චිත්‍රපට ලෝකයේ පෙරැළි කළ මණික් සන්ද්‍රසාගර


ඔබ ඇත්තටම අදහන ආගම කුමක් දැයි ඇසූ විට  

 

‘‘කෑම’’ යැයි ඔහු කීය.   
ඒ මණික් සන්ද්‍රසාගරය.  


‘කිව්වොත් පචයක්, කළොත් හොරකමක්’, නමින් ප්‍රසිද්ධ මේ ශ්‍රී ලංකාවේ ඔහු හිතට එකඟව ඇත්තම කිව්වා ​ෙවන්න පුළුවන.   


මෑත කාලීන පරම්පරාවත් මණික් සන්ද්‍රසාගර ගැන වැඩි යමක් නොදැන සිටීමට සාධාරණ හේතු ඇත.   
ඔහුගේ අතීතය නාට්‍ය හා සිනමාවෙන්ද පසුව ග්‍රාමීය සංස්කෘතිය පිළිබඳ රසබර ඉතිහාසයකින්ද දෙමුහුන් වී විවිධාකාර වූ ආගමික සම්භාෂණයකින් සමාප්ත විය. අවසාන කාලයේ දී සියල්ල භෞතික ලෙස කළකිරීමකින් අවසාන කර විදේශගතව සිටියේය.   


කොළඹ 7 ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ මණික් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ පංතියේම උගත්තේය.   


ඉන්පසුව ශාන්ත ජෝසප් විද්‍යාලයටත්, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයටත්, හොරණ ශ්‍රී පාලියටත් ගියේය.   
ශීව භක්තිකයකු වුවත් ඔහු උපන්නේ රෝමානු කතෝලිකයෙකු ලෙසය. කෑම තරම්ම ඔහු ආගමද හෘදයංගමව ඇදහුවේය. අනුරාධපුරයෙන් තරමක ඈත ගමක කටු මැටි ගෙයක වාසය කරමින් ඔහු ගොවිතැන් බත් කළේය. එදා සීනි හා මාළු හැර අන් හැම දෙයක් ම වාගේ එහි වගා කළේය.   
සොබාවිකව ජීවත්වීම තමයි ප්‍රථම. 

 
මණික් ඒ අනුරාධපුර කැලෑ ගම්මානයක ජීවත්වීමට පැමිණියේ ඔහුගේ බිරිඳත් දියණියත් කොළඹ සිටියදීය.   
මිනිසුන්ට ජීවත්වෙන හැටි මට කියාදෙන්න බැහැ.  


ඇයට මාව තේරෙන්නේ නෑ. ගෙදර සිටීම ඉතාම අමාරු කාරණයක්. හුඟ දෙනෙකුට නාගරික ජීවිතය කරදරයක් තමයි. එක පැත්තකින් ප්‍රභාකරන්. අනෙක් පැතිවලින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒ හැමෝගෙම මිසයිල වලට අහිංසක අපි තමයි බිලි.   


මණික් මෙන්ම ඔහුගේ බිරිඳ ඈන් ද CARROLL BLAKE හා විවිධ ග්‍රීක දාර්ශනිකයන්ගේ පොත පත කියවූහ. ශිව භක්තිකයකු වශයෙන් උපත - ජීවිතය - මරණය හා ජරාවට පත්වීම පිළිබඳව ද නැවතත් නිර්වාණය විනාශය හා යළි බිහිවීම ගැන කලියුගයේ අවස්ථා ගැනද තුන්වැනි නුවණකින් සිටියහ.  
ඒ වනවිටද ඔහු වතුකරයේ වෘත්තීය සංගමයක අරගලයක් පිළිබඳ කථාවක් රැගත් කළු දිය දහර චිත්‍රපටයත්, ගැමි සංස්කෘතියේ විකට කතාවක් වන කොළඹ සන්නියත් සිනමාවට ගෙනැවිත් තිබුණේය.   


1974 God King චිත්‍රපටය ට පසු Maggi Lidchi ගේ Earthman කතාව සිනාමට නැගීමට අදහස් කළ මණික්, ඔහුගේ සගයා වූ රිචඩ් බොයිල්ගේ පියාගෙන් පවුම් 500ක් ණයට ගැනීමට සමත් විය. 

