය මෙන්ම සිනමා රංගන ශිල්පිනියක ලෙසයි. ඊටත් පසුව රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කළ ඇය ගැන අද දවසේ වැඩි දෙනෙක් කතා වන්නේ ‘තෙරිණි සසුනේ’ නමින් ගීතයක් ගැයීම නිසයි. පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් ඇය ගැන විමසිලිමත් වූයේ, ඇය තෙරණියක වීමට සූදානමින් සිටින වග දැක්වෙන අදහස් ඇය නිතර ප්‍රචාරය කළ නිසයි. කොහොම වුණත් ඒ සියලු දේ ප්‍රචාරය වුණේ ‘තෙරිණි සසුනේ’ ගීතය එළිදැක්වීමට පෙරදියි. අද මේ ගීතය ගැයීම නිසා ඇයට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. මේ විදිහට ගීතයක් ගැයූ ඇය කවුද? ඇත්තටම ඇයගේ අරමුණ ‘මෙහෙණි සසුනට’ ඇතුළත් වීම ද? තක්ෂිලා සෙව්වන්දි, ඒ සියලු දේ ගැන සඳැල්ලට විස්තර කළේ මේ විදිහටයි.

‘මගේ ගම අනුරාධපුරයෙ. ඉගෙන ගත්තෙ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඒ කාලයේ මම හොඳ මලල ක්‍රීඩිකාවක්. සමස්ත ලංකා මට්ටමින් ප්‍රථම ස්ථාන දිනාගත්තා. මගේ පවුලෙ අම්මයි, අයියයි, නංගියි මමයි විතරයි. තාත්තා ජීවතුන් අතර නැහැ. රඟපෑමට සම්බන්ධ වීමත් එක්ක මම කොළඹ පදිංචියට ආවා. දැන් පදිංචිය පන්නිපිටියෙ. රංගනය පටන් ගත්තේ ආනන්ද අබේනායක මහත්මයා අධ්‍යක්ෂණය කළ ‘අප්පච්චි’ ටෙලි නාට්‍යයේ වෛද්‍යවරියකගෙ චරිතයකින්. ඉන්පස්සෙ ‘හතරවරං’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ අතරේදි නැවතත් වේදිකා නාට්‍යවල රඟපාමින්, රටවල් ගණනාවක සංචාරය කළා. රැළිය සමග කොමඩි ගී සැඳෑව සමග රටවල් දාහතරක විතර සංචාරය කළා. ඒ අතරේදි ටී.එන්.එල්. නාළිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කළා.

ප්‍ර ගායනයට ආවේ?

ඒක එක්තරා විදිහක අහම්බයක්. දිනෙක වැඩිහිටි නිවාසයක පැවැත් වූ වැඩසටහනකදී බලෙන්ම වගේ මට ගීත ගයන්න කියලා මාව ඒ වැඩසටහනට දායක කරවා ගත්තේ මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් වන අනුජිත් සහ ධම්මික ශ්‍රී. එදා මම ගැයූ ගීතයක වීඩියෝ Clip (ක්ලිප්) එකක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණාම ඒකට ලැබුණෙ ලොකු ප්‍රතිචාර. එයින් පසුව මට මගේ ගායන හැකියාවෙන් යමක් කරන්න හිතුණා. බුද්ධ දර්ශනයට වගේම මෙහෙණින් වහන්සේලාට මම හරි ළැදියි. ඒ නිසා මෙහෙණින් වහන්සේලා ගැන කියැවෙන ගීතයක් කළොත් හොඳයි කියලා හිතුවා. ගීතය රචනා කරන්න රඹුකන සිද්ධාර්ථ හිමිට මම ගෞරවයෙන් ආරාධනා කළා. උන්වහන්සේ මේ ගීතය ලියුවේ රෝහලේ නැවතී ප්‍රතිකාර ගනිමින් සිටියදීමයි.

ඉන්පස්සේ විශාරද දිස්නා අතපත්තු අක්කා හමුවුණාම, එයාට මම මේ ගීතය ගැන කිව්වා. මේකට තනුව හා සංගීතය සඳහා විශාරද සංගීතවේදී දර්ශන වික්‍රමතුංග සම්බන්ධ කරලා දුන්නෙ දිස්නා අක්කා. ‘තෙරිණි සසුනේ’ ගීතය නිර්මාණය වුණේ මේ ගීතය සෑම දෙනාගේම අතරට යැවීමටයි. ඒක ඒ විදිහටම සිදුවුණා. මේක මගේ පළවැනි ගී නිර්මාණයයි.

