කලා කරු සමරන වෙසක් සිරි


 

වෙසක් උත්සවය කියන්නේ බෞද්ධ අපි  හැමෝටම සුවිශේෂී උත්සවයක්. වෙසක් උත්සවය සමරනු ලබන්නේ ලොව් තුරා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල හේතු කොටගෙනයි. බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන උතුම්ම ආගමික උත්සවයක් වන වෙසක් උත්සවය කලා ක්ෂේත්‍රයේ කලාකරුවන්  මෙවර සමරන්නේ කොහොම ද කියලා සැඳැල්ලෙ අපි අහලා බැලුවා.

අමිල කරුණානායක

වෙසක් උත්සවේට  වෙසක් කූඩු හදනවා. ගෙදර සරසන වැඩ කටයුතු ටික කරනවා වගේම වෙසක් පෝය දවසට හැම පාරම වගේ පවුලේ අයත් එක්ක කොළඹ වෙසක් බලන්න යනවා.  ඒ වගේම මෙවරනම් පවුලේ අයත් එක්ක අනුරාධපුරයේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ගෙදර ළඟම පන්සලක් තියෙනවා. අපි කොහොමත් පෝය දවස්වලට පන්සලට යනවා. මේ පාර වෙසක් එකටත් බබාලා දෙන්නත් එකතු කරගෙන ඒ පන්සලට ගිහින් ආගමික වතාවත් සිදු කරනවා. ඉතිං හැමෝටම කියන්න තියෙන්නේ වෙසක් දවස ආගමික දේවල් වලට සම්බන්ධ වෙමින් සතුටින් කාලය ගත කරන්න. පිං වැඩ කරන්න. නිවාඩු දවසේ පවුලේ අයත් එක්ක සතුටින්  ඉන්න කියලා තමයි.


නිම්මි මනෝහාරි

ඇත්තටම මම වෙසක් එක දවසේ රූගත කිරීම් වලට යනවා බදුල්ලේ. එහේ ඉඳන් තමයි මම වෙසක් සමරන්න හිතන් ඉන්නේ. 12-13 දවස් දෙකම මම ඒ රූගත කිරීම් එක්ක තමයි නිරත වෙන්නේ. ඊටපස්සේ කොළඹට ඇවිත්  පවුලේ අයත් එක්ක වෙසක් සමරන්න හිතන් ඉන්නවා. මම නැති නිසා ගෙදර අය තාත්තා මල්ලී එකතු වෙලා වෙසක් කූඩු එහෙම හදනවා. මට කියන්න තියෙන්නේ වෙසක් විතරක් නෙමෙයි පොදුවේ කිසිම කෙනෙකුට හානියක් නොවන විදිහට ජීවත් වෙන්න සහ  හැමෝගෙම සතුට වෙනුවෙන් කාගෙවත් හිත පාරන්නේ නැති විදිහට වචනෙකින්වත් සිතුවිල්ලකින්වත් සිත පාරන්නේ නැතිව හැමෝම සතුටින් ජීවත් වෙන්න කියලා.


රුවන් පෙරේරා

වෙසක් එකට මේ පාර මම රත්නපුර යනවා.  ඒ මගේ ගම. ඉතින් මම ඒ ගමේ පන්තියක් කරනවා. ඒකෙ ළමයි එක්ක දන්සලක් දෙන්න තමයි හිතන් ඉන්නේ. ඒ වගේම පෝය දවසේ හවස කට්ටියත් එක්කම පන්සල් යනවා. ඇත්තටම මම කියන්නේ ස්වාභාව ධර්මයට ආදරය කරමින් වෙසක් උත්සවය සමරන්න කියලා. මොකද වෙසක් ස්වභාව ධර්මය එක්ක යන දෙයක්. බුදුන් වහන්සේත් බෝධිය ළඟ සතියක් ඇසිපිය නොහෙලා බලාගෙන ඉදිමින් බුද්ධත්වය ලබා ගැනීමට උදව් කළ බෝධියට කෙළෙහි ගුණ දැක්වූවා. ඉතිං වෙසක් උත්සවයත් එක්කම කියන්න තියෙන්නේ අපිට මොනවා තිබුණත් මේ සොබාදහම නැතුව අනිත් කිසිම දෙයක් වැඩක් නැහැ. ඒ නිසා සොබා දහමට ආදරය කරමින් මිනිසුන්ට සතුන්ට උදව් කරමින් බුදු සමිඳුන් දේශනා කළ ධර්මය අනුව හැසිරිලා එහි අර්ථයක් සමාජයට දෙන්න පුළුවන්නම් ඇත්තටම හොඳයි. දැන් වෙසක් උත්සව සමරන්නේ සිංදු දාලා අවුරුදු උත්සව වගේ. ඉතිං එහෙම නොකර හැසිරෙන්න ඕනෑ කොහොමද කියලා තමන්ට අවබෝධයකින් වැඩ කටයතු කරන්න පුළුවන්නම් මේ වෙසක් උත්සවය අර්ථවත් වේවි. 


