ඩී.ඇස්. අග්‍රාණ්ඩුකාරයා වී බණ්ඩාරනායක අගමැති වුණා නම්?


1949 දී ලංකාවේ දේශපාලන ඉතිහාසය නූලෙන් වෙනස් වූ හැටි 

 

දැනට 80 වැනි වියෙහි පසුවන මහල්ලෙකු වන මට පසුගිය යුගයේ, මෑත අතීතයේ සැත්තෑ වසරක සිද්ධීන් හොඳ හැටි මතකය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය පැවැතියේ මා කුඩා කළ නමුදු එහි ද සමහර සිද්ධීන් වලට සහභාගි වීමේ, දැකීමේ, දැනීමේ මතකයක් පවතින්නේය. වර්ෂ 1945 මැයි මාසයේ දී දෙවැනි ලෝක මහා සංග්‍රාමය කෙළවර වී නිමා කිරීමෙන් පසුව අපේ රටට නිදහස ලබා ගන්නට ඩී.ඇස්. සේනානායක ගොවිකම් හා ඉඩම් ඇමැතිතුමා ඔලිවර් ගුණතිලක මහතාණන් සමග එංගලන්තයට ගොස් එහි යටත්විජිත ලේකම් හමුව, නිදහස ලබා ගැනීම පිළිබඳ කාර්යයන් නිමාවකට පත් කරගත් අයුරු ද, පසුව 1948 පෙබරවාරි 04 වැනිද‌ා රටට නිදහස උද‌ා කරගත අයුරු ද එද‌ා අසන්නටත් දකින්නටත් ලැබිණි.  


 දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී මිත්‍ර පක්ෂය වෙනුවෙන් ලංකාවේ එවකට සිටි ස්වදේශ නායකයන්ගේ උපරිම සහාය පිරිනැමිණ. එවකට බ්‍රිතාන්‍යයේ යටත් රාජ්‍යයක් පැවැති හෙයින් ම යුද මෙහෙයුම පිළිබඳ ආසියාවේ යුද මධ්‍යස්ථානයක් ලෙස ලංකාව සිය ප්‍රයෝජනයට ගැනීම නිසා ම හිට්ලර්ගේ අමානුෂික ආඥ‌ාද‌ායක ප්‍රයන්තය හමුවේ සමහර රටවල් සම්පූර්ණ වශයෙන් ද සමහර රටවල් අර්ධ වශයෙන් ද විනාශයට පත්වෙද්දී වැඩි යුද ආපද‌ාවක් නොවී සුරැකෙන්නට තරම් ලංකා දේශය සුරක්ෂිත වූයේ එවකට පැවැති ඉංග්‍රීසි යුද බළකායේත්, අපේ යුද භටයන්ගේත් දක්ෂකමත් සැලකිල්ලත් නිසාය. ජපන් යුද ගගනයානා රොත්තක්ම පැමිණ ලංකාවේ කිහිප තැනකටම බෝම්බ ප්‍රහාර එල්ල කරද්දී යුද ප්‍රහාරය හා බෝම්බ හෙළීමක තිබෙන ප්‍රචණ්ඩත්වය දත් සුදු සෙබළුන් සැඟව යද්දී අපේ සිංහල ස්වදේශීක සෙබළුන් කළේ වහා පැනගෙන විත් එම ජපන් අහස් යානා වෙත හැකි තරම් ප්‍රහාර එල්ල කිරීමය. එයින් ජපන් ගගන යානා බලයට බරපතල හානි සිදුවිය. එම කටයුත්තේදී අපේ යුද සෙබළුන් දැක්වූ වීරත්වය ලංකා සේනාධිනායක ජොෆ්රි ලේටන්ගේ ද ප්‍රසාදයට ලක්විය. එසේම එකල මහජන ආරක්ෂක කොමසාරිස්වරයා ලෙස ඔලිවර් අර්නස්ට් ගුණතිලක මහතා දැක්වූ දක්ෂතාව ද ඉංග්‍රීසි පාලකයන්ගේ පැසසුමට ලක් වූයේ එවන් යුද පසුබිමක පෙළෙමින් සිටි රටේ ජනතාවට එතුමන් මගින් සුවිසල් සහනයක් සැලසුණු හෙයිනි. යුද අමාත්‍ය මණ්ඩලයක් මගින් ඩී.ඇස්. සේනානායක, ඔලිවර් ගුණතිලක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ආදී අමාත්‍යවරු විසින් ද එකල සිදුකරන ලද මෙහෙවර රටේ ජනතාව වෙත යුද මානසිකත්වය යටතේ වුව ද සැනසිලිද‌ායක තත්ත්වයක් ඇති කිරීමට සමත් විය. එසේම ආහාරපාන බෙද‌ාහැරීම පිළිබඳව ද වෙනත් සැලසුම් උදෙසා ද මහජන ආරක්ෂක කොමසාරිස් ඔලිවර් ගුණතිලක මැතිතුමෝ උද‌ාර සේවාවක් ඉටුකළහ.

