“ආගමික තේමාවන් සහිත චිත්‍රපටිවලට ඉන්දියාවෙන් නළුනිළියන් ගෙන්වා ගත්තේ ලංකාවේ රංගන ශිල්පීන් දක්ෂ නැති නිසා නෙමෙයි වෙන විශේෂ හේතුවක් හින්දා..”
ආගමික හා ඓතිහාසික පසුබිමක් සහිත චිත්‍රපටි නිර්මාණය සඳහා නම් දැරූ ප්‍රවීණ චිත්‍රපටි නිර්මාණකරු, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න එසේ කියන්නේය.
ඔහු නිර්මාණය කළ චිත්‍රපටි රැස අතරින් ක්‍රිස්තු චරිතය, උප්පලවණ්ණා, කුසපබා, පත්තිනි, යසෝදරා හෙවත් බිම්බා දේවි, විජයබා කොල්ලය, ක්ෂීර සාගරය කැලඹිණ, කදිර දිව්‍යරාජ, ගෞතම බුද්ධ මාතා යන නිර්මාණ ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාර බොහෝ සෙයින් ලබා ගත්තේ ඒවායේ ආගමික හා ඓතිහාසික තේමාවන් නිසාය. පත්තිනි, යසෝදරා, කදිර දිව්‍යරාජ, ගොෟතම බුද්ධ මාතා චිත්‍රපටිවල ප්‍රධාන චරිත රඟ පෑවේ ඉන්දියාවෙන් ගෙන්වන ලද නළුනිළියන්ය. එය සිනමා ක්ෂේත්‍රයේ අයගේ පමණක් නොව රසික ප්‍රජාවගේත් සිත්සතන්වල කුකුසක් ඇති කළේය. එක අතකින් බලන කල එය අභියෝගයකි. සුනිල් ආරියරත්නයන් ඒ අභියෝගයට මුහුණ දුන්නේ කෙසේදැයි දැන ගන්නට මට වුවමනා වූයේය.
“අපේ රටේ ඕනෑම චරිතයක් අතිසාර්ථක විදියට රඟ පාන්න පුළුවන් නළුනිළියෝ ඉන්නවා.. ඒත් සමාජයේ බහුතරයක් ඒක දකින්නෙ රංගනයක් විදියට නෙමෙයි සැබෑම ජීවිතයේ කොටසක් හැටියට.. ඒකෙන් නළුනිළියන්ට වෙන හානිය ගැන හිතලා තමයි මම සමහර චරිතවලට ඉන්දියානු නළුනිළියන් යොදා ගත්තෙ.. ක්‍රිස්තු චරිතය චිත්‍රපටිය මට නළුනිළියන් තේරීම පිළිබඳව හුඟක් අත්දැකීම් ලබා දුන්නා..” ඔහු පැවසුවේය.
ක්‍රිස්තු චරිතය චිත්‍රපටිය ප්‍රදර්ශනය වූයේ 1990 වර්ෂයේදීය. එහි ක්‍රිස්තුස් වහන්සේ ගේ චරිතයට පණ පොවන ලද්දේ විජය කුමාරතුංග විසිනි. ඒ පිළිබඳව සමාජයේ විවිධ කතිකාවත් පැවති බැව් මට මතකය. එවන් ආගමික නායකයෙකුගේ චරිතයක් රඟ පෑමෙන් වස් වදින බවත්, විජය කුමාරණතුංග ඝාතනය වූයේ එම නිසා බවත් එකල සමහරු කියනවා මගේ කනටම ඇසී තිබිණි.
