සන්නිවේදන මාධ්‍ය මෙතරම් දියුණු නොවුණ කාලයක ගුවන් විදුලියට තිබුණු ශ්‍රාවක ඇල්ම තුළ ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායිකාවක් යනු ගීත කලාව නම් අඹරට වටිනා තරුවකි. මැයත් එවැනි වටිනා තරුවකි. එහි වටිනාකම තවත් වැඩි වන්නේ - ඇය වසර ගණනාවක් සංගීත ලෝකයට අලුතින් එක්වන කුඩා තරු කැට දීප්තිමත් තරු බවට පත් කරන්නට වෙහෙස මහන්සි වූ ගුරු මාතාවක් ද වන නිසාවෙනි.ඉතින්....මෙවර සැඳැල්ලෙන් ඒ ගුරු තරුව වෙනුවෙන් වෙන්කල ඉඩකඩයි මේ.
ප්‍ර මුලින්ම ඔබ ගැන කියමුකෝ...?
මම මිථිලා ඉලේසිංහ. මම ගුරුවරියක් වගේම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් විදිහටත් වැඩ කටයුතු කරනවා. එහිදී වෘත්තීමය ගුරු දිවිය අහුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ආරම්භ කරලා - ඉන් පසුව ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලය, ශ්‍රී රාහුල ජාතික පාසල, පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාතික පාසල ආදී පාසල්වල වසර තිහක් පමණ ගුරුවරියක් විදිහට කටයුතු කරලා දැන් මම විශ්‍රාම සුවයෙන් ඉන්නවා.
ප්‍ර ගායනයට කැමැත්ත දැක්වූයේ කුඩාකල සිටමද?
මම පොඩිකාලේ ඉඳන්ම ගෙදර තිබුණේ කලාවට බර වටපිටාවක්. විශේෂයෙන්ම අපේ තාත්තාට ඒ කාළේ ඉඳන්ම හැම සංගීත භාණ්ඩයක්ම වගේ වාදනය කරන්න පුළුවන්. ඒ ඇසුරේ හැදිලා පාසල් කාලයේත් සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. මම මූලික අධ්‍යාපනය ලැබුවෙ කොලොන්න මහා විද්‍යාලයෙන් සහ ඇඹිලිපිටිය මහා විද්‍යාලයෙන්. ඉන් පසු කැලණි විශ්ව විද්‍යාලයේ ලලිතකලා විශේෂවේදී උපාධිය හදාරලා පශ්චාත් උපාධිය ලැබුවා.ඉන්පසුව තමයි මම වෘත්තීයමය සංගීත ගුරුවරියක් විදිහට ගුරු වෘත්තියට ප්‍රවිෂ්ට වෙන්නේ.
ප්‍ර කොහොමද මේ ගුවන් විදුලි ශ්‍රේණිගත කිරීම හිමිවුණේ?
1985 වර්ෂයේ දී තමයි මම ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් විදිහට තේරී පත් වෙන්නේ. මම එතනදිත් මගේ නව නිර්මාණයක්ම තමයි ඔඩිෂන් එකට ඉදිරිපත් කළේ. එය රසල් කියන ආරයට අයත් ශාස්තීය ගීතයක්. ඉතින් ඒ විදිහට ගීතය ඉදිරිපත් කරලා සති කිහිපයකින් දැන ගන්න ලැබුණා, මම ගුවන් විදුලියේ සරල ගී ඒ ශ්‍රේණියේ ශිල්පිනියක් ලෙස සමත් වෙලා කියලා. ඉතින් මට ඒ දවසේ ගොඩක් සතුටු හිතුණා.
ප්‍ර ඔබේම ගීත නිර්මාණ බොහෝමයක් ඇති. ඒ ගැනත් මතක් කරමු?
ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් විදිහට තේරී පත්වුණාට පසුව මම මගේම ගීත නිර්මාණයක් කළේ 1991 වර්ෂයේ දී. ඒක මගේ පළමු ගීතය වීම නිසා මට එය විශේෂයි වගේම එහි තවත් විශේෂත්වයක් තිබුණා. ඒ එම ගීතයේ සංගීත නිර්මාණකරු මගේ සැමියා වූ ජයන්ත බණ්ඩාරයන් වීම. ඒ වගේම මතක් කරන්න ඕන එහි ගීපද රචකයා විජිත් කණුගල මහතා. ඒ සුසංයෝගයෙන් මගේ මුල්ම ගීතය සාර්ථකව මුදා හැරුණා. ඒ විදිහට ආරම්භ කරලා මේවන විට මගේම නිර්මාණ 25-30 ක් පමණ සංඛ්‍යාවක් ගීත අසන්නන් වෙනුවෙන් මම එළිදක්වලා තියෙනවා. 'නුබ සඳ වගේමැයි', 'අම්මා', 'අප්පච්චී', වගේ මෑතකදී ජනප්‍රිය වූ ගීත බොහෝමයක් මගේ ගීත ලැයිස්තුව තුළ තියෙනවා. ප්‍රවීණ සංගීතවේදීන් සංගීත නිර්මාණයෙන් සම්බන්ධ වුණේ.ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්, රෝහණ වීරසිංහයන්, රෝහණ ධර්මකීර්ති, ගුණදාස කපුගේ,නවරත්න ගමගේ වැනි ප්‍රවීණයන් ඒ අතර ඉන්නවා.එමෙන්ම විජිත් කණුගල,බණ්ඩාර ඇහැලියගොඩ,සුගත් සෝමවීර,සුනෙත් රූපසිංහ,කුමාර ලියනගේ,තිලක් ඒකනායක වැනි ගේය පද රචකයන් මගේ ගීතවලට පද රචනා කරලා තියෙනවා.