 
Earth man සිනමාවට නොනැගුණත් තිස්ස ලියූ අගනා තිර නාටකයේ එකම පිටපතත් සමග බොයිල් තනිවිය. විවිධ ප්‍රශ්න වැලක් ඔස්සේ රිචඩ් බොයිල්ගේ පියාගේ ණය බේරීමට මණික් අසමත් වූ අතර හැම දෙනාගෙන්ම මිදී ස්වාධීන නිෂ්පාදනයක් ලෙස වැඩ කිරීමට ඔහුට සිදු විය.   


බොයිල් හා මණික් අතරට ගාමිණී ෆොන්සේකා පැමිණීම යළිත් වරක් අමුතුම උද්​ෙ‌යා්ගයක ආරම්භ විය. ගාමිණී Many Palliser ලියූ Blood Mary කතාව තිරයට ගෙන ඒමට යුහුසුළු විය.   
Mary Palliser යනු 1942 ජපානයේ ආක්‍රමණයෙන් පීඩාවට පත් සිංගප්පූරුවෙන් නැව් නැග මෙහි ආ කතාකාරියකි. ඕස්ට්‍රේලියානු කාන්තාවක් වූ ඇයට බණ්ඩාරවෙල පට්ටිපොල R & R පුනරුත්ථාපන කඳවුරක් දැමීමට අවසර ලැබී තිබුණේය.   


කතාවට අදාළව සියලු සතුන් ද රැගෙන පට්ටිපොලට පැමිණි ඇය ආණ්ඩුවේද දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවලද උදහසට ලක්විය. එබැවින් බලාපොරොත්තු නොවූ විශාල අර්බුදයක් අවසානයේ ඇය ඕස්ට්‍රේලියාවට පිටුවහල් කෙරිණි. කතාවේ සුවිශේෂි තේමාව වූයේ ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට පෙර, කඳවුරේ සිටි චිත්‍රපටය වෙනුවෙන් ගෙනා සියලු සතුන්ට වෙඩි තබා මරා, කඳවුර ද රජයේ දේපොලද විනාශ කිරීම පිළිබඳවය.   


1970 දශකයේ මිනීමෝරකු පිළිබඳව ගෙතුණු Jaws නවකතාවෙන් බටහිර සිනමා ලෝවේ අලුතින් Animal Horror සිනමා ප්‍රවණතාවක් බිහිවිය. ඒ අනුව යමින් Jaws චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය වුණු අතර අලියෙකු පිළිබඳ එවැනි කතාවක් රැගෙන ගාමිණී ෆොන්සේකා යළි මතු විය.   
විදේශීය වෙ​ෙළඳපොළ වෙනුවෙන් 100% දේශීය මුදලින් නිපැයුණු මෙය, පාරිසරික තේමාවක් රැගත් අලි මිනිස් ගැටුම පිළිබඳ සංවේගදායක පුවතක් ගෙන ආවේය. එය සහමුලින්ම මණික් විසින් අධ්‍යක්ෂණය කළ අතර Rampage නමින් බෞතිස්ම විය. නමුත් සිනමා සංරක්ෂණයේ ලාංකීය තරම කොතරම් විශිෂ්ටද කියනවා නම් එම චිත්‍රපටයේ එකම පිටපතක්වත් අද ඉතිරිව නැත.   
කොතරම් පාඩු ලැබුවත්, මතභේද ආවත්, මණික් ඇතුළු මේ කුඩා කණ්ඩායම සෑම බාධාවක්ම මැඩගෙන ඉදිරියට යන බව පෙනිනි.   


නැවතත් වතාවක් (1977 දී) The criterion නමැති සුමේධ ස්වාමීන්වහන්සේගේ මැදිහත්වීමෙන් කෙටුම්පත් වුණු චිත්‍රපටයේ නිමක් නොදුටු අවසානයත් සමග ස්වාමි ශිව කල්කිගේ දැනුමින් The Point of No return චිත්‍රපටයට මුල පිරුණි.   


ස්වාමි කල්කි යනු සත්සමුදුර චිත්‍රපටයේ මයික් විල්සන්ගේ පූජක වේශයයි. ගාමිණී ෆොන්සේකාගේ ගජ මිතුරකු වූ ස්වාමි කල්කිද සමග පිරිස නිෂ්පාදකවරු සොයා ලන්ඩනයට පැමිණියහ.   
ඒ ​ෙවනවිට මීට සමාන කතාවක් රැගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් John Boorman විසින් Zardoz නමින් ප්‍රදර්ශනය කර තිබුණත් Point of no return කෙළවරක් නොදැකම අවසන් විය.   
හොඳටම මානසික හා ආර්ථික වශයෙන් පාඩම් ඉගෙන හෙම්බත්ව සිටි මණික් සන්ද්‍රසාගර 1980 දී බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගැනිණි.   


