තල්වැට අද්දර ගයන අතුල බණ්ඩාර


මාධ්‍යවේදී අතුල බණ්ඩාර නෙළුම්පත්ගම ගායනා කරන ඔහුගේ කුළුඳුල් ගීතය තල්වැට අද්දර මේ වන විට ගුවන් විදුලි නාලිකා වලට මුදා හැර තිබේ.

තල් වැට අද්දර තුන්කල්.
නිවුනේ සහසක් තරු මල්.
මවුනගේ නෙතු අග උණු කඳුළු.
සියුමැලි සුරතේ ගිනි දැල්.
දැවුණේ තොල්පෙති හසරැල්.
රන් හුයකට අමුණව් ගිලිහුණු මුතු පබලු.

ඒ ගීතයේ මුල් පද පේළි හතරයි. යුද්ධය කියන වචනය මුළු සමාජයෙන්ම පමණක් නොව ලෝකයෙන්ම තුරන් විය යුතු කාලය එළැඹ තිබේ.යුද්ධයකට හැමෝම අකමැතියි.යුද්ධයකින් මිනිස් ජීවිත විනාශ වනවා දැකීම අපගේ බලාපොරොත්තුව නොවේ.යුද්ධයකින් ජයග්‍රහණය කළ පිරිස සතුටු වනවා සේම පරාජයට පත් පිරිස දුකට පත්වෙයි.ඒත් මේ හැමෝම මනුෂ්‍යයෝ වෙති.එම නිසා යුද්ධයක් ආරම්භ වීමට පෙර එවැනි පසුබිමක් නිර්මාණය නොවීමට වගබලා ගැනීම අප හැමගේ යුතුකම වන්නේය.

තල් වැට අද්දර නැමැති ගීතය නිර්මාණය වීමට මූලික පදනම වැටී ඇත්තේ ද මෙවැනි කාරණා ඔස්සේය. හුණුපළගම අනුර දිසානායකගේ ගී පද රචනයක් වන මෙහි අවසානයේ කියවෙන්නේ යුද්ධයකින් විනාශවී ගිය සමාජ සාරධර්ම ,ගුණධර්ම යළි රං කෙණ්ඩියකට  (රං හුයකටඅමුණා) යහපත් පුරවැසියන් ලෙස සමාජයේ ජීවත් වනලෙසයි.

අතුල බණ්ඩාර නෙළුම්පත්ගම මෙම ගීතයට තනුව යොදා ගායනා කරනු ලබන අතර ඒ සඳහා අපූරුවට සංගීත සංයෝජනය කර ඇත්තේ විශාරද ලසන්ත රත්නායකයි. මෙම ගීතය මේ වන විට යූටියුබ් නාලිකා ඔස්සේ ද ශ්‍රවණය කිරීමට සහ නැරඹීමට හැකිය. 

ලංකාදීප පුවත්පතේ  කලාවැව වාර්තාකරු ලෙස වසර විස්සක පමණ කාලයක සිට කටයුතු කරන අතුල විද්‍යුත් මාධ්‍ය නාලිකා වල මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කරයි.

මම කුඩා කාලයේ සිටම කලාවට නැඹුරුයි. නෙළුම්පත්ගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. පසුව ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. කුරුණෑගල ඩී.බී. වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලයෙන් අපොස උසස් පෙළ සමත් වුණා. 

පසුව ජාතික තරුණ සේවා සභාව යටතේ අනුරාධපුර යොවුන් නිකේතනයේදී ජන සන්නිවේදනය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා.ඔය කාලයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ අතරම නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. 

මහ ඉලූප්පල්ලම ප්‍රජා ගුවන් විදුලි සේවයේ කඩමණ්ඩිය වැඩසටහනේ පත්තර මහත්තයාගේ චරිතය නිරූපණය කළෙත් මම. මගේ පියා මියගොස් දැන් සෑහෙන කාලයක්.මීට වසර දෙකකට පෙර මව් තුමියත් මිය ගියා. මම ගීත ගායනා කරනවා අහන්න මගේ අම්මා හරි කැමතියි.මට සහෝදරියන් හතර දෙනකු සිටිනවා. පවුලේ එකම පිරිමි දරුවා මම.දැන් මම මගේ බිරිඳ සහ පුතාලා දෙදෙනා සමග ඉතාම සතුටින් කාලය ගත කරනවා.

ඉදිරියේදී තවත් ගීත නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ධනු විජේරත්න