  
මෙසේ කටයුතු සිදුවෙද්දී දෙවැනි ලෝක සංග්‍රාමය කෙළවර වන්නට ඔන්න මෙන්න කියා තිබියදී සේනානායක මැතිතුමා ඔලිවර් ගුණතිලක මැතිතුමන් සමග එංගලන්තයේ යටත්විජිත ලේකම්වරයා හමුවීමට ගොස් ලංකාවට නිදහස ලැබීම පිළිබඳ සියලු ලියකියවිලි කටයුතු නිමාකර ගත්තේය.  


ඉන්පසු වර්ෂ 1945 මැයි මාසයේ දී දෙවැනි ලෝක මහා සංග්‍රාමය කෙළවර වූයේ මිත්‍ර පක්ෂය ජයග්‍රහණය කිරීමෙනි. බ්‍රිතානය අගමැති ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, ඇමෙරිකා ජනාධිපති තියඩෝර් රූස්වේල්ට්, රුසියන් නායක ජෝසප් ස්ටාලින් තිදෙනා යුද ජයග්‍රහණයේ ජයපැන් බීවේ ඉන්පසුවය.  


මෙහිදී වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිද‌ා කොළඹ කුරුඳුවත්තේ පාම්කෝට් මන්දිරයට රැස්වූ සේනානායක ඇමැතිතුමන් ඇතුළු රටේ සුළු ජාතිකයන් සමග එක්රොක් වී ‘එක්සත් ජාතික පක්ෂය’ නම් වූ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා ලද්දේය. එහි සභාපතීත්වය ඩී.එස්. සේනානායක ඇමැතිතුමාට පිරිනැමිණ.  
සේනානායක මැතිතුමා ඉංග්‍රීසි පාලනය යටතේ රටේ ගොවිකම් හා ඉඩම් අමාත්‍යවරයා බවට පත් වූයේ වර්ෂ 1931 දීය. එද‌ා සිට මේ 1946 දක්වා කාලය තුළ එතුමන්ට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමේ අදහස, අවස්ථාව මෙන්ම ජනබලය තිබිණ. එනමුදු එතුමා එය එසේ නොකළේ තමන් රටේ බලය එකට කැටි කළ යුත්තේ රටට නිදහස ලබා ගැනීමේ ප්‍රයන්තය ද සාර්ථක කරගැනීමෙන් පසුව යැයි සලකාගත් හෙයිනි.  
එසේම. රටට නිදහස ලබා ගත යුත්තේ සිංහලයන් වශයෙන් පමණක් ද නොව, දෙමළ ජනතාවට වශයෙන් පමණක් නොව, මුස්ලිම් ජනතාව වශයෙන් ද පමණක් ද නොව වෙනත් සුළු ජාතීන් වශයෙන් පමණක් ද නොව රටේ සියලුම ජාතීන් වෙනුවෙන් යැයි සලකා ගෙනය. එහෙයින් 1946 දී ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය 1947 අග භාගයේදී පැවැති මහ මැතිවරණයෙන් මන්ත්‍රී ආසන 42 ක් දිනාගෙන රටේ පාලන බලය ලබා ගන්නට සේනානායක මැතිතුමෝ සමත් වූහ. එය මුළුමනින්ම සේනානායක මැතිතුමාගේ ජයග්‍රහණයක් බවට පත් වූයේ එතුමන් විසින් මෙම රට එක්සත් කරගැනීමේ බලවේගයට සක්‍රීයවම මූලිකත්වය දෙන්නට සමත් වූ හෙයිනි.  


වර්ෂ 1947 එවකට සිටි ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් ආණ්ඩුකාරතුමා රටේ ප්‍රථම අග්‍රාමාත්‍ය පදවිය ඩී.එස්. සේනානායක මැතිතුමාට පිරිනැමීය. ඉන්පසුව එතුමෝ විද්වත් ඇමැති මණ්ඩලයක් පත් කරගෙන ඔවුන් හා යළි ආණ්ඩුකාරතුමා ඉදිරියේ දිවුරුම් දී රාජ්‍ය පරිපාලන කටයුතු ඇරඹූහ.  


