තාත්තා එක්ක රගපාන්න ලැබීම ලස්සන අත්දැකීමක්


දශක ගණනාවක් පුරාවට පුංචි තිරයේ ‍රංග තරුවක් වූ, ආනන්ද අතුකෝරළ ප්‍රවීණ රංගන ශිල්පියාගේ දියණිය - ඉෂාරා අතුකෝරළත් මේ වෙන විට පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ට බොහොම හුරුපුරුදු චරිතයක්. පියාගේ ගුරුහරුකම් මැද තම රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඇය නිවේදනයට මෙන්ම න‍ර්තනයටත් උපන් හපන්කම් දක්වන දක්ෂ රුවැත්තියක්. මේ ඈ සමඟ සඳැල්ල කළ කතාබහක්.

ප්‍ර  මෑතක රූපවාහිනී වැඩසටහනකදි ඉෂාරාට පළවෙනි වතාවට නිවේදිකාවක් විදිහට, තමන්ගේ පියාව ඉන්ටව් කරන්න අවස්ථාවක් ලැබුණා නේද?

ඔව්, ඒ ස්වර්ණවාහිනියේ  හිත ඉල්ලන තරු වැඩසටහනේදී. එහෙම අත්දැකීමක් මට කලින් ලැබිලා නැහැ, ඒ වගේම තාත්තා මගේ වැඩසටහනට එයි කියලා මම හිතුවෙත් නැහැ. ඉතින් ඒක මට ජීවිතේ අමතක නොවෙන ලස්සන දවසක් වුණා.

ප්‍ර  ඒ අත්දැකීම වචන කළොත්?

ඇත්තටම මුලින්ම නම් පොඩි panic ගතියක් තිබ්බා. මොකද තාත්තා ඉද්දි මට රඟපාන්න වුණත් පොඩි ලැජ්ජා ගතියක් තිබුණා. හැබැයි ඒකත් මඟඇරගෙන ගොඩක් හොඳට එදා වැඩසටහන කළා. 

ප්‍ර  ඉෂාරා කොහොමද නිවේදිකාවක් වෙන්නේ?

මම පොඩි කාලේ සිරසෙ ගිය පුංචි පැංචි බලලා  තනියම සෙල්ලම් කරනවා.  මම පවුලේ තනි ළමයනේ. ඒ නිසා මම තනියම චිත්‍ර ඇඳගෙන, නිර්මාණ හදාගෙන පුංචි පැංචි එකේ ප්‍රමුදි  විදිහට  රඟපානවා. පොඩි කාලේ එහෙම කළා ඇරෙන්න කොයි වෙලාවකවත්  නිවේදිකාවක් වෙන්න ඕනේ කියලා මට හීනයක් තිබ්බේ නැහැ.ඒත් එහෙම ඉන්න කොට මට පණිවිඩයක්  ලැබුණා ස්වර්ණවාහිනියෙ නිවේදිකාවන් ගන්නවා, ඒකට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කියලා. ඒකට මම සහභාගි වෙන්නේ මගේ තාත්තටත් කියලා. ඒ වෙද්දි එතන කවුරුත් දන්නේ නැහැ මම ආනන්ද අතුකෝරළගෙ දුව කියලා, කොහොමහරි මගේ වෙලාවට මාව ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් තේරෙනවා. එහෙම තමයි නිවේදිකාවක් වුණේ. 

ප්‍ර  නිවේදිකාවක් වුණ ඉෂාරා කොහොමද රංගනයට එන්නේ?

මම නිවේදිකාවක් විදිහට මුලින්ම  ස්වර්ණවාහිනියේ coffee studio with Muditha and Ishi කියන වැඩසටහන තමයි කළේ.මුදිත අයියයි මායි තමයි ඒක කළේ.ඉතින් මේ වැඩසටහනට එක දවසක ආවා  සද්ධාමංගල සූරියබණඩාර මහත්මයා. ඔහු  බොහොම හොඳ තිරපිටපත් රචකයෙක්නේ. ඒ දවස්වල  ඔහු "පාර දිගේ" ටෙලිඩ්‍රාමා එක ලියන කාලේ. ඒ වැඩසටහනේදි  මාව දැකලා "හොඳ චරිතයක් තියෙනවා කරනවද කියලා" මගෙන් ඇහුවා. ඊට පස්සේ මමත් කැමති වුණා. ඒකෙන් තමයි මෑතකාලෙදි කෙනෙක් දන්න කියන ටෙලිඩ්‍රාමා එකකට රංගනයෙන් දායක වුණේ. 