“ලෝක සිනමාවේ ඕන තරම් නළුවෝ ක්‍රිස්තු චරිතය රඟ පාලා තියෙනවා.. ඒකට කිසිම තහංචියක් නෑ.. ලංකාවෙත් පාස්කු නාට්‍යවල ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟ පාන නළුවෝ ඉන්නවා.. ඒකෙන් ඔවුන්ගෙ භක්තිය පිරිහෙන්නෙ නෑ.. ධීවර ප්‍රජාවේ නළුවන්ටත් ක්‍රිස්තු චරිතය රඟ පාන්න පුළුවන්නම් විජය කුමාරතුංගට බැරි වෙන්න බෑනෙ.. ඒත් විජය ක්‍රිස්තු චරිතය රඟපානකොට හුඟක් විවේචන එල්ල වුණා.. ඒකට හේතුව ඔහු ගේ රඟපෑම්වල අඩුවක් හෝ වෙන හේතුවක් නෙමෙයි ඔහු දේශපාලනයට සම්බන්ධ වී ඉඳීම කියලා මම දැන ගත්තෙ පස්සෙ කරුණුකාරණා හොයනකොටයි.. ඉතින් මේ වගේ චිත්‍රපටිවලට නළුනිළියන් තෝරනකොට හුඟක් කල්පනාකාරී වෙන්න ඕන කියලා මම තේරුම් ගත්තා..” ඔහු කියන්නේය.
පත්තිනි චිත්‍රපටියේදී ද සුනිල් ආරියරත්න මේ ගැටලුවට මුහුණ දුන්නේය. මෙය පත්තිනි දෙවියන් අදහන කාන්තාවන් බහුල රටකි. එවන් පූජනීය චරිතයක් රඟ පාන්නට තෝරා ගන්නා නිළිය හැමදාමත් එවන් චරිතම රඟ පෑ යුතුයයි බහුතරයක් සිතති.
“ඒක ලොකු ගැටලුවක්.. නිළියකට හැමදාම පූජනීය චරිතම රඟ පාන්න පුළුවන්කමක් නෑනෙ.. ඇයට විවිධ චරිත රඟපාන්න සිද්ද වෙනවා.. අපි හිතමුකෝ කවදා හරි ගණිකාවකගෙ චරිතයක් රඟ පාන්න සිද්ද වුණා කියලා.. ඒක පත්තිනි චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්.. එතකොට ඒ නිළියට විතරක් නෙමෙයි මටත් මිනිස්සු ගරහන්න පටන් ගන්නවා.. ඉන්දියාවේ නිළියන්ට එහෙම අසීරු අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ද වෙන්නෙ නෑ.. ඒ හින්දා මම කන්නගීි චරිතයට පූජා උමාශංකර් තෝරා ගත්තා.. ඇත්තටම කන්නගී කියන්නෙ සාමාන්‍ය කාන්තාවක්.. ඇය පත්තිනි ස්වරූපයෙන් දිස් වෙන්නෙ චිත්‍රපටියේ අවසානයේ සුළු වේලාවකට විතරයි.. ඒ හින්දා ඒක ගැටලුවක් වුණේ නෑ..” ඔහු කියන්නේය.
බුද්ධ චරිතයට අදාළ චිත්‍රපටි නිර්මාණය කරද්දී බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නට පුළුවන්කමක් නැත. එය අදාළ වන්නේ ලංකාවට පමණකි.
“ඉන්දියාවේ එහෙම නිර්මාණ තියෙනවා.. ඒත් ලංකාවේ එහෙම කරන්න බෑ.. අංගුලිමාල හින්දි චිත්‍රපටිය සිංහල හඬ කවලා ලංකාවට ආවම බුදු හාමුදුරුවන්ගෙ අතයි, කකුලයි ප්‍රදර්ශනය කරන්නවත් අවසරයක් ලැබුණෙ නෑ.. ඒ වෙනුවට පෙන්නුවේ නෙළුම් මලක්..” ඔහු පැවසුවේය.
