කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව ජනප්‍රිය වෙමින් පැවති සමයේ සමන් ගුණවර්ධන සිටියේ දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නාට්‍යවල රඟපාමිනි. ස්වාධීන රූපවාහිනී සේවයේ සුබසාධක සංගමයට ආධාර පිණිස නරි බෑනා නාට්‍යය ජෝන් ද සිල්වා රංග ශාලාවේදී වේදිකාගත කරනු ලැබුවේ ඔය අතරය. එය නරඹන්නට රූපවාහිනී සේවයේ ඉහළ බලධාරීහු ද පැමිණ සිටියහ.
“ජනක කුඹුකගේ මේ ටෙලි නාට්‍යයෙ පිනා කියලා චරිතයක් රඟ පෑවා.. එයා ඒකෙන් අයින් වෙන්න යන්නෙ.. මට හිතෙනවා ඔයාට ඒ චරිතේ ගැළපෙයි කියලා.. බලන්න ඉල්ලුම් පත්‍රයක් දාන්නකො..”
නාට්‍යය අවසානයේදී වේදිකාවේ පිටුපසට පැමිණ සමන් හමු වූ ජනක මහල්පත් ඇතුළු නිලධාරීන්ගෙන් අයෙක් පැවසුවේය. සමන්ට දැනුණේ ඉහේ මලක් පිපුණාක් බඳු හැඟීමකි.
“ඔය ළමයා කොහෙද ඉන්නෙ..?”
තව නිලධාරියෙක් ඇසුවේය.
“මම ඉන්නෙ අලව්වෙ..” ඔහු පිළිතුරු දුන්නේය.
“අපෝ.. එච්චර දුර කෙනෙකුට මේක කරන්න බැරි වෙයි.. කොළඹ ඉන්න කෙනෙක් තමයි ඕන කරන්නෙ..” ඔවුහු කීහ.
“මම මේ දවස්වල සෞන්දර්ය විශ්ව විද්‍යාලෛ ඉගෙන ගන්නවා.. බත්තරමුල්ලෙ බෝඩින් වෙලා ඉන්නෙ..”
ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් දුර්මුඛ නොවූ සමන් පැවසුවේය. ඉතින් ඔහුට ඉල්ලුම් පත්‍රය යවන්නට අවස්ථාව ලැබිණි.
“ඉල්ලුම් පත්‍රය දැම්මට මාස හයක් විතර යනකම් කිසිම පිළිතුරක් ලැබුණෙ නෑ.. අසූ නවයේ භීෂණ කාලේ කැම්පස් වැහුව හින්දා මම ගෙදර හිටියෙ.. ඒ කාලෙ දවසක මට පොලිස් මැසේජ් එකක් ආවා කියලා ආරංචි වුණා.. අම්මලා බයට මාව හැංගුවා.. ඇයි ඉතින් ඒ කාලෙ කැම්පස් කොල්ලන්ට තිබ්බෙ අසුබ වාතාවරණයක්නෙ.. ඒත් හැමදාම හැංගිලා ඉන්න පුළුවන් වුණේ නෑ.. පොලීසියෙන් ඇවිත් කිව්වා තමුසෙ අපිට හරි කරදරයක් වුණානෙ අයිසේ.. අන්න අයි ටී එන් කියලා එකකින් තමුසෙට එන්න කියලා තියෙනවා කියලා.. මගෙ විතරක් නෙමෙයි අම්මලගෙ ඇඟටත් ලේ ඉනුවේ ඊට පස්සෙ තමයි..”
තමන්ට කෝපි කඩේ බණ්ඩා බවට පත් වෙන්නට අවස්ථාව උදා වූ ආකාරය රසබර ලෙස විස්තර කරමින් සමන් පැවසුවේය. ඔහු ස්වාධීන රූපවාහිනී ආයතනයට ගියේ රාත්‍රියකය.
“කාලෙ ගැන හැඟීමක් මට තිබ්බෙ නෑ.. ඒකයි රෑ ගියෙ.. එතකොට ඒකේ රෙකෝඩින් එකක් තිබුණා.. මට කිව්වා හෙට උදේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරමු කියලා.. කෑමබීම දීලා එහෙ නවතින්නත් දුන්නා.. ” ඔහු කීවේය.