ප්‍ර  මේ දවස්වල වැඩකටයුතු මොනවද?

මේ දවස්වල ස්වර්ණවාහිනියේ වෙනදා වගේම නිවේදන වැඩකටයුතු ටික කරගෙන යනවා. රංගනය පැත්තෙන් සිරස නාළිකාවේ විකාශය වෙන "රොකී" ටෙලිඩ්‍රාමා ඒකෙ ආකර්ෂා කියන චරිතෙට රංගනයෙන් සම්බන්ධ වෙනවා. ඊට අමතරව ගොඩක් ගැහැනු ළමයි කැමතියිනෙ ලස්සනට ඉන්න. හැබැයි පොඩි පඩියක් ගන්න කෙනෙක්ට ලොකු මුදලක් වියදම් කරන්න බැහැ. ඉතින් එහෙම අයටත් ලස්සනට ඉන්න පුළුවන් විදිහට ගුණාත්මක සේවාවක් බොහොම අඩු මුදලට දෙන්න මගේම කියලා සැලොන් එකක් තියෙනවා Seven Zee Beauty and Nail Studio කියලා, ඒකෙ වැඩ, තව මම අලුත් ව්‍යාපාර දෙකක් පටන් ගන්නවා, අප්‍රේල් අන්තිම සහ මැයි මුල වගේ. ඒ වැඩත් එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.

ප්‍ර  ආයෙත් ‘‘රොකී’’ හි රංගනය ගැන කතා කළොත් මොනවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ආකර්ෂාට ලැබෙන්නේ?

මුලින්ම නම් ආකර්ෂාට කට්ටිය බැන්නා. මොකද ඒක නපුරු චරිතයක්. හැබැයි පස්සේ චරිතෙ එහෙම් පිටින්ම වෙනස් වුණා. ඉතින් දැන් හැමෝම ආකර්ෂාට හරි ආදරෙයි. පාරට ගියත් සෑහෙන කට්ටියක් මාව දන්නවා කියලා තේරෙනවා. ඒ චරිතෙන් සෑහෙන ප්‍රේක්ෂක පිරිසක් මගේ වටේ ඉන්නවා කියලා දැනෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ප්‍ර  කවදහරි ඔබේ පියා සමඟත් රඟපාන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද?

ඔව්, ඒකත් ස්වර්ණවාහිනියෙම ගිය "Main Character" කියලා ෂාන් ජයරත්න අධ්‍යක්ෂකතුමාගේ ටෙලිඩ්‍රාමා එකකදි. ඒකෙ තාත්තා හිටියෙ මගේ මාමණ්ඩි විදිහට. කතාවෙ තාත්තගෙ පුතාට හිටියෙ යෂ්, ඉතින් මම එයාගෙ පෙම්වතිය විදිහට තමයි රඟපෑවේ. ඒ තමයි මායි තාත්තයි එකට රඟපාපු පළවෙනි වතාව. 

ප්‍ර  ඒ අවස්ථාවෙ මොකද හිතුණේ?

මම මුලින් කිව්වා වගේ එතනදිත් පොඩි ලැජ්ජා ගතියක් තිබ්බා. පස්සේ ඒක වැඩිය ගාණක් නැති වුණා. මම කවදාවත් හිතුවෙ නැහැ තාත්තත් එක්ක එහෙම එකම ටෙලිඩ්‍රාමා එකක රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා. කොහොමහරි ඒකත් මට ගොඩක් විශේෂ ලස්සන අත්දැකීමක් වුණා.

ප්‍ර  රංගනයෙදි පියාගෙන් මොනවගේ ගුරුහරුකම්ද ඉෂාරාට ලැබෙන්නේ?

තාත්තා මට මුලින්ම කියලා දුන්නා කොහොමද රඟපාන්න ඕනේ, කොහොමද චරිතෙකට අපි අනුගත වෙන්නේ, කොහොමද ඒක ඇඟට ගන්නේ වගේ දේවල්. මම හිතනවා ඒක ගොඩක් සාර්ථක වුණා කියලා, මොකද ගොඩක් දෙනෙක් කියනවා, රඟපානවා ගොඩක් හොඳයි, තාත්විකයි කියලා. රංගනයට ආව අලුත වුණත් කවුරුත් ආධුනික ගතියක් පේනවා කියලා මට කිව්වෙ නැහැ. මම හිතන්නේ තාත්තගෙ ගුරුහරුකම් නිසා තමයි ඒ වගේ හොඳ ප්‍රතිචාර මට ලැබෙන්නේ.

