හොබවන නිලයට නියමිත රාජකාරි ගොන්න අකුරට ඉටු කරමින් , රටෙහි නීතිය හා සාමය පවත්වාගෙන යාමට දිවිහිමියෙන් කැපවී සේවය කරමින් සිටින අතරවාරයේ - ලැබෙන කෙටි විවේකය ද රට්ටුන්ගේ සිත්සතන් පිනවීමටත්, ඔවුන්ගේ රසඥතාවය ඔප් නැංවීමටත් ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පිළිබඳව අපට අසන්නට ලැබුණා.
ඔහු විශේෂ ආරක්ෂණ හා මැතිවරණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක. සිය කාර්යය බහුල රාජකාරී ජීවිතයට බාධාවක් නොවන ලෙස - සමාජයේ විවිධ පැතිකඩයන් ගීතය හරහා විවරණය කරමින්, ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාමට සමත් වූ ඒ අපූරු පොලිස් නිලධාරියා “සඳැල්ල”ට සම්බන්ධ කරගැනීමට අපට හැකි වුණා.
ප්‍ර අපේ පාඨකයින්ට ඔබ ඔබ ගැනම හැඳින්වීමක් කරනවා නම්?
මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක. දැනට විශේෂ ආරක්ෂණ හා මැතිවරණ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා.
ප්‍ර අතිශය කාර්ය බහුල රැකියාවක ව්‍යාවෘත වෙන ගමන් ඔබ කොහොමද ගීත නිර්මාණයට යොමු වුණේ?
ඇත්තෙන්ම ගීත නිර්මාණය කියන කටයුත්ත මගේ සහජ හැකියාවක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඉස්කෝලේ යන කාලයේ ඉඳන්ම මම කලාවට ගොඩක් ළැදියි. ඒ කාලේ නිතරම වගේ කවි නිසඳැස් එහෙමත් ලිවුවා. පොලිසීයට එකතු වූවත් කලාවට ඇති ළබැඳියාව එක දශමයකින් වත් හීන වුණේ නෑ. ගායන හැකියාව නිරන්තරයෙන් සතතාභ්‍යාස කරමින් රැක ගත්තා. ඒ නිසා රැකියාව කරන අතරේ ලැබෙන කෙටි විවේක කාලයන්හි දී විනෝදාංශයක් ලෙස ගීත නිර්මාණයට යොමු වුණා.
ප්‍ර ඔබේ ඉගෙනුම් - ඉගැන්වීම් වපසරිය පිළිබඳව සඳහන් කළොත්?
මගේ මුල්ම පාසල වැලිවේරිය මද්දුම බණඩාර කනිෂ්ඨ විද්‍යාලය. පසුව පිළිවෙළින් කිරිඳිවැල කනිෂ්ඨ විද්‍යාලයට සහ කිරිඳිවැල මහා විද්‍යාලයට ඇතුළු වුණා. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කියනවා නම් - උපාධිය සහ පශ්චාත් උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙ නුත් දර්ශනපති හා ආචාර්ය උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනුත් ලබාගත්තා.
ඇත්තෙන්ම ගීත නිර්මාණය කියන කටයුත්ත මගේ සහජ හැකියාවක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ඉස්කෝලේ යන කාලයේ ඉඳන්ම මම කලාවට ගොඩක් ලැදියි. ඒ කාලේ නිතරම වගේ කවි නිසඳැස් එහෙමත් ලිවුවා. පොලිසීයට එකතු වූවත් කලාවට ඇති ළබැඳියාව එක දශමයකින් වත් හීන වුණේ නෑ.
ප්‍ර මෑත කාලීනව ඔබ අතින් නිර්මාණය වූ විශේෂිත නිර්මාණ මොනවා ද?
පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී දළදා නමින් දළදා දැක්මට අදාළව මම ගීතයක් නිර්මාණය කළා. එහිදී අස්ගිරි මල්වතු පාර්ශ්වවල මහ නා හිමිවරුන් ගේ අවසරය, අවවාද සහ අනුශාසකත්වය ලබාගෙනයි මේ නිර්මාණය සිදුකළේ. ගීත රචනය මා විසින් සිදුකළා. එහි සංගීතය විශාරද ඉෂාන් ශාලික විසිනුයි. ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩි සූරීන්ගේ මූලිකත්වය ඇතුව - විශාරද චරිතා ප්‍රියදර්ශනී, විශාරද ඉශාන් ශාලික, කථිකාචාර්ය සචිනි යන මහත්ම මහත්මීන් විසින් සිදුකළා.මේ ප්‍රවීණයන් ගේ සංකලනය නිසා එය අද වනවිට ඉතාමත් පැසසුම් ලැබුණු ගීතයක් වී අවසන්. ගීතයේ රචකයා ලෙස මා නිහතමානී සතුටක් ලබනවා.