ඒ ​ෙවනවිට ඔහු කුඩා මැෂිමක් පටවා ගත් වෑන් රථයක රියැදුරා වශයෙන් සිටියේය. මැෂිම නම් කලකට පෙර අලෙවිය සඳහා ලංකාවට පැටවූවකි. එය අලෙවි නොවේනම් යළිත් ලන්ඩනයට එවන ලෙස මණික් දන්වා තිබුණේය. චෝදනාව වූයේ මැෂිම තුළ ගංජා තොගයක් තිබීමය.   
Emile Savundra (එමිල් සෞන්ද්‍රනායගම්) මණික් සන්ද්‍රසාගරගේ ඥාතියෙකි. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයන් 400,000 කට වැඩකට නැති රක්ෂණ සහතික විකුණා නම් දැරූ චරිතයකි. සියලු චෝදනාවට වරදකරු වීමෙන් Emile හය වසරකට සිරගත වූ අතර එම ජනප්‍රියතාවය මතම අත්අඩංගුවට ගත් මණික් ද මැෂිමේ අයිතිකරු ද Norwich සිරගෙදරට යැවිණි.   


Ian Botham ශතකයක් ලකුණු රැස්කළ ක්‍රිකට් තරගයක් බැලීමට යන ගමන් රිචඩ් බොයිල් ඔහුගේ මිතුරා බැලීමට සිරගෙදරට ගියේය. තමන් බැලීමට ආවේ ඔහු පමණක්ම බව මණික් ට මතකය.   
කෙසේ වුවත් ත්‍රාසජනක චිත්‍රපට ජවනිකා මාලාවක් මෙන් කූඨ බුද්ධිය ස්ථානෝචිත ප්‍රඥාව ආනුභාවයෙන් ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළට පලා ඒමට මණික් සමත්විය. ඉන්පසු පාතාල සංවිධානයක සහයෙන් ඔහු යළිත් වරක් තම්බපණ්ණියට කුඩා ධීවර යාත්‍රාවකින් සේන්දු විය.   


යළිත් වරක් කොළඹ සිටියදී ගාළු පාරේ පදික වේදිකා දිගේ ගාලු මුවදොර සිට කොල්ලුපිටිය දක්වා පාවහන් නැතිව සරමක් හෝ වේට්ටියක් හැඳ ඇවිදගෙන යන මණික් සන්ද්‍රසාගර ටාජ් (Taj) සමුද්‍ර හෝටලයේ ආලින්දයට පැමිණ තම ගණකාධිකාරී ගෙනෙන චෙක් පතකට අත්සන තබයි. කොයි ආකාරයන් හෝ ඔහුට අමුත්තන් හමුවීට කාර්යාලයීය කටයුතු කර ගැනීමට තරු පහේ හෝටල කීපයකම ආශීර්වාදය ලැබී තිබුණේය. වාහනවලද ගමන් යෑම සිදුවුණේය.   


වරක් නිමල් මෙන්ඩිස් කියූ පරිදි ඔහු කෝටිපතියෙකු මෙන් මහ ඉහළින් උජාරුවෙන් පැමිණ සාක්කුවේ තිබුණු අන්තිම රුපියල පවා සොයමින් සිටියෙකි.   


මානවීය මිණුම්දඬු හරහා කොහොමටවත් මිනිය නොහැකි අසදිස අපූරු විශ්මිත විසිතුරු චරිතයට බිරින්දන් (Wife) දෙදෙනෙකි. (ඈන් හා ලුසී) දරුවන් සිව් දෙනෙකි. (ටිලියා හා කෞෂිකා, නරිෂ්ඨා හා ඉනෝකා)  
කලකට පෙර සිංගප්පූරුවේ රෝහලකට වෛද්‍ය පරීක්ෂණයකට ගොස් එහිදීම මියගොස් එහිදීම මිහිදන් කර භෂ්මාවශේෂ කොළඹට ගෙනෙනු ලැබීය.

 

 

රවී ප්‍රසාද් හේරත් විසිනි
[email protected]