ප්‍ර තෙරිණි සසුනේ ගීතය ගැන සහ ඒ මාතෘකාව ගැන කතා කළොත්? මේ වෙනුවෙන් ඔබ පූර්ව ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙහෙණින්වහන්සේලා සමග සිටි ඡායාරූප සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළා. ඇයි ඒ වගේ දෙයක් කළේ?

මේ වගේ මාතෘකා ගැන කතා කරනව අඩුයි. ඒ නිසා ඒ වගේ තේමාවක් තෝරා ගත්තෙ හරිම සතුටකින්. අවස්ථා තුනකදී ඒ විදිහට ඡායාරූප පළ කළා. අන්තිම එක පළ කරද්දී නිදහස් ජීවිතය කියලා අදහසක් දැම්මා. තව දින පහයි කියලා දැම්මා. එතකොට මට එක දිගට කෝල් ආවා. සමහර අයට උත්තර දුන්නා. සමහර ඒවාට දෙන්න බැරි වුණා. තව දින පහයි කිව්ව නිසා බොහෝ දෙනෙක් හිතුවෙ මම මහණ වෙන්නයි යන්නෙ කියලයි. එහෙම අදහසක් දැනට නම් නැහැ. මගේ අරමුණ වුණේ වෙසක්-ඇසළ-පොසොන් වකවානුව ඇතුළතදී එය රිලීස් කරන්නයි. මේ කාලයේදී මේ වගේ ගීතයක් එළි දැක්වීම කාලෝචිත බව මගේ හැඟීමයි.

ගීතය මුදා හැරි දවසේ සිට, මේ මොහොත වෙනකම්මල ගිහි පැවිදි  බොහෝ දෙනා ගෙන් තෙරිණි සසුනේ ගීතයට, එහි පදවැලට, සංගීතයට – හඩට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. මට අවශ්‍ය වුණෙත් හැමෝගෙම අතරට මේ ගීතය යැවීමටයි. ඉතින් මගේ පළවැනි ගීතය ලෙස මේ නිර්මාණයට ලැබෙන ප්‍රතිචාර ගැන මට හරිම සතුටුයි.

ප්‍ර තක්ෂිලා ජීවිතය සහ ආදරය ගැන  හිතන්නෙ කොහොමද?

ජීවිතය කියන්නෙ හැල හැප්පීම් මත ගෙවි යන දෙයක්. ඇති වීම් වගේම නැති වීම් වෙන්න පුළුවන්. ඒ සෑම දෙයක්ම නැතිෙවනවාය කියලා හිත හදාගෙන කටයුතු කළොත්, හිතට සැහැල්ලුවක් දැනේවි. ඒත් අපි හැමෝම පෘතග්ජන මිනිස්සු.  ඒ සියල්ල දරා ගන්න අමාරුයි. හැබැයි සියල්ල අනිත්‍යයි කියන දේ වටහාගැනීම හැකි තාක් දුරට කිරීම මගින් ජීවිතයට සැහැල්ලුවක් ලබන්න පුළුවනි. මේ වන විට නම් ප්‍රේම සම්බන්ධතාවක්  නැහැ. තිබිලා තියෙනවා. ඒ වගේම ඒවා නැතිවෙලා තියෙනවා. මේ වන විට මොන දේ කළත් මට මනසට එන්නෙ අනිත්‍ය ගැන වූ වැටහීමයි. ඇලීම්-බැඳීම් ඇතිවනවා වගේම ඒවා නැති වන බවත් වටහාගෙන කටයුතු කරන කෙනෙක්. මේ වන විට නිදහස් මනසකින් සැහැල්ලුවෙන් අරමුණකට යන වග වැටහෙනවා. මේ කලා ගමන, අධ්‍යාපන ගමන, ක්‍රීඩා ගමන, නිවේදන වගේම සංගීත ගමන යන මේ සෑම දෙයක්ම පිටුපස ඉන්නෙ මගේ අම්මා. අම්මාට වගේම නංගි සහ අය්යාටත් ඒ ස්තුතිය පුද කරනවා.

සඳුන් ගමගේ