ජපන් සංස්කෘතියේ අනන්‍යතාව ගීෂා ළඳුන්


ගීෂා ළඳුන් සම්ප්‍රදායික තේපැන් සාදයක් පැවැත්වීම

 

32 වැනි ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ඉකුත් ජුලි 23 වැනි දින ජපානයෙහි ටෝකියෝ පුරවරයේ දී මහත් අභිමානවත් ලෙසින් ආරම්භ විය. ජාතීන් 206 කගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා ඉසව් 339 කින් සමන්විත මෙම ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවය, ජපානයෙහි සාඩම්බර පෞරාණික සංස්කෘතිය ලොවට හඳුන්වා දීමේ ගෝලීය වේදිකාවක් වූ බැව් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විකාශනය වූ සජීවී දර්ශන සහ සමාජ වෙඩ් අඩවි නීරික්ෂණය කිරීමේ දී මොනවට පැහැදිලි වේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර සති කිහිපයක තුළ දී, බ්‍රිතාන්‍ය රුපවාහිනි සේවය ජපානයේ ඔලිම්පික් උත්සවය පිළිබඳ වාර්තාමය ට්‍රේලරයක් ප්‍රදර්ශනය කළේය. එය ජපාන සංස්කෘතිය තීව්‍ර ලෙස ප්‍රකට ගීෂා යුවතියන්ගේ වර්ණවත් පාරම්පරික රංගනයකින් සමන්විත විය.   


ඔලිම්පික් උත්සවය ආරම්භ වූ මුල් දිනයේ ගෝලීය වේදිකාවේ මියාගවාචෝහි ගීෂා යුවතියන් විසින් පූජනීය ගිනි දැල් ලෙස හැඳින්වෙන් පුරාණ පුරාවෘත්තයක් හා සබැඳි රංගනයකින් විදේශීය අමුත්තන් මහත් ප්‍රබෝධයට පත් කළ බැව් වාර්තා වේ. ජපන් රට නියෝජනය කරමින් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ භාග්‍යය හිමි වූයේ ද පාරම්පරික ගීෂා යුවතියකටය. නමින් ඇය ජියොන් කට්සුහිතාය. ජපානයේ මුළු දෙන ඔලිම්පික් උත්සවයෙහි සැමරුම් සංකේතය ලෙසින් නිකුත් ලාංඡනයෙහි ද සුරූපී ගීෂා ළඳක් නිරූපිතය. ජාත්‍යන්තර මාධ්‍ය වලින් ඔලිම්පික් ක්‍රීඩාංගනවල දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමේ දී, නියෝන් ආලෝකයෙන් දිදුළන ගීෂා යුවතියන් නිරූපීත දැන්වීම් පුවරු දැක ගත හැකි වේ.   


මෙම අවස්ථාවේ ජපන් සංස්කෘතියෙ හි සජීවී සංකේතයක් ලෙස සැලකිය හැකි ගීෂාවන් පිළිබඳ කලකට ඉහත, මවිසින් සියැසින් ස්පර්ශිත තොරතුරු සමුදායක් මගේ මතකයකට නැගිණි. 

 
සෑම වසරකම මැද භාගයට ආසන්නව එළඹෙන වසන්ත සමය, ජපානයට ගෙන එන්නේ අති ප්‍රබෝධමත් අසිරිමත් කාල පරිච්ඡේදයකි. වසර කිහිපයකට පෙර එවන් අසිරිමත් සමයක ජපානයේ කියොතෝහි ගීෂා ගම්මානයක් වන හනාවචි (මලින් ගැවසී නගරය) වෙත පිවිසීමට අපට අවස්ථාව උදා විය. එම අවස්ථාවේ නෙතින් ස්පර්ශ කළ, සවණින් අසා සිතින් ග්‍රහණය කළ අතීත ස්මරණයන් සජීවිමත් කරන්නට ගත් ප්‍රයත්නයක් ලෙසින් මෙම ලිපිය සැකසිණි.   