 විශ්ව කොඩිකාර

මේ වෙසක් එකටත් හැමදාම වගේ මේ පාරත් ගෙදර තමයි ඉන්නේ. ඉතින් වෙසක් එක දවස්වල රූගත කිරීම් කිහිපයක්ද තියෙනවා. වෙසක් දවස රූගත කිරීම් දාගත්තේ නැහැ. ගෙදර ඉන්න අවශ්‍ය නිසා. අනිත් දවස් ටිකේ  වැඩ යොදාගෙන තියෙනවා. වෙසක් එක දවසට උත්සාහ කරනවා පුංචිම හෝ දන්සැලක් දෙන්න. ඉතින් පෙරපුරුදු පරිදි ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසු මගේ යහලුවන් එක්ක එකතුවෙලා තමයි මේ දන්සල දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම වෙසක් කූඩූ එහෙම ළමයි එක්ක එකතුවෙලා හැදුවා. වෙසක් එකට කියන්න තියෙන්නේ හැම පා‍රම වගේම මේ පාරත් ජාති භේදයකින් තොරව හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා  හදවතින්ම.


දේව් සුරේන්ද්‍ර

වෙසක් එක දවසට සාමාන්‍යයෙන් කොහොමත් මම පන්සලට යනවා. හැබැයි මම ගොඩක් වෙලාවට මිනිස්සු අඩු පන්සලකට යන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම නුවර මම ගියොත් අයියගේ පොඩි ළමයි දෙන්නත් එක්ක වෙසක් කූඩු එහෙම හදනවා. වෙසක් දවසට කොළඹ මම හිටියොත් උදේ වරුවේ පන්සල් ගිහින් හවසට යාළුවො ටිකත් එක්ක දන්සල් වලට යනවා. ඉතින් මේ දවස්වල සමාජය කලහකාරීත්වය වැඩී. මේ වගේ ප්‍රශ්න නැතුව හැමෝම සතුටින් සමාදානයෙන් සාමයෙන් ඉන්න සහ හැමෝටම මෛත්‍රී කරමින් වගකීමෙන් යුතුව වැඩ කරන්න කියලා තමයි මේ වෙසක් එකට හැමෝටම කියන්න තියෙන්නේ.


වත්සලා දියලගොඩ

වෙසක් දවසට  ගෙදර වෙසක් කූඩු එල්ලලා පන්සලට ගිහින් ඒ ආගමික වතාවත් සිද්ධ කරනවා. දැන් මේ වෙද්දි අපේ රටේ වෙඩි තියාගන්නවා. මිනී මැරුම් සිද්ධ වෙනවා ගොඩක්ම. නමුත් බුදුන් වහන්සේ පය තබපු පුණ්‍ය භූමියක් මේක. ඒ නිසා හැමෝටම බුදු දහමට අනුව ජීවත් වෙන්න ලැබෙන්න කියලා තමයි මේ වෙසක් මංගල්‍යයේ දී මම හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ.


නුවන්ධිකා සේනාරත්න 

හැමදාම වගේ මම සම්බන්ධ වෙන භක්ති ගීත ප්‍රසංග වලට මේ වෙසක් එකේදිත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම වෙසක් උත්සවය මුල් කරගනිමින් නාලිකාවක වැඩසටහනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ගෙදර හැමදාම වෙසක් කූඩු හදන්නේ මම. ඇත්තටම මම ගොඩක් ආසයි වෙසක් එකට දන්සල් වලට යන්න. ඉතින් මේ සැරේත් යාලුවොත් එක්ක දන්සල් වඳින්න යන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙසක් එකට මම මතක් කරන්න කැමතියි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන පාඨයක්. ඒ තමයි යමෙක් ධර්මය දකියි නම් ඒ බුදුන් වහන්සේ දැක්ක හා සමානයි කියන පාඨය 