ප්‍ර මීට අමතරව ඔබ අතින් නිර්මාණය වූ වෙනත් නිර්මාණ මොනවා ද?
මේ වනවිට මා විසින් ගීත පහක් නිර්මාණය කර අවසන්.පළමු නිර්මාණය "මිනිසා නුඹයි" නමින් පොලීසිය ගැන ගීතයක් නිර්මාණය කළා.දෙවන නිර්මාණය සිරීපාදය ගැන "සුමන සමින්දේ"නමින් ගීතයක්. එයත් නිර්මාණය කළේ ධම්මදින්න ස්වාමීන්වහන්සේ ගේ අවසර සහිතවයි.මගේ තුන්වන නිර්මාණය නත්තල ගැන “සීත සුළං හමාවි” නමින් නිර්මාණය කළ ගීතයක්. අනෙක් නිර්මාණය ගිය අවුරුද්දට පෙර අවුරුද්දෙ නිදහස් දිනය තේමා කරගෙන සිදුකළා. මේ විදියට දැනට නිර්මාණ පහක් සිදුකර අවසන්.
ප්‍ර ගීත රචනයට අමතරව වෙනත් නිර්මාණයන් සිදුකර තියෙනවාද?
මම ගොඩාක් පොත් කියවන කෙනෙක්. ඒ පොත් කියවද්දි මටත් පොතක් ලියන්න ආශාවක් ඇතිවුණා. ඒ ආශාවෙ ප්‍රතිඵලයක් විදියට මේ වනවිට පොත් දෙකක් නිර්මාණය කරල තියෙනවා. එකක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදවාගැනීම පිළිබදව. අනෙක් පොත පොලිස් නිලධාරීන්ගේ රැකියා තෘප්තිය සහ කාර්යක්ෂමතාව පිළිබඳව. මම මේ නිර්මාණ දෙකම සිදුකළේ ඉගෙනගන්න කාලසීමාවේ දිමයි.
ප්‍ර මෙම ගීත නිර්මාණය සඳහා හේතු වූ විශේෂ හේතූන් තියෙනවාද?
මම වෘත්තියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. නොයෙකුත් තරාතිරම්වල සමාජ මට්ටම්වල මිනිසුන්ව ආශ්‍රය කරන්න, සබඳතා ඇතිකර ගන්න මගේ වෘත්තිය හේතුවෙන් මට අවකාශය සැලසුණා. 2001 දි තමයි පොලිසියට එක් වුණේ. එදා ඉඳන් අද වෙනකන් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල රාජකාරි සිදුකර තියෙනවා. ඒ කාල සීමාව ඇතුළත නොයෙකුත් සමාජ සිදුවීම්,ගැටලු වගේම නොයෙකුත් වටිනා සිදුවීම් අත්දැක තියෙනවා. එසේ අත්දැකපු සිදුවීම්වල ප්‍රතිඵලයක් විදියට තමයි මෙම ගීත පහම නිර්මාණය කළේ.ඉතින් මට අවශ්‍ය වුණේ මේ ගීතවලින් සමාජයට පණිවුඩයක් ලබා දෙන්නට.
ප්‍ර ඔබ කොහොමද රැකියාව සිදුකරන අතරවාරයේ ගීත නිර්මාණය කරන්නට කාලය කළමනාකරණය කර ගන්නේ?
බොහෝම සීමිත විවේක කාලයක් තමයි මට තියෙන්නේ.විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මගේ පවුලේ බිරිඳ සහ දරු දෙදෙනාව. එයාල ගෙන් මට ලොකූ සහායක් ලැබෙනවා මගේ කලා කටයුතුවලට රාජකාරි කටයුතු සිදුකරලා එනවිට මගේ අනෙක් වැඩ කටයුතුවලට ගොඩාක් උදව් කරනවා. මගේ නිදහස් වෙලාවට කිසිම විදියකින් එයාල බාධාවක් කරන්නෙ නැහැ.මම දකින විදියට එයාල ගෙන් ලැබෙන සහාය නිසා තමයි රාජකාරී කටයුතු මධ්‍යයෙත් කලා වැඩකටයුතු සිදුකරන්නට අවස්ථාව ලැබිල තියෙන්නේ. ඒ වගේම ගීත නිර්මාණය සහ පොත් ලියන කාර්යය මගේ රාජකාරී කටයුතුවලට කිසිම විදියකින් බාධාවක් වෙලා නැහැ.
ප්‍ර ඉදිරියේදීත් නව නිර්මාණ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා ද?
මෙම ගීත පහට සහ පොත් දෙකට අමතරව රාජකාරී කටයුතුවලටත් බාධාවක් නොවන ලෙස කාලය කළමනාකරණය කරගනිමින් ඉදිරියේ දී තවත් පොත් දෙකක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මදූශා දිල්ශානි