ගීෂා සුන්දර යුවතියන් මෙම මල් ගම්මානයේ පමණක් නොව, මුළු මහත් ජපානයෙහිම ජීවමාන ප්‍රතිරුපය බැව් මෙහිදී විශේෂයෙන් සනිටුහන් කිරීම යෝග්‍ය වේ. ජපාන සංස්කෘතිය තුළ ගිෂාගේ භූමිකාව වසර සිය ගණනක් තිස්සේ විකාශනය වී ඇති අතර අද ගීෂා ජීවන රටාව සුවිශේෂී සංස්කෘතික තත්ත්වයට පත්ව ඇත.   
හනාමිචි ගම්මානය ජපානයේ පවත්නා සම්ප්‍රදායික ගීෂා ගම්මාන අතර ඉපැරණිම, ප්‍රකට ගම්මානය සේ සැලකේ. කියෝතෝවේ, සජිගාටා නම් රමණීය කඳුකරයේ සිට ගලා බස්නා කමෝ ගංගා දෑල ඇසුරු කොට මෙම සුන්දර පුෂ්පිත මල් නගරය පිහිටියේය. ඒ වන විට ගං දෑළ පැතිරී සකුරා තුරු පෙළ රෝස පැහැ සකුරා මල් පුබුදමින් වසත් සමයට ගම්මානය වෙත පියමන් කරන්නට ඇරයුම් කර සිටි සෙයකි. ගංගාවේ ගල් අතරින් සිහින් සිනා මුමුණන ලයාන්විත රිද්මයකින් ගලා බස්නා කමෝ ගංගාවේ ගීතය මල් ගම්මාන මිටියාවතට ලැබ දුන්නේ අමුතුම මිහිරියාවකි. සොඳුරු බවකි.   

 

චෙරි මල් සෙවනක ජපන් ගීෂා යුවතියන් දෙදෙනෙක්

 


මුළු පරිසරය සැඳෑ හිරු කිරණින් වර්ණවත් වී තිබු නිමේෂයකි. ගම්මානයේ ඔකියා වෙතින් ගීෂා ළඳුන් යුහුසුළු ගමනින් ගං තීරයේ පිහිටි රංග මංඩපයට සියමං කරනු අප දිටිමු. ගීෂා ළඳුන්ගේ නිවාස හැඳින්වෙන්නේ ඔකියා යන ජපන් වදනෙනි. මද වේලාවකින් ගීෂා ලලනාවන්ගේ සම්ප්‍රදායික රැඟුම් ආරම්භ වුයේ ප්‍රසංගය මෙහෙය වන ජ්‍යෙෂ්‍ඨ ගීෂාවකගේ හඳුන්වා දීමේ ගීතාත්මක වදන් වැලකට අනතුරුවය. ආරම්භක වාද්‍ය වෘන්දයෙන් පසුව රූමත් යොවුන් ගීෂා යුවතියන් පිරිසක් කරළියට පිවිසියේ අමුත්තන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේය. ඔවුහු නන් වන් පැහැ ආකර්ෂණීය කිමෝනා ඇඳුමින් සැරසී සිටියහ.   


සොඳුරු මුදු   
හදවත නිපන්   
මිහිරි ගැයුමන්   
සකුරා සුවඳ   
මුසු වී   
හමා යයි   
දසත   
දුර සිටින ඔබ අවන   
ආගන්තුක මුහුණුමත   
දිස්සේ   
මහද නතර වේ   
ඒ ඔබම නොවන බව   
පසක් වූ සඳ   
ගයන්නෙමි   
නිබඳවම   
හිරු අබියස   
අඳුරු සෙවණැලිය   
සඳු අබියස මැවෙන්නේ   
සොඳුරු සෙවැණැලිය   


ඒ ලලනා ලාලිත්‍යයෙන් අනූන ගීෂා ළඳුන්, සිය සුරත රැඳි අවන් පත්, වැයෙන සංගිත රිද්මයට ලෙලවමින්, උකුල සලමින් සිය දෑස බිගු කැළුම් විහිදුවමින් ආගන්තුක සහෘදයන් උන්මාදයට පත් කරමින් ගැයු ගීතයක අරුමය. ජපන් බසින් ගැයුනු තත් ගීතයේ අරුත, මා ග්‍රහණය කර ගත්තේ මෙම ගීෂා ගම්මානය වෙත මා කැඳවා ගෙන ගිය මගේ ජපන් ජාතික මිත්‍ර යොශිනොරි කුසේ සන් විසින් කරනු ලැබුණු පැහැදිලි කිරීම තුළිනි. එම ගමනේදී ගීෂා ළඳුන් පිළිබඳව තොරතුරු දැන ගන්නට මා සිත්හි පැවැති කුහුල අවබෝධ කර ගත් ජපන් සමාජය පිළිබඳ පුළුල් අවබෝධයකින් යුක්ත මගේ මිතුරා ගීෂා සංස්කෘතිය පිළිබඳ තොරතුරු සමුදායකින් මගේ දැනුම පුළුල් කළ අයුරු මෙහිදී සිහිපත් කරන්නේ නොමඳ කෘතවේදිත්වයෙනි. ගිෂාවන් සිය රංගනයේ දී උපයෝගී කර ගන්නා විවිධත්වයෙන් යුතු මෙම ගීත සම්ප්‍රදාය හැඳින්වෙන්නේ කොතෝ යනුවෙන් එහි අරුත ඉතා සරල කෙටි කාව්‍යොක්තිය යන්නයි.   


