ඔලිම්පික් ගිහින් උපන් රටත් අහිමි වූ සුරූපී ක්‍රීඩිකාව


 

 

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගොස් කිසිදු තරගයකට සහභාගී නොවී, කිසිදු පදක්කමක් ජයග්‍රහණය නොකර, ජනප්‍රිය වූ ක්‍රීඩිකාව වන්නේ, ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ය. ක්‍රිස්ටිනා, බෙරලූස් ක්‍රීඩිකාවකි. අද ක්‍රිස්ටිනාට පමණක් නොව ඇගේ සැමියාට ද පෝලන්තයේ දේශපාලන රැකවරණ හිමිවී තිබේ. ක්‍රිස්ටිනා දේශපාලනය සම්බන්ධ තැනැත්තියක නොවූවාය. කෙසේ නමුත්, සිදුවුණු අසාධාරණය හමුවේ, ඇගේ කතාව අවසන් වූයේ එය දේශපාලනීකරණයට ලක් වීමෙනි.

   
24 හැවිරිදි ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා, 2017 සිට 2019 තෙක් යුරෝපා ක්‍රීඩා උළෙලවලදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ බෙලරූස් ක්‍රීඩිකාවකි. ඇය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මීටර් 200 කාන්තා ඉසව්වෙන් බෙලරූසයට රන් පදක්කම දිනා දීමේ අපේක්ෂාවෙනි. එහෙත්, අවසානයේ ඇයට සිදුවූයේ, කිසිදු තරගයකට සහභාගී නොවී, ජපානයේ ටෝකියෝ සිට, ඔස්ට්‍රියාවේ වියානා හරහා පෝලන්තයේ වෝර්සෝ නුවරට යෑමටය. ඒ, පෝලන්ත රජය, මානුෂීය හේතූ මත ඇයට රැකවරණය දීමටත් වීසා ලබා දීමත් කැමැත්ත පළ කළ බැවිනි.   


ක්‍රිස්ටිනා, බෙලරූස් ඔලිම්පික් කණ්ඩායම සමඟ මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ මීටර් 200 ඉසව්ව සඳහා හොඳින් පුරුදු පුහුණු වෙමිනි. රන් පදක්කම දිනා ගැනීමට හැකිවේවි යැයි යන ආත්ම විශ්වාසයෙනි. ඔලිම්පික් උළෙලට ගොස් සිටිද්දී, බෙලරූස් ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු යූරි මොයිසෙවිච් සහ ක්‍රිස්ටිනාගේ පුහුණුකරු ආතර් ෂුමැක්, බෙලරූස් ඔලිම්පික් නියෝජිත කණ්ඩායමේ තීරණයකට අනුව, ක්‍රිස්ටිනා මීටර් 4x400 කඩින් කඩ දිවීමේ තරගයට ඇතුළත් කෙරුණි.   


පුහුණුකරුවන් මෙම තීරණය ගත්තේ ක්‍රිස්ටිනාට ඒ බව නොකියාය. මීටර් 4x400 කඩින් කඩ දිවීමේ තරගයට තමන් ඇතුළත් කළ බව දැනගත්විට ක්‍රිස්ටිනා කලබලයට පත් වූවාය. තමන් පුහුණු වූයේ මීටර් 200 ට පමණක් බවත්, තමන්ට මීටර් 4x400 කඩින් කඩ දිවීමේ තරගයේ දස්කම් පෙන්විය නොහැකි බවත් ඇය පුහුණුකරුවන්ට පහණක් නොව බෙලරූස් කණ්ඩායම සමඟ ඔලිම්පික් ගිය බෙලරූස් නියෝජිත කණ්ඩායමට ද පැවැසුවාය. ක්‍රිස්ටිනා, මීටර් 4x400 කඩින් කඩ දිවීමේ තරගයට ඇතුළත් කරන්නැයි පුහුණුකරුවන්ට උපදෙස් දී තිබුණේ බෙලරූස් නියෝජිත කණ්ඩායමය. රජයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමත්‍යාංශ නිලධාරීහු බොහෝ දෙනෙක් එම නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.

