තුඹසේ සිටින මැඩියා


කුමාර කාශ්‍යප හිමියන්ට ප්‍රශ්න පහළොවක්  

  • චම්මික සූත්‍රය ඇසුරෙන්   

 

(ඉකුත් සතිය හා සම්බන්ධයි)  

 

05. සුමේධයාය කීවේ කාට ද?  


යහපත් බුද්ධියක් ඇති තැනැත්තා සුමේධයාය. ත්‍රිහෙතුක ප්‍රතිසන්ධියක් ඇති එනම් අලෝහ, අදෝස, අමෝහ යන කුසල මූලයන්ගෙන් යුතුව උපත ලැබූ මේරූ බුද්ධියක් ඇති නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඇති යෝගාවචරයාය සුමේධ යනුවෙන් හඳුන්වනු ලැබුවේ.  


06. ආයුධයක්?  


‘ආයුධයක් ගන්න’ යැයි බ්‍රාහ්මණයා සුමේධට කියයි. මොකක්ද මේ ආයුධය?  


‘කුසල චිත්ත සම්පයුක්ත විපස්සණා ඤණං පඤ්ඤ‌ා’ යන විග්‍රහයට අනුව පඤ්ව නීවරණයන් කපා දැමීමට සමත් විශේෂ ප්‍රඥ‌ාවටයි ආයුධය කීවේ. මෙය ‘ආර්ය ප්‍රඥ‌ාව’ යන නමින් ද හැඳින් වේ. භාවනාව යනු බුද්ධිය මතුකර ගැනීමට කරන උත්සාහයයි. එම උත්සාහයෙන් මතුකර ගත් විදර්ශනා ප්‍රඥ‌ාවයි. ආයුධය යනුවෙන් මෙහිදී අදහස් කරනු ලැබේ.

  
07. හැරීම යනු කුමක්ද?  


හැරීම යනු කෙළෙස් නැති කිරීමට දරන උත්සාහයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි මෙය ‘සම්මා වායාම’ යන නමින් හැඳින්වේ. ‘එකො වුපකට්ඨො ආතාපි පහී තත්තො’ සමූහයාගෙන් වෙන්ව තනිව වාසය කරමින්, සිහියෙන් යුතුව, නුවණින් යුතුව නිවනට යොමුකරන ලද සිත් ඇතිව කෙළෙස් තවන වීර්යයෙන් යුතුව කටයුතු කිරීම සම්මා වායාම නම් වේ. එයයි මෙහි දී හැරීම යනුවෙන් අදහස් කළේ.  


08. අගුල ඉවත් කරන්න.  


වසා තිබෙන දොර ඇරෙනවාට අගුලක් හෝ දොර පොල්ලක් සවි කිරීම ගෘහ හිමියාගේ සිරිතකි. දොර වසා තිබෙන තාක් ගෙය ඇතුළේ තිබෙන දේවල් පිටතට පෙනෙන්නේ නැත. එමෙන්ම කෙළෙස් සහිත පුද්ගලයාගේ සිතෙහි තිබෙන ලෝහය, දෝසය, මෝහය වැනි සිතුවිලි තමන්ට අහිත පිණිස, දුක් පිණිස. අනර්ථය පිණිස බව තමන්ට තේරෙන්නේ නැත. එ්වා අත්‍යාවශ්‍ය බව ඔහු සිතයි. මෙසේ ලෝකයේ සැබෑ තත්ත්වය දකින්නට ඉඩ නොදී විපරිත ස්වභාවයෙන් දකින්නට සැලැස්වීම අවිද්‍යාවයි. එම අවිද්‍යාව අත්හල යුතුය යන අදහස දීමටයි දොර පොල්ල අගුල ඉවත් කළ යුතු යැයි කීවේ.  


09. මැඩියෙකු හමුවේවි  


බ්‍රාහ්මණයාගේ නියමය පරිදි සුමේධයා තුඹස හාරයි. එවිට මැඩියෙකු (ගෙම්බෙකු) හමුවෙයි. ඌත් ඉවත් කළ යුතු යැයි බ්‍රාහ්මණයා කියයි. කවුද මේ මැඩියා? මැඩියාය කීවේ මිනිසා ළඟ සැඟවී සිටින ක්‍රෝධයටයි. බොහෝ කොට මැඩියා කොළ රොඩු අස්සේ සැඟවී සිටියි. කවුරුන් හෝ ඌ දැක කෝටුවකින් තට්ටු කළහොත් ඌ පිම්බෙයි. තව තවත් තට්ටු කළහොත් ඌ තවත් පිම්බෙයි. අන්තිමේ දී බෙලි ගෙඩියක් තරමට පිම්බෙයි. මහත්වෙයි. කකුල් හතර ද උඩට ඔසවාගෙන දඟලයි. එවිට කපුටෙක් හෝ උකුස්සෙක් හෝ ඇවිත් ඌ ඩැහැගෙන යයි. ගොදුරක් කර ගනියි. එමෙන්ම මිනිසා තුළ සැඟවී ඇති ක්‍රෝධය කවුරුන් විසින් හෝ බැණවැදීමෙන් හෝ පහර දීමකින් හෝ (මිනිසා) කෝප ගන්වනු ලැබුව හොත් ඔහු ද අතින් පයින් හෝ දඩු මුගුරු ආදියෙන් හෝ අනිකාට පහර දෙයි. අන්තිමේ දී දෙදෙනාම බරපතළ ලෙස තුවාල ලබයි. දෙදෙනාගෙන් එක් කෙනෙක හෝ දෙදෙනාම මිය යයි. මැඩියා ඉවත් කරන්න යැයි කීවේ මිනිසා තුළ සැඟවී සිටින (අනුසය වශයෙන් පවත්නා) ක්‍රෝධය ඉවත් කළ යුතුය යන අදහසයි.  


(මතු සම්බන්ධයි)