සූර්යා දයාරුවන්

මේ වෙසක් එකේදී  මම හිතාගෙන ඉන්නවා සමන් දේවාලයට යන්න. ඒ වගේම නාලිකාවක බෞද්ධ වැඩසටහනකට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ කලාකරුවො දැක්ක බුදු හාමුදුරුවෝ කියන මාතෘකාව යටතේ තරුණයෙක් විදිහට අධීක්ෂණයක් කරන්න ඒ වැඩසටහනේදී අපේක්ෂා කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය ඇතුළේ කලාකරුවාට මොනවද කියලා දීලා තියෙන්නේ කියන දේ සාකච්ඡාවක් කරනවා. ඒ වගේම මට යන්න සිද්ධ වෙනවා ටෙලි නාට්‍යයක Shooting වලට ගම්පොළ. ඉතින් සමන් දේවාලයට ගියාම දන්සැලක් දෙන්න තමයි යාලුවොත් එක්ක මම සැලසුම් කරගෙන ඉන්නේ. මේ වෙසක් එකේ දී මිනිස්සුන්ගේ මනුස්සකම, සාමූහිකත්වය , ආදරය, ගෞරවය ඒ හැමදේමත් එක්කම මේ ලෝකයට සොබාදහමට, බෞද්ධ දර්ශනයට  ආදරය කරගෙන මේ බෞද්ධ දර්ශනය ඇතුළේ නිවන හොයාගෙන යන්න පුළුවන් ප්‍රඥාව  දියුණු කරගන්න අනාගත මාර්ගය පැහැදිලිව දකින්න  ශක්තිය ලැබෙන්න සහ හැමෝගෙම ජීවිත සාර්ථක වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.


වොල්ගා කල්පනී

සාමාන්‍යයෙන් අපි ගෙදර වෙසක් කූඩු එල්ලලා  සරසලා මේ දේවල් කරලා සාමාන්‍යයෙන් වෙසක් එකට පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ දහම් පාසල් යන කාලේ ඉඳන්ම සූදානම් වෙනවා. ඊට අමතරව මම දන්සල් වඳින්න යන්න  හරි කැමති කෙනෙක්. ඉතින් ගොඩක් දුරට මම මගේ ළඟම ඉන්න අයත් එක්ක පෝලිම් වල ඉඳලා දන්සල් වැඳලා නිදහසේ ඒ දවස් ටිකේ කාලය ගත කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉස්සර මගේ සීයා තමයි වෙසක් කූඩු හදලා ඒ දේවල් කරන්නේ. සීයා ජීවතුන් අතර නැතිවුණාට පස්සේ කඩෙන් තමයි වෙසක් කූඩු ගත්තේ. ඇත්තටම මට කියන්න තියෙන්නේ වෙසක් එකට කියලා විශේෂයෙන් නෙමෙයි මම දකිනවා ටිකෙන් ටික සමාජයේ මිනිස්සුන්ගේ මනුෂ්‍යකම පිරිහෙනවා. මේ බුද්ධ දර්ශනයෙත්, ජේසුස් වහන්සේත් සහ අනෙක් හැම ආගමකමත් කියලා තියෙන්නේ සමාන දේවල්. ඉතින් මම කියන්නේ අපි හැමෝම මිනිස්සු. තමන්ට වෙන්න අකමැති දේවල් අනුන්ට කරන්න උත්සාහ කරන්න එපා කියලා තමයි මගේ ඇත්තටම ඉල්ලීම තියෙන්නේ.


දසුනි සෙනෙත්මා

වෙසක් එක දවස් ටිකේ මට වැඩ යෙදිලා තියෙනවා. Shooting එහෙම. ඉතිං පවුලේ අයත් එක්ක වෙසක් කූඩුවක් හදලා ඒ දේවල් කරනවා. දන්සැල්වලට වෙලාවක් තිබුණොත් යනවා.  දැනට අවුරුදු තුනක විතර ඉදන් ලොකුවට වෙසක් උත්සවය සමරන්නේ නැහැ. මොකද වෙසක් මාසයේම තමයි මගේ තාත්තා නැති වුණේ.  ඉතින් එයාගේ දානෙ බණ ඒ වැඩ ටිකත් එක්ක එහෙම ලොකුවට වෙසක් සැමරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැමෝටම කියන්න තියෙන්නේ සතුටින් සාමයෙන්  වෙසක් සමරලා ලස්සනට ඉන්න කියලා තමයි.


- සුදර්ශනි කෝණාර -