   
දිගින් දිගටම බල කරමින්, පීඩනයක් එල්ල වෙද්දී, මීටර් 4x400 තරගයට තමන්ට සහභාගී විය නොහැකි බව, ක්‍රිස්ටිනා තරයේ කියා සිටි නමුත්, ප්‍රධාන පුහුණුකරු යූරි මොයිසෙවිච් ඊට කන් දුන්නේ නැත. එල්ලවුණු ‘පීඩනය‘ හමුවේ, සිදුවුණු අසාධාරණය සම්බන්ධයෙන්, ක්‍රිස්ටිනා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ, වීඩියෝ පණිවුඩයක් ප්‍රසිද්ධියට පත් කළාය. බෙලරූස් ක්‍රීඩිකාවක වීම නිසා ක්‍රිස්ටිනාගේ වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය (විශේෂයෙන් ඇමෙරිකාව සහ යුරෝපා රටවල) අවධානයට ලක් විය. ජාත්‍යන්තර මාධ්‍ය පුවත් පළ කරන්න වූයේ බෙලරූස් රජයේ බලපෑම හමුවේ බෙලරූස් ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීමට සිදුවී ඇති බව පෙන්වා දෙමිනි.   


බෙලරූසය (සුදු රුසියාව) අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසක් විය. පෝලන්තය ද බෙලරූසය අල්ලා ගෙන තිබුණි. වෙනම රාජ්‍යයක් බවට පත් වීමෙන් පසු අද වනවිට, බෙලරූසය සමීප සබඳතා පවත්වන්නේ යුරෝපා රටවල් සමඟ නොව, රුසියාව සමඟය. 1994 වසරේ පටන් බෙලරූසයේ ජනාධිපති ධුරය හොබවන්නේ, ඇලෙක්සැන්ඩර් ලු‍කෂෙන්කෝය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ලු‍කෂෙන්කෝ ‘ගජ මිතුරන්’ ය. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවලට මෙම ‘මිත්‍රත්වය‘ රුස්සන්නේ ද නැත.   


අවසන්වරට පැවැති බෙලරූස් ජනාධිපතිවරණයෙන් ද ලු‍කෂෙන්කෝ ට සියයට 90 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය. විපක්ෂයට හිමිවූයේ ඉතාමත් සුළු ප්‍රතිශතයකි. ජනාධිපතිවරණය දූෂිත බවටත් හොර ඡන්ද දැමීමක් සිදුවුණු බවටත් චෝදනා නගමින් දහස් ගණනින් විපක්ෂ ක්‍රියාකාරීහු බෙලරූසය පුරා විරෝධතා පැවැත්වීමට කටයුතු කළත්, පොලිසිය එම විරෝධතා නිර්දය ලෙස විසුරුවා හැරියේය. බටහිර ගැති දේශද්‍රෝහීන් ලෙස විපක්ෂ ක්‍රියාකාරීන්ට චෝදනා එල්ල විය. දහසකට වැඩි පිරිසකට සිරදඩුවම් නියම විය. බෙලරූසයේ සිදුවන දේශපාලන පළිගැනීම්, කෙණෙහිලිකම් හේතුවෙන් බෙලරූස් විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක්, පෝලන්තයට පලාගොස් සිටින්නේ මානුෂීය වීසා ලබා ගනිමිනි.   


මීටර් 4x400 කඩින් කඩ දිවීමේ තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බැවින්, ක්‍රිස්ටිනා ටිමෙනොව්ස්කායා ආපසු බෙලරූසයට යැවීමට බෙලරූස් පුහුණුකරුවන් සහ නියෝජිත කණ්ඩායම තීරණය කළේය. ඒ, ක්‍රිස්ටිනාගේ මානසික සෞඛ්‍යය යහපත් නොවන බව පවසමිනි. ඒ අනුව, බලෙන්ම ක්‍රිස්ටිනා ටෝකියෝ ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑම සිදුවිය. එම අවස්ථාවේදී, ක්‍රිස්ටිනා බෙලරූසයේ තම අත්තම්මාට ඇමතුමක් දී තිබුණි. යළි බෙලරූස් පැමිණියහොත්, ක්‍රිස්ටිනාට ද්‍රෝහියකු යැයි චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවත්, සිරදඬුවම් විදීමට සිදුවනු ඇති බවත් මිත්තණිය පෙන්වා දී තිබේ. ඒ අනුව, ආපසු මව්රට බලා යෑමට ක්‍රිස්ටිනා බිය වූවාය. ක්‍රිස්ටිනාගේ සැමියා, අර්සේනී සෙඩැනෙවිච් ක්‍රීඩා පුහුණුකරුවෙකි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගිය බිරිඳ, බෙලරූස් නිලධාරීන් සමඟ අර්බුදයක් ඇතිකරගත් බව ආරංචි වූ සැණින්, අර්සේනී, යුක්රේනයට පලා ගියේය. (පසුව පෝලන්ත රජය ඔහුට ද මානුෂීය හේතුමත වීසා ලබා දුන් අතර, ඔහු ද වෝසෝ අගනුවරට පැමිණියේය.)   


