ජාතික මට්ටමේ සම්මානයක් හිමිවීම ලොකු සතුටක්


තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයත්, ජාතික තරුණ සේවා සභාවත් එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. කලා ලොව ක්ෂේත්‍ර  රැසක දස්කම් පෑ යෞවන යෞවනියන් රැසක්ම මෙහිදී සම්මානයෙන් පිදුම් ලත් අතර, සිංහල නිවේදක අංශයේ සම්මානයට හිමිකම් කී ඇය නමින් වයි.එස්. මිත්සලා නිම්නාදීය. මේ කතා බහ ඇය සමඟිනි. 

ප්‍ර පසුගියදා ලැබුණු සම්මානය ගැන මුලින්ම කතා කරමු යමක්?

2024 ජාතික යෞවන සම්මාන උළෙලේ සිංහල අංශයේ හොඳම නිවේදිකාව සම්මානය තමයි මට හිමිවුණේ. මේ වගේ ජාතික මට්ටමේ වටිනාකමක් සහ අගයක් තියෙන සම්මානයක් හිමිවීම ගැන ඇත්තෙන්ම මට තියෙන්නේ ලොකු සතුටක්. පොඩි වයසෙදීම මේ වගේ දෙයක් ලැබීමම ලොකු භාග්‍යයක්.

ප්‍ර කලා ක්ෂේත්‍රයට යොමුවුණ හැටිත් මතක් කරමු ඔය ගමන්ම?

මම 2021 ඉදන්ම ජාතික ගුවන්‍් විදුලියේ සහය නිවේදිකාවක් විදියට කටයුතු කළා. පසු කාලීනව මට රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කරන්නත්‍් ඉඩහසර සැලසුණා. මම දිගින් දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියා. පාසල්  කාලේ ඉඳන්ම කලා ක්ෂේත්‍රයට ලොකු උනන්දුවක් තිබුණා මගෙ. ඒ අනුව තමා මේ සම්මානය ගන්න මංපෙත් විවර වුණේ.

ප්‍ර පාසල් වියේදී මේ සම්බන්ධයෙන් තිබුණු උනන්දුව ගැනත් යමක් පැවසුවොත්?

මම පනාගොඩ යුද හමුදා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය කියන පාසල් දෙකටම ගියා. පාසල් කාලෙත් මම සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරමින් බාහිර ක්‍රියාකාරකම් රැසකටම දායක වුණා. මේ වනවිටත් මම සෞන්දර්ය කලා සරසවියේ උපාධි අපේක්ෂිකාවක් විදියට සිප්සතර හදාරනවා. විශ්වවිද්‍යාලයේ කටයුතු අතරතුරම තමා මම නිවේදන කටයුතුත් කරන්නේ. සංගීතයට වගේම නර්තනයටත් මම පාසල් වියේදී යම් අවධානයක් යොමු කළා. ඒ හැම එකක්ම සමබරව කරගෙන ආවා.

ප්‍ර මේ ගමනට හයියක් වුණු අය ගැනත් යමක් කතාකරමු නේද?

මුලින්ම මතක් කරන්න ඕනෑ මගේ අම්මයි තාත්තයි. අදටත් මට ඒ දෙන්නා විශාල ශක්තියක්. ඊළඟට ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කියන ආයතනත් අමතක කරන්නම බෑ. ඒ ආයතන නොතිබෙන්න මගේ නම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කියැවෙන්න ඉඩක් නෑ. මේ වෙද්දී මම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඩිප්ලෝමාව හදාරනවා. ඒත් එක්කම මට වචනෙකින් පවා හයියක් වුණු හැමෝමත්, විශේෂයෙන්ම වැඩ කරමින්ම යමක් ඉගෙනගන්න ඉඩදීපු හැමෝමත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ ඇසුරෙන් මගේ ජීවිතේට ලොකු පන්නරයක් ලැබුණා.

ප්‍ර කලා ක්ෂේත්‍රයේ ඉදිරි අරමුණු සහ බලාපොරොත්තු ගැනත් අවසන් වශයෙන් කතා කරමු?

ප්‍රවෘත්ති අංශයෙන්ම ඉදිරියට යාම තමා මගේ එකම අරමුණ. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියට දිගටම ඉන්න අතරවාරයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වගකීම් සහගත භූමිකාවක් නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා.

අමිල දොළපිහිල්ල