ඔවුන් කී පරිදිම පසුවදා තිර පරීක්ෂණය කරනු ලැබිණි. ඔහුට සිදු වුණේ පන්සලක වෙසෙන ඇබිත්තයෙකුගේ දර්ශනයක් රඟ පාන්නටය. තමා එය හරියටම කළ බවට තෘප්තියෙන් සිටියත් කිසිම හාහෝවක් නැතිව තවත් මාස කිහිපයක් ගෙවී ගියේය. අවසානයේදී කෝපි කඩේ 99 වන කථාංගය වූ ‘හොරු’ තුළින් ඔහු බණ්ඩා ලෙසින් දොරට වැඩියේය. එදාමෙදාතුර අවුරුදු තිස් හතකටත් වැඩි කාලයක් තිස්සේ ඔහු කෝපි කඩේ බණ්ඩාය.
“ඒ කාලේ හුඟක් පළාත්වලට අයි ටී එන් පේන්නෙ නෑ.. ඒ හින්දා නාට්‍යයේ රඟ පෑවට මමත් ඒක නරඹලා තිබුණෙ නෑ.. දවසක් කැම්පස් යන්න කැලණි පාලම උඩ ඉද්දී හැමෝම මගෙ දිහා බලනවා.. බස්වල යන අය බණ්ඩා කියලා අත වනාගෙන යනවා.. එතකොට තමයි මම දැන ගත්තෙ ඒ චරිතය මිනිස්සු අතරට ගිහින් කියලා..”
ඔහු සිනාසෙමින් පැවසුවේය.
ඔහුගේ ඉවසීම, කැප වීම පිළිබඳව දැඩි පුදුමයක් දැනුණේ වී නමුත් අවුරුදු තිස් හතක් තිස්සේ එකම චරිතයක් රඟ පෑම තුළින් රංගනය එපා නොවුණේදැයි ඔහුගෙන් දැන ගන්නට මට වුවමනා විණි.
“නෑ.. එහෙම එපා වුණේ නෑ.. හේතුව එකම චරිතය වුණත් විවිධ මුහුණුවරනෙ තිබ්බෙ.. බණ්ඩා කියන්නෙ දෙමව්පියෝ නැති අනාථයෙක්.. කාත් කවුරුවත් නැති කෙනෙකුට දැනෙන තනිකම අසරණ බව එක වෙලාවකට ඒ චරිතයෙන් පිළිබිඹු වෙනවා.. තවත් වෙලාවකට නායකත්ව ලක්ෂණ පළ වෙන්නෙ පන්සලේ අයිතිකාරයා වගේ හැසිරෙන හින්දා.. සැබෑ ජීවිතේදී අපි දකින හුඟක් චරිත බණ්ඩා තුළින් දකින්න පුළුවන්..”
ඔහු බොහෝ අපූරුවට චරිතයේ ස්වභාවය විග්‍රහ කරමින් පැවසුවේය.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් පිට වූවාට පසුව සමන් ගුණවර්ධන ගුරු වෘත්තියට පිවිසුණේය. ඔහුට පළමු පත් වීම ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මයිලෑව විද්‍යාලයටය. එහි සිට කෝපි කඩේ රූගත කිරීම්වලට ඒම අපහසු වූයේය. ඒ වන විට බණ්ඩා, සුවඳා හා අප්පුවා ජනප්‍රිය චරිත වී තිබූ බැවින් ඔහුට ඉන් ඉවත් වෙන්නට ද හැකියාවක් නොවිණි. ඔහු එවකට ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වූ තේවිස් ගුරුගේ මහතා හමු වෙන්නට ගොස් සිය ගැටලුව ඔහුට කීවේය. ගුරුගේ මහතා අධ්‍යාපන ඇමැති හා ජනමාධ්‍ය ඇමති වූ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට දෙන ලෙස ලියුමක් දුන්නේය.