බෙලරූස් බලධාරීන්ගේ බලපෑම් හමුවේ අසරණ වූ ක්‍රිස්ටිනාට කළ හැකි දෙයක් නොවීය. ඇය මුහුණ දුන් අර්බුදය ඔලිම්පික් කමිටුවට පැවැසුවාය. මේ වනවිට දේශපාලන පළිගැනීම් හේතුවෙන් බෙලරූසයෙන් පලා ගොස් මානුෂීය වීසා මත එරට රැදී සිටින බෙලරූස් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් ක්‍රිස්ටිනාට සිදුවුණු අසාධාරණය වටහා ගෙන සිටි අතර ඔවුන් වහා මැදිහත් වී, පෝලන්ත රජයෙන් ඉල්ලීමක් කළේ ක්‍රිස්ටිනාට පිහිට වන ලෙසය. තමන්ට උදවු කරන්නැයි ක්‍රිස්ටිනා ජපාන පොලිසියෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ, ටෝකියෝ නුවර පෝලන්ත තානාපති කාර්යාලය ද ජපාන පොලිසිය සමඟ ක්‍රිස්ටිනාගේ පිහිටට පැමිණියේය. ටෝකියෝ ගුවන්තොටුපොළේ බෙලරූස් බලධාරීන් සමඟ සිටි ක්‍රිස්ටිනා ටෝකියෝ පෝලන්ත තානාපති කාර්යාලයට රැගෙන යෑම සිදුවූයේ ජපාන පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. මේවනවිට ක්‍රිස්ටිනා නොදැනුවත්වම වාගේ බෙලරූස් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ ‘වීරවරියක’ බවට පත් වී සිටියාය. ක්‍රිස්ටිනා, සම්බන්ධ සිදුවීම බෙලරූස් ජනාධිපති ලු‍කෂෙන්කෝ අප්‍රසාදයට පත් කිරීමට හේතුවක් කර ගැනීමට ද බෙලරූස් විපක්ෂ ක්‍රියාකාරීහු සමත් වූහ.   


දින දෙකක් ටෝකියෝ නුවර පෝලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලබා ගනිමින් එහි රැඳී සිටි ක්‍රිස්ටිනා පසුව ඔස්ට්‍රියාවේ වියානා නුවර හරහා පෝලන්තයේ වෝසෝ අගනුවර බලා පැමිණියාය. ඇයට සෘජුව වෝසෝ බලා පැමිණීමට නොහැකි වූයේ ගුවන් යානා අසුනක් හදිසියේ වෙන් කර දීමට ටෝකියෝ නුවර පෝලන්ත තානාපති නිලධාරීන්ට නොහැකි වුණු බැවින් යැයි මාධ්‍ය වාර්තා කළේය. කෙසේ හෝ අවසානයේ වෝසෝ නුවරට පැමිණි ඇයට ඇගේ සැමියා ද හමුවිය.   


ක්‍රිස්ටිනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. එය අවසන් වූයේ ක්‍රිස්ටිනාට අසාධාරණ අයුරින් බලපෑම් එල්ලවුණු බවත්, ඇය දැඩි පීඩනයකට ලක් වුණු බවත් සහතික කරමිනි. ඒ අනුව, බෙලරූස් ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු යූරි මොයිසෙවිච් සහ ක්‍රිස්ටිනාගේ පුහුණුකරු ආතර් ෂුමැක්ට යළි ඔලිම්පික් උළෙලකට සහභාගී වීමට ඉඩ ලබා නොදීමට ද ඔලිම්පික් කමිටුව තීරණය කළේය. මේ අතර, පෝලන්තයේ වෝසෝ අගනුවර සිට මාධ්‍ය හමුවකට එක් වෙමින්, ක්‍රිස්ටිනා තරයේ පවසා ඇත්තේ තමන් දේශපාලනයට සම්බන්ධ අයකු නොවන බවත්, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලු‍කෂෙන්කෝ සහ බෙලරූස් රජයට තමන් ද්‍රෝහියකු නොවන බවත්ය. ඔලිම්පික් උළෙලේදී තමන්ට බලපෑම් එල්ල වුණු බවත්, තමන් ඊට විරෝධය දැක්වූ නිසා තමන් සහභාගී වීමට සූදානමින් සිටි ක්‍රීඩා ඉසව්ව පවා බලධාරීන් තමන්ගෙන් උදුරා ගත් බවත් ඇය මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළාය.

 

 

ලු‍සිත ජයමාන්න   
සී.එන්.එන්. ඇසුරිනි