එකිනෙකට වෙනස් තේමාවන් හා වෙනස් සංගීත ශානරයන් යටතේ නිර්මාණය වූ සුභාවිත ගීත කිහිපයක් විවිධ හඩ පරාසයන් උපයෝගි කරගෙන නිර්මාණය කොට එළිදැක්වීමට ඉංජිනේරුවෙකු ලෙස බොයිලේරු ආශ්‍රිතව වෘත්තිය දිවිය ගතකරන ‘මැක්ස්තර්ම් ලංකා’ සමාගමෙහි අධ්‍යක්ෂකවරයකුද වන අජන්ත මුහන්දිරම් නම් ගායන ශිල්පියා සමත්ව තිබේ. එම ගීත සඳහා මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාරයක්ද හිමිව ඇති අතර මේ ඒ පිළිබඳව ඔහු සමග කළ සංවාද සටහනකි.
“මගේ ගම මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුකොටන්අරාව. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබලා පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා මොනරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයට ගියා.
සාමාන්‍ය පෙළින් පසු මම පාසලේ නාට්‍ය කණ්ඩායම සමග සම්බන්ධ වුණා. ලංකානාථ සර් තමයි අපේ නාට්‍ය ගුරුවරයා වුණේ. ඒ අනුව ඌව පළාතේ හොඳම නාට්‍ය සම්මානය හිමිකරගත් නාට්‍යයේ මමත් සාමාජිකයෙක්. මේ වනවිට කථිකාචාර්යවරයෙකු වන පියල් කාරියවසම්, ETFහි සාමානාධිකාරිවරයෙකු වන අනුර වික්‍රමසිංහ, ගුරුවරුන් වන චමින්ද හා ලක්ෂ්මන් සහ මම තමයි නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් වුණේ.
අනතුරව අපි පාසල් යන අතරෙම වෙනම නාට්‍ය කණ්ඩායමක් හදාගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශ සහිත නාට්‍යයක් හදලා මොනරාගල පාසල්වල පෙන්වන්න ගත්තා. පියල් තමයි එහි පිටපත රචනා කළෙත්.
නාට්‍යයේ රඟපානකොට ගීත ගයන්න හා වාදනය කරන්නත් තිබුණා. සංගීත ක්ෂේත්‍රයට පිවිසීමේ පළමු අඩිතාලම වැටුනේ නාට්‍ය හරහා කිව්වොත් නිවැරදියි.
ඉන් පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු හා විදෙස් ගතවීම් හා රැකියා කටයුතු නිසා කලා කටයුතුවලින් තරමක් ඈත්ව සිටින්න සිදුවුනත් කලාව රසවිඳිමින් රසඥතාව වර්ධනය කරගත්තා.
ඔය වකවානුවේදී ප්‍රකට ගීපද රචක චාමින්ද රත්නසූරිය හදුනාගන්න ලැබීමත් එක්ක ඔහු සමග විවිධ සංගීත ශානර රසවිඳිමින් සංගීතය පිළිබඳ ගැඹුරු සංවාද වල නිරත වුණා .
මේ අතරෙ මීට වසර එක හමාරකට පමණ පෙර මගේ පාසල් සගයෙක් හා අපේ පාසල් නාට්‍ය කණ්ඩායමේ සංගීත ශිල්පියෙකු වුණ විශාරද සෝමසිරි සොයිසා යළි මුණ ගැසුණා. ඔහු මට ආරාධනයක් කළා ගීතයක් කරමු කියලා. ඒ අනුවයි ප්‍රවීණ ගී පද රචක සුනෙත් රූපසිංහ රචනා කළ විශාරද සෝමසිරි සොයිසා විසින් සංගීතවත් කළ ‘ඔබට සඳ හමුවුණොත්’ ගීතය ගායනා කළේ. මගේ පළමු ගීතයට ඉතා හොඳ ප්‍රතිචාරයක් හිමි වුණා. ඒ ප්‍රතිචාරය තමයි ගායනා ක්ෂේත්‍රයේ රැඳී සිටින්න ඕනි කියන උත්තේජනය සැපයුවේ.
ඉන් පස්සෙ චාමින්ද රත්නසූරිය ලියූ “සීතල හැඟුමක්ද" ගීතය ගායනා කළා. විශාරද සෝමසිරි සොයිසා මෙහිත් සංගීතය නිර්මාණය කළේ. ආදරෙන් වික්ෂිප්ත වෙච්ච කෙනෙකුගේ හැඟීමක් තමයි ගීතය තුළින් කියවෙන්නෙ.
මා ගැයූ තුන්වෙනි ගීතය වුණේ ‘සඳාදරයෙන් අමතමි ඔබට’ යන්නයි. චාමින්ද ලියූ මේ ගීතයටත් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමි වුණා. විශේෂයෙන් ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ අයියා මේ ගීතය අසා මාව සහ ගීතය සංගීතවත් කළ විශාරද සෝමසිරි සංවාදමය වැඩසටහනකටත් සම්බන්ධකරගෙන ගීතයත් එදිනම ප්‍රචාරය කළා.
මා ඊළඟට ගැයූ ගීතය වුණේ චාමින්ද රත්නසූරිය ලියූ ‘ඇතුන්දැමුවාව ඉහත්තාවේ’ කියන ගීතයයි. මේ ගීතයට පාදක වෙලා තිබුනේ හකුරු කර්මාන්තයෙන් ජීවත්වන මොනරාගල, ඇතුන්දැමුවාව නම් ගමේ මිනිසුන් ගැන පළවූ පුවත්පත් ලිපියකුයි. මේ ගීතයත් සංගීතවත් කළේ විශාරද සෝමසිරි සොයිසා විසිනුයි.
මගේ පස්වන ගීතය වන්නේ සෝමසිරි සංගීතවත් කළ, මගේ බිරිඳගේ මිතුරියක වන මුදිතා චන්දිමා දසනායක නම් ජනප්‍රිය ගීත රචිකාව ලියූ “දෑස් මත හංගාලා" ගීතයයි. අසම්මත අවස්ථාවක වුණත් ආදරය දැනෙන්න බැරි ද යන්න මේ සදහා තේමා වෙලා තිබෙනවා.
මගේ නවතම ගීතය වන්නේ ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ විසින් රචනා කළ ගීතයක්. එය තව නොබෝ දිනකින් එළඹෙන ඔහු විශ්‍රාම ගන්නා දිනයේදී එළි දැක්වීමට නියමිතව තිබෙනවා. එයත් විශාරද සෝමසිරි සොයිසා විසින් සංගීතවත් කළ ගීතයක්. ඉදිරියේදී මගේ ප්‍රසංගයක් පවත්වන්න සහ ගීත එකතුවක් එළිදක්වන්නත් අදහස් කරගෙන ඉන්නවා. මගේ ගීත රසවිඳින අය දක්වන ප්‍රතිචාරවලින් මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා".
නිරෝෂාන් ප්‍රේමරත්න