ප්‍ර ඔබේ ගායන දිවියේ විශේෂ අවස්ථාවක් මතක් කළොත්?
මගේ ගායන ජීවිතේ මට ලැබුණු අමතක නොවන අවස්ථා කිහිපයක්ම තියෙනවා, ඒ අතරින් ප්‍රධාන අවස්ථාවක් විදිහට මම දකින්නේ ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයට ගීත ගයන්න ලැබුණු අවස්ථාව. ඒ ගීතය "හඬන කින්නරී". මේ ගීතය රූපවාහිනිය තුළින් ද අවස්ථා කිහිපයක දීම විකාශය වුණා.
ප්‍ර මේ නිර්මාණවලට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා ඇති?
මම මේ විදිහට ගීත නිර්මාණය කරලා ගුවන් විදුලියට භාර දීලා තියෙනවා. ඒ ගීත ඉඳහිට අහන්නත් ලැබෙනවා. ඉතින් ඒවා අහලා මට කතා කරලා ගොඩක් හොද කියනවා. ඒ වගේම දැන් ගීත අහන්න අලුත් පරම්පරාව වැඩිපුර භාවිතා කරන්නේ නව මාධ්‍යය නේ. ඉතින් මමත් ඒ ගැන හිතලා මගේ ගීත නිර්මාණ කිහිපයක්ම මගේ යූටියුබ් නාළිකාවටත් මුදා හැරියා. ඒ මාධ්‍ය පරිශීලනය කරන අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යූ ටියුබ් නාළිකාව තුළත් ශ්‍රාවකයන් පල කරපු හොඳ කමෙන්ට්ස් එහෙමත් දකින්න ලැබෙනවා. ඉතින් ඒ දේවල් ගැන සතුටුයි.
ප්‍ර ගුරුවරියක වූ ඔබේ ශිෂ්‍ය- ශිෂ්‍යාවෝ අද සංගීත ක්ෂේත්‍රයේ බොහෝ ඉහළ තැන්වල ඇති?
ඔව්. මගේ ගෝලයෝ බොහෝ දෙනෙක් මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තැන්වල ඉන්නවා. සමහරු ගුරුවරු, තවත් අය සංගීත අධ්‍යක්ෂකවරු, තවත් අය ගායක ගායිකාවෝ. මේ විදිහට ඒ අය ක්ෂේත්‍රයේ තැන් තැන්වල දිදුලමින් ඉන්නවා. ඇත්තටම සතුටුයි ඒ අය මාවත් පසු කරගෙන ඉස්සර ගිහින් ඉන්නවා දකිද්දි. මම හිතන්නේ ගුරුවරියක් කියන්නේ ගෝලයන් ගේ ගමන දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් මම ඒ සතුට දැන් උපරිමයෙන්ම භුක්ති විඳිනවා.
ප්‍ර ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායිකාවක් විදිහට ඔබ සංගීත ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය ගැන දරන්නේ මොන වගේ අදහසක් ද ?
දැන් ඇත්තටම සංගීත ක්ෂේත්‍රය දියුණුයි. අපේ කාලේ වගේ නෙවෙයි. දැන් ගොඩක් අවස්ථා තියෙනවා ඉදිරියට එන්න. ඒ දේවල් එක්ක ගොඩක් හොඳ නිර්මාණ වගේම කිසිම අර්ථයක් නැති නිර්මාණත් දකින්න ලැබෙනවා. ඒ විදිහට සමාජ ගත කරන්න අවස්ථා ලැබුණත් පොඩි කනගාටුවක් තිබෙනවා මම ඇතුළු මේ ගුවන් විදුලි ශ්‍රේණිගත ශිල්පීන් ගැන. ඇත්තටම අපිට මේ ශ්‍රේණිගත කිරීම ලැබෙන්නේ ඇඳුනුම්කමට හෝ වෙනයම් මාර්ග වලින් නෙවෙයි.අපේම හැකියාවට අනුව. නමුත් ඒ ශ්‍රේණිගත කිරීමෙන් පසු අපට ඉදිරියට යන්න මාධ්‍යක් නැහැ. නිර්මාණ ඉදිරිපත් කරන්න ලැබෙන අවස්ථා අඩුයි. ඉතින් මම හිතන්නේ අපි වෙනුවෙන් ඒ අඩුපාඩුව සකස්වෙන්න අවශ්‍යයි.
ප්‍ර සංගීත වැඩ කටයුතු වලට පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ සැමියා ජයන්ත බණ්ඩාර,ඔහු මගේ බොහෝමයක් ගීතවල තනු නිර්මාණ ශිල්පියා නැතිනම් ගී පද රචකයා. ඔහු මගේ ගායන හැකියාව වර්ධනය කරගන්න ලොකු උදව්වක් දෙනවා.ඔහු සේවය කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ. එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස තමයි ඔහු විශ්‍රාම ගියේ. අපිට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඉතින් සැමියා වගේම දරුවන් තිදෙනාත් ලොකු ශක්තියක් වෙලා ඉන්නවා මගේ මේ ගමන යන්න.
දුලක්ෂි ලියනගේ