“ඇමතිතුමා බොහොම සැලකිල්ලෙන් මාව පිළි අරන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකට දෙන්න කියලා ලියුමක් දුන්නා.. හැබැයි එයා නම් මට හොඳටම බැන්නා.. කොහොම වුණත් මට අපේ ගේ ළඟ ඉස්කෝලෙකට මාරුවක් ලැබුණා.. ඒ හින්දා රස්සාවයි, විනෝදාංශයයි දෙකම සමතුලිතව කර ගන්න පුළුවන් වුණා.. ” සමන් කීවේය.
පසු කාලයකදී අධ්‍යාපන පරිපාලන සේවයට එක් වූ ඔහු විශ්‍රාම ගත්තේ වයඹ පළාත් සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙසිනි. ඒ තනතුරේ සිට වයඹ පළාත් අධ්‍යාපන අංශයට කළ හැකි උපරිම සේවය ඔහු කළේය.
මේ වන විට සමන් ගුණවර්ධන ටෙලි නාට්‍ය දහයක, වේදිකා නාට්‍ය පහළොවක, චිත්‍රපටි දෙකක රඟ පා තිබේ. ඔහු වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණීමත් අපූරු කතාන්දරයකි. නරි බෑනා නාට්‍යයට නළුනිළියන් බඳවා ගන්නා බවට දැන්වීමක් දුටු සමන් එයට අයැදුම් පත්‍රයක් යොමු කළේය. සම්මුඛ පරීක්ෂණයේදී ඔහුට ගීතයක් කියමින් නටන ලෙස දයානන්ද ගුණවර්ධනයන්ගෙන් අණ ලැබිණි. ඔහු එවකට සිය ගුරුවරයෙකු වූ බන්දුල විජේවීර සමඟ කළ නාට්‍යයක කොටසක් රඟ පෑවේය.
“ආ.. බොහොම හොඳයිනෙ..” ඔහු කියද්දී බොහෝ සතුටු වූ සමන් අන්දමන්ද වූයේ “තමුසෙට තේ හදන්න පුළුවන් ද..?” කියා අසද්දීය.
“පුළුවන්..”
චමරිවල තේ සාදා පළපුරුද්ද තිබූ සමන් කීවේය.
“ආ.. එහෙනම් තේ ටිකක් හදනවකො.. දැන් විජය නන්දසිරිලා එනවා.. එයාලටත් බොන්න එක්ක..”
දයානන්ද ගුණවර්ධනයන්ගේ අණ ක්‍රියාත්මක කරමින් ඔහු බොහෝ රසවත්ව තේ සෑදුවේය. එදා සිට කණ්ඩායමේ නිත්‍ය තේ සාදන්නා වූයේ සමන්ය.
“කැම්පස් යන්න තියෙන දවසට මට එන්න බැරි වෙනවා.. එහෙම එක දවසක තේ හදන්න වෙන කෙනෙක් අරගෙන තිබුණා.. රඟ පාන්න නැති වුණත් ප්‍රවීණ නළුනිළියන් එක්ක සමීපව ඇසුරු කරන්න තිබ්බ අවස්ථාවත් නැති වීම ගැන මම හුඟක් කනස්සල්ලට පත් වුණා.. එක දවසක් සර් මට කිව්වා නාට්‍යයේ ෂෝ දෙකම බලන්න කියලා.. ඊට පස්සෙ පෙළ කියවන්න දුන්නා.. මම ඇහැව්වා ඇයි ඉතින් මට නාට්‍යය බලන්න කිව්වෙ කියලා.. එතකොට කිව්වෙ නාට්‍යය නොබලා පෙළ කියවන්න දුන්නනම් නාට්‍යය බලන්න ගිහින් ඒක වරද්දනවා කියලා.. ඒ ප්‍රවීණ නාට්‍යකරුවෝ අපිව නිර්මාණය කළේ අන්න එහෙම හෙමින් සීරුවේ.. අවස්ථාව එනකම්ම හැමදේම අධ්‍යයනය කරමින් සන්සුන්ව ඉන්න තරම් ඉවසිල්ලක් අපිටත් තිබුණා..”
සමන් ගුණවර්ධනගේ එවදන් තුළ නවක නළුනිළියන්ට ඉගෙන ගත හැකි අගනා පාඩමක් වෙතැයි මට සිතෙන්නේය.
චන්දි කොඩිකාර