වර්ෂ 1948 පෙබරවාරි 04 වැනිද‌ා බ්‍රිතාන්‍ය පාලනයෙන් අපේ රට නිදහස් රටක් ලෙස පත් වූයේ ඉන් අනතුරුවය. ඉන්පසුව ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් තුමෝ රටේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරතුමා බවට පත් විය. මෙසේ රටේ පරිපාලනය බ්‍රිතානය වර්ගයාගෙන් රටේ ස්වදේශ නායකයන් වෙත ප්‍රද‌ානය කෙරුණායින් පසුව බ්‍රිතාන්‍යයේ යටත්විජිත ලේකම්වරයා වෙතින් මෙරටේ නව පරිපාලනය උදෙසා නව සැලසුම් ද යෝජනා කෙරිණ. රටට නව ව්‍යවස්ථාවක් සකස් කරවා ගැනීම ඉන් එකකි. ඒ උදෙසා මෙකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වය හා පරිපාලනය පිණිස එංගලන්තයෙන් පැමිණ සිටි ශ්‍රීමත් අයිවර් ජෙනිංස් මහතා ලවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරවා ගැනීමට අගමැතිතුමෝ කටයුතු කළහ. ඒ සමගම රටේ පරිපාලනය උදෙසා ද යම් යම් වෙනස්කම් කරදීමට යටත්විජිත ලේකම් ලිස්ටෝවර් සාමිවරයා කටයුතු කළේය. ඒ අනුව මේ වනතෙක් රටේ අග්‍රාණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් මැතිතුමාගෙන් පසුව නව අග්‍රාණ්ඩුකාර පදවිය අගමැති ඩී.එස්. සේනානායක මැතිතුමාට ප්‍රද‌ානය කිරීමේ කාර්යය ද ඉන්පසු ඒ අනුව සභානායකව සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඇමැතිතුමාට අගමැති පදවිය පිරිනැමීමට ද යෝජනා කෙරිණ.  
මේ තොරතුරු වර්ෂ 1948 ජනවාරි 14 වැනිද‌ා ‘ලංකාදීප’ පත්‍රයෙ මුල් පිටුවෙන් ප්‍රථමවරට හෙළි කෙරිණ. එය වැඩි දෙනකුට සතුටු විය හැකි ආරංචියක් ද විය. එහෙත් එම යෝජනාව සහ කාර්ය භාරය පසුව කවර හේතුවක් හෝ අහේතුවක් නිසා හෝ ක්‍රියාවට නැඟුණේ නැත. ඒ අනුව පසුව සෝල්බරි සාමිවරයා නව අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්කෙරිණ.  


 මේ අනුව සිතා බලන කල කිව හැක්කේ ඩී.ඇස්. සේනානායක අගමැතිතුමා රටේ නව අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් වූවා නම් වර්ෂ 1952 දී එතුමා අශ්වයා පිටින් වැටී අභාවප්‍රාප්ත වන්නට ඉඩ නොතිබුණ බවය. කවර හෙයින් ද යත් අග්‍රාණ්ඩුකාරතුමා උදෙසා සුඛෝපභෝගි නිලරථයක් යෙදවීම රාජ්‍ය පරිපාලනයේ වගකීමක් වූ නිසාය.  


එසේම, එද‌ා එලෙස බණ්ඩාරනායක මැතිතුමාට රටේ අගමැතිකම ලැබුණා නම් එතුමාට පක්ෂය හැර යන්නටවත්, පසු කලෙක සිදු වූ ලෙස බරපතල ඛේදවාචකයකට ලක් වී අභාවයට පත්වන්නටත් ඉඩ නොතිබුණ බවය. එසේම එතුමා එද‌ා එසේ අගමැති වූවා නම් පසු කලෙක මාපිටිගම බුද්ධරක්ඛිත, තල්දූවේ සෝමාරාම, විමලා විජයවර්ධන, එච්.පී. ජයවර්ධන ආදී එතුමන්ගෙන් ම ප්‍රයෝජනය ලබා එතුමන්ට විරුද්ධව ඇති කළ කුමන්ත්‍රණ බලවේගවලට යට වී අවසානයට පත්වන්නට ඉඩ නොතිබුණ බවය. ලංකාවට මේ ජනනායකයන් දෙදෙනාගෙන් තවත් උද‌ාර සේවාවන් සිදු​ෙවන්නට ඉඩ තිබුණු බවය. කවරක් වැළක්විය හැකි වුවද කර්ම බලවේගයක් කිසිවිටෙකත් වළක්වන්නට බැරිය. දැන් අපට සිතාගත හැක්කේ රටේ ජනතාවගේ අවාසනාවකට මෙන් මෙම ජනනායකයන් දෙදෙනා මෙසේ අවසන් ගමන් ගියේ කර්මානුරූපව බවය.

 

 

සෝමසිරි කස්තුරිආරච්චි