ගීෂාවන් විසින් වසර පුරා රංගන රාශියක් සංවිධානයෙන් සැලකිය යුතු ආදායමක් උපයා ගනිති. මෙම රංගන අතරින් අප්‍රේල් මාසයේදී පැවැත්වෙන මියාකෝ ඔඩෝරි නොහොත් චෙරි මල් නැටුම බෙහෙවින්ම ජනප්‍රිය ආකර්ෂණීය රංගනයක් සේ සැලකේ. මීට අමතරව ගීෂාගේ උත්සව හා රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා නැටුමින් ගැයුමෙන් විනෝදාස්වාදය සැපයීම සඳහා සහභාගි වෙති.   


ගීෂා යන්නෙන් ජපන් බසින් ගම්‍ය වන්නේ නර්තන දැරිය යන්නයි. ගීෂා බොහෝ විට ඔවුන්ගේ පුහුණුවේ මුල් අවධීන් ආරම්භ කළේ ඉතා කුඩා අවධියේදිය.   


පුහුණුව වන ගීෂා මයිකෝ ලෙසින්ද, අවුරුදු හතරක් හෝ පහක පුහුණුවක් ද ලද විට තරුණිය ගයිකෝ ලෙසින් ද හැඳින්වේ. මයිකෝ රතු කොලර් සහිත කිමෝනෝවකින් සැරසීමත් ගයිකෝ සුදු පැහැ කොලරයක් සහිත කිමෝනාවකින් සැරසීමත්, අතීතයේ පටන් පැවත එන පිළිවෙතකි. මයිකෝ බොහෝ විට දිගු අත සහිත කිමෝනෝ පැළඳ සිටින අතර ගයිකෝ සාමාන්‍යයෙන් කෙටි අත් සහිත කිමෝනාවන් පැලඳ සිටියි.   
හනාමිචි ගීෂා ගම්මානයේ එම යුවතියන් පුහුණු කිරිම පිණිස ශිල්ප ශාලිකා පහක් පවත්වා ගෙන යනු ලැබේ. ගමේ පාසලේ ද්වීතීය අධ්‍යාපනය මැනවින් සම්පූර්ණ කරන සිසුවියන්ට පමණක් පුහුණු ශිල්ප ශාලිකාවකට පිවිසීමට අවස්ථාව හිමි වේ.   


ගීෂා යුවතියන්ගේ කැපී පෙනෙන අංගයක් වන්නේ මුහුණේ සුදු පැහැති වේශ නිරූපණය සහ චෙරි පැහැ තොල් සහිත පෙනුමයි. මීට අමතරව ගීෂා සම්ප්‍රදායික ඇඳුම් කට්ටලයට විසිතුරු කිමෝනාව, කොණ්ඩා මෝස්තර කන්සාසි ලෙස හැඳින්වෙන අලංකාර හිස කෙස් ආභරණය, සහ සම්ප්‍රදායික වේශ නිරූපණය ඇතුළත් වේ. කිමෝනාවේ පිටුපස ඕබි නොහොත් පිරුණු ගමන් මල්ලක ස්වරූපයේ සැරසිල්ලකි.   
ආකර්ෂණීය පෙනුමට අමතරව, ජපානයේ ගීෂා එතරම් ප්‍රසිද්ධියට පත් වීමට එක් හේතුවක් වන්නේ සාම්ප්‍රදායික කලාව පිළිබඳ ඔවුන්ගේ දැනුමයි. සාමාන්‍යයෙන් ගීෂාවන් සාම්ප්‍රදායික ජප් නැටුම්, ගායනය, සාහිත්‍යය, කවි නිර්මාණය, මල් සැකසීම සහ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වාදනය කිරීම වැනි කලාවන් කිහිපයක ප්‍රවීණයකු වීම අත්‍යාවශ්‍ය වේ. ගීෂා කලාව තුළින් විනෝදාස්වාදයට අමතරව සංවාද කලාව පිළිබඳව මෙන්ම සම්ප්‍රදායික තේ පැන් සාදය පැවැත්වීම පිළිබඳව ද මනා දැනුමක් ආධුනික කාලයේදි ඔවුන් විසින් අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු වේ.   