ප්‍ර  පියා වගේම රංගනයෙන් ඉදිරියට යන්න ඕනෙ කියලා කවදහරි ඉෂාරාත් හිතුවද?

නැහැ, එහෙම හිතලා තිබ්බෙත් නැහැ. හැබැයි තාත්තගේ හීනයක් තිබිලා තියෙනවා මාව කවදහරි නිළියක් කරන්න තිබ්බා නම් හොඳයි කියලා. ඒත් තාත්තා ඒක මට කවදාවත් කිව්වෙ නැහැ. ඒ වගේම මට බලකරලත් නැහැ. තාත්තා හැමදාම කළේ මම කැමති පාරෙ මට යන්න දුන්නු එක. කොහොමහරි ඉතින් අවසානේ තාත්තගේ ඒ හිනෙත් හැබෑ වුණා.

ප්‍ර  ඉෂාරා වැඩිපුරම කැමති රංගනයටද නිවේදනයටද ඇහුවොත්?

එකක් කියන්න බැහැ. මොකද දැන් මම දෙකටම ගොඩක් කැමතියි.

ප්‍ර  ඇත්තද ඉෂාරා නර්තනයටත් දක්ෂයි කියන්නේ?

ඔව්, මම පුංචි කාලේ ඉඳන්ම‍යි නර්තනය කළේ.  මම නර්තනයට දක්ෂයි කියලා මට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒවගේම මටත් පෞද්ගලිකව හිතිලා තියෙනවා මට හොඳට නර්තනය  පුළුවන් කියලා. හැබැයි නර්තනය වැඩිදුර ඉගෙන ගන්නවත් ඒකෙන් ඉස්සරහට යන්නවත් හිතලා තිබුණේ නැහැ.

ප්‍ර  ඉෂාරාගේ හීනෙ මොකක්ද?

ඇත්තටම දැන් හීන කියලා කියන්න තරම් ලොකු දේවල් මට නැහැ. ඒක මගේ ලොකුකමට කියනවා නෙවෙයි. හැබැයි මගේ ජීවිතේ ගොඩක් දේවල් මේ වෙන කොටත් මම ළඟා කරගෙන තියෙනවා කියලා මම විශ්වාස කරනවා, මොකද මම ආස කරපු හැම දේම වගේ මම කර ගත්තා. තව පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් හීනයක් කිව්වොත් ගොඩක්ම තියෙන්නේ ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන එක තමයි. එතනින් ඉදිරියට ගියා කියන්නේ මගේ තියෙන හැම පොඩි හීනයක්ම හැබෑ වෙනවා.

ප්‍ර  ඉෂාරා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද ?

අම්මටයි තාත්තටයි.

ප්‍ර  ඒ දෙන්නගෙන් ලැබෙන සහයෝගයත් අපි මතක් කරමු.

ඇත්තටම අම්මගෙනුයි තාත්තගෙනුයි මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ දෙන්නා කවදාවත් මට නීති රීති දාලා හිර කරලා නැහැ. හැමදාම මම ආස දේ මට කරන්න ඉඩ දීලා තියෙනවා. සමහර විට එච්චර හොඳ නිදහසක් මට දුන්න නිසාම වෙන්න ඇති අද වෙනකොට මම ආස දේවල් සහ එයාලා සතුටු වෙන දේවල් කරලා මට ඉස්සරහට එන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ප්‍ර  ඉස්සරහට අවුරුදු එනවනේ. ඒ සඳහා කොයි විදිහේ සූදානමක්ද තියෙන්නේ?

අවුරුද්දට වෙනදා වගේම අම්මයි තාත්තයි එක්ක ගෙදර අවුරුදු සමරනවා. ජීවිතේ සතුටින් හොඳින් ඉන්නවා නම් හැමදාම අවුරුදු වගේනෙ. ඒ නිසා විශේෂ සූදානමක් නැහැ. වෙනදා වගේම පවුලෙ අයත් එක්ක අවුරුදු සමරනවා.

කෞශල්‍යා ලක්ෂානි