යසෝදරා චිත්‍රපටිය සඳහා නිළියක් පිළිබඳව සෝදිසියෙන් සිටියදී ඔහුට අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යය නරඹන්නට ලැබිණි. එහි රඟ පෑ පල්ලවී සුභාෂ් සොයා ගන්නට ඉඩ ලැබුණේ දැනට ඉන්දියාවේ පදිංචි කෞශල්‍යා වික්‍රමසිංහ හරහාය. පල්ලවීත්, අර්පිත් චෞද්රිත් යසෝදරා සහ සිද්ධාර්ථ බවට පත් කර ගන්නට හැකි වූයේ එලෙසිනි.
කදිර දිව්‍යරාජ නිර්මාණය කරද්දීත් සුනිල් ආරියරත්න සුපුරුදු අභියෝගයට මුහුණ දුන්නේය. ස්කන්ධ කුමාර හෙවත් කතරගම දෙවියන් යනු මෙරට මිනිසුන් වැඩිපුරම අදහන දෙවියාය. ඒ චරිතය පමණක් නොව වල්ලි මාතාවගේ චරිතය නිරූපණය කිරීමත් ශ්‍රීලාංකික නළුනිළියන්ට කළ නොහැකි බැව් ඔහුට පසක් වූයේය.
“නළුවෝ නිළියෝ වෙන්න කැමති අය ඉන්දියාවේ හතරදිග් බාගයෙන්ම තමන්ගෙ වාසනාව උර ගා බලන්න මුම්බායිවලට එනවා.. ඉතින් එහෙ ඉන්නවා නළුනිළියෝ තෝරලා දෙන කළමනාකාරවරු.. එහෙම කෙනෙක් හරහා අපි 25 දෙනෙකුගෙ ඡායාරූප ගෙන්නා ගත්තා.. ඊට පස්සෙ මම, කැමරා ශිල්පියා, වෙස් ගැන්වීම් ශිල්පියා, කලා අධ්‍යක්ෂ මුම්බායිවලට ගිහින් දවස් හතරක් තිස්සේ සම්මුඛ පරීක්ෂණ කරලා තමයි ඒ අය තෝරා ගත්තෙ..”
ස්කන්ධ කුමාර ලෙස සමර් වර්මානි සහ වල්ලි මාතාව ලෙස සෝනක්ෂි සිං රාවත් තෝරා ගනු ලැබිණි.
වැඩිම ඉන්දියානු නළුනිළියන් පිරිසක් යොදා ගනු ලැබුවේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටියටය. පාල්ගුණී ඛන්නා ප්‍රජාපතී ගෝතමී ලෙස රඟ පෑවාය. මහාමායා ලෙස අදිති සිං ද, සිද්ධාර්ථ ලෙස තුෂාන් චිබ්බර් සහ යසෝදරා ලෙස හිමංශි ජයින් එහි රඟ පෑහ.
“ඉන්දියාවේ වගේ සිනමා කර්මාන්තයක් අපේ රටේ නැති හින්දා ඉන්දියාවේ වගේ ලොකු ගණන් ගෙවන්න බෑ කියලා පැහැදිලි කරලා තමයි මේ නළුනිළියෝ යොදා ගත්තෙ.. රන්මිණිතැන්න සිනමා ගම්මානයේ හුඟක් රූගත කිරීම් කළේ.. අනිත් අභියෝගය තමයි මේ අයට සිංහල භාෂාව උච්චාරණය කරන්නට පුරුදුපුහුණු කිරීම,. එහිදී විශාල වශයෙන් උදව් කෙරුවේ කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි අධ්‍යයනාංශයේ මහාචාර්ය උපුල් රංජිත් විදානගමගේ සහ ඔහුගේ ශිෂ්‍යයන්.. හඬ කැවීම්වලදී පර්නි රෝෂිණි, ජගත් චමිල, වත්සලා සමරකෝන් වගේ අය හුඟක් කැප වුණා...”
සුනිල් ආරියරත්නයන් පැවසුවේ කෘතඥතාපූර්වක ස්වරයෙනි.
චන්දි කොඩිකාර