ගීෂාගේ නැටුම් විලාසය සාම්ප්‍රදායික ජපන් නාට්‍ය කලාවට බලපෑම් කළ අතර සැම නර්තනයකින් හා චලනයකින්ම කිසියම් ජන වෘත්තාන්තයක කොටසක් ප්‍රකාශිතය. හනාමිචි ගම්මානයේදී අපට ගීෂා විසින් මෙහෙයවනු ලබන ජපන් සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයකට සහභාගී වී​මේ අවස්ථාව උදා විය.   
ගීෂා ළඳුන්ගේ ජපන් තේ උත්සව කලාව   


ජපන් සංස්කෘතිහි තේ උත්සවයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. තේ පිළියෙල කිරීම සහ පානය කිරීම යනු එදිනෙදා ජීවිතයේ ගැටලු අමතක කරවන සුළු මොහොත සේ සැලකේ. තේ පානයෙහි නියැළීමට අවස්ථාව සැලසීමෙන් සහභාගී වන්නන් සිත් සතන්හි උපශාන්ත සන්සුන් භාවයක් මෙන්ම මානසික සමබරතාවය ගෙන දෙන භාවනා ක්‍රියාවලියකට පිවිසීමක්සේ ඔවුන් තුළ විශ්වාසයක් පවති. 

 

 ගීෂා ළඳුන්ගේ සම්ප්‍රදායික සුප්‍රකට චෙරි මල් රගනය

 


ගීෂාවන්ගේ මෙම අපූර්ව උත්සවයේදී අපට සාම්ප්‍රදායික ජපන් ආගන්තුක සත්කාරය භුක්ති විඳිමට සහ ජපන් ජීවන දර්ශනය පසක් කර ගැනීමට කදිම අවස්ථාවක් උදා විය. ජපන් භාෂාවෙන්, තේ පිළියෙල කිරීම හා පිළිගැන්වීමේ චාරිත්‍ර සොඩේ හෝ චැඩේ ලෙස හැඳින්වේ. මෙහිදී තේ හැඳින්වෙන්නේ ඕචා යන වදනෙනි.   
අප තේ සාදය සංවිධානය කර තිබු කුටියේ පිවිසුම් දොර අසලට පැමිණි මොහොතේ ගීෂා යුවතියන් දෙපළක් හිස නමා ආචාර කර ඔවුන්ගේ නිහතමානිකම හා ගෞරවය පළ කරනු ලැබිණි. අනතුරුව ඔවුහු අමුත්තන්ට විශේෂයෙන් සකස් කරන ලද කුෂන් දෙසට අත යොමු කරමින් ස්වත්තේ කුදාසයි යනුවෙන් පවසමින් අසුන් ගන්නා ලෙස දැන්වුහ. ජපන් තේ උත්සවය පියවර කිහිපයකින් සමන්විත වෙයි. උඳුනෙහි ගිනි මොලවා වතුර උණු කර තේ පිළියෙල කර අමුත්තන්ට පිළිගැන්වීම සඳහා කාර්ය දාමය ගීෂා යුවතිය අතින් සිදු වනුයේ කිසියම් සන්සුන් ඉරියවු සහිත පිළිවෙතකට අනුගතවය.   


ගීෂා වාත්තිය ඇතැම් බටහිර රටවල ගණිකා වෘත්තිය සමග සම්බන්ධ වී ඇත. එනමුදු ජපානයේ සාම්ප්‍රදායික ගිෂා කිසිවිටෙකත් ගණිකා වෘත්තියේ නොයෙදුනු අතර, ඔවුහු සාම්ප්‍රදායික ජපන් කලාවන්හි විශිෂ්ටත්වය තුළින් ප්‍රේක්ෂකයින් වින්දනයට පත් කරවන සංස්කෘතිමය ප්‍රවාහයක් වු බැව් සඳහන් කළ යුතුය. කිසියම් දිනක ජපානයේ ගීෂා යුවතියක් නෙත ගැටුණු කවර පුද්ගලයෙක් තුල වුවද, එම ළඳුන්ගේ සුරූපී තාවය, ලලනා ලාලිත්‍ය නෙතඟ කැළුමන් සංයමයෙන් පිරිපුන් ඇවතුම් පැවතුම් විසිතුරු කිමෝනා ඇඳුම් කට්ටලයෙන් මතුවන සාම්ප්‍රදායික රම්‍යතාව මුළු මහත් ජීවිත කාලයටම අමතක නොවන සුලුය.   


1968 දී සාහිතය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ජපන් කතුවර යසුනාරි කවාබතාගේ යුකිගුවානි (හිම දේශය) නව කතාවෙහි කේන්ද්‍රීය චරිතය වන ෂිමාමුරා නමැති ධනවත් වියපත් ව්‍යාපාරිකයාගේ මනෝ භාවයන් යකෝ නම් සුරූපී ගීසා තරුණිය අසුරින් උන්මාදයට පත් වූ අයුරු ඉහත නිගමනයට මැනවින් තහවුරු කරවන සුළුය.   

 

 

 

ආචාර්ය - ගාමිණී කාරියවසම්