අද වෙනකොට බොහෝ රියැලිටි තරග හරහා රියැලිටි තරු මෙන්ම ඒ තුළින් අති දක්ෂයින් බිහිවෙනවා . ඒ අනුව දක්ෂතා සපිරි තාරුණ්‍ය නියෝජනය කරන ඒ වගේම සංගීතයෙන් නව මානයන් සොයා යන මේ දිනවල වැඩි වශයෙන් සංගීත ලෝකය තුළ කතාබහට ලක්වෙන චරිතයක් සමඟයි මේ කතාබහ. ඔහු නමින් KNIGHTS සංගීත කණ්ඩායමේ නායක තරිඳු නිර්මාණ කරුණානායක. මේ අපි කතා කරන්නේ KNIGHTS සංගිත කණ්ඩායම හැමෝගෙම ආදරය දිනාගත්ත මොහොතක.
ප්‍ර ඉන්දියාවට ගිහිල්ලා රටවල් ගණනාවක් එක්ක ලංකාවේ වැඩ පෙන්නපු ඒ අවස්ථාවෙන්ම අපි කතාව පටන් ගමු?
ඉන්දියාවට යද්දි මිනිස්සු මෙච්චර අපිව වැලඳගනිවි කියලා හිතුවේ නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැතුව ගියේ. ඇත්තම කියනවනම් අපි ගියේ ලැබුණ අවස්ථාවෙන් අත්දැකීමක් ගන්න. ඒ වගේ රටවල් ගණනාවක් එක්ක අපිට හැප්පෙන්න පුළුවන්ද කියලාත් ඒ ගමන යද්දි හිතේ හිතුණා.
ප්‍ර කොහොමද මේ අවස්ථාව KNIGHTS කණ්ඩායමට ලැබෙන්නේ ?
ඉන්දියාවේ පැවති මෙම Battle of bands International සංගීත තරගාවලිය පැවැත්වුණේ වේව්ස් 2025 සමුළුවට සමගාමිව. ඉන්දියානු රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය, දූරදර්ශන් ටීවී සහ සරිගම ආයතනය එකතු වෙලා කරපු තරගයක් තමයි ඒක. ඒ අය ලෝකයේ සංගීත කණ්‍ඩායම් 30 කගේ පමණ තොරතුරු හොයලා තියෙනවා. ඒ හොයද්දි වොයිස් ශ්‍රී ලංකා එකේ මම ගායනා කරන සින්දු දැකලා තමයි ඉන්දියාවේ සරිගම ආයතනයෙන් මට ඊමේල් එකක් එන්නෙ මෙහෙම තරගාවලියක් තියෙනවා මේකට අපි ඔයාලාගේ සංගීත කණ්ඩායමට ආරධනා කරනවා සහභාගි වෙන්න කියලා. අපිට විතරක් නෙමෙයි ලංකාවේ තවත් සංගීත කණ්ඩායම් වලට මේ සඳහා ආරධනා ලැබිලා තියෙනවා. නමුත් අපි විතරයි ඉදිරිපත් වුණේ. එහි අපට ගායනා කරන්න තිබුණේ හින්දි ගීත, ඒවත් සරිගම ලේබල් එක යටතේ තියෙන ගීත පමණයි කියන්න පුළුවන්. අනිත් එ්වා අපේ සිංහල සින්දු අපි තෝරගත්තේ අපි ලංකාව ගැන හදපු මාතෘ භූමිය උදාරවන්ත වූ කියන ගීතය. ඇත්තටම මේ වගේ ජාත්‍යන්තර වේදිකාවක ගායනා කරන්න මගේ ශක්තිය හැදුණේ සිරස වොයිස් වේදිකාවෙන්. අපිට මාරම ආසාවක් තිබුණා ලංකාවෙන් එළියට ගිහින් සින්දු කියන්න. ඒ ලැබුණ අවස්ථාවෙන්ම අපි උපරිම ප්‍රයෝජන ගත්තා.
ප්‍ර තරිඳුගේ ජීවිතේ ලොකුම වෙනස ඇති කරපු තැන Battle of bands International තරඟය ද?
අනිවාර්යයෙන්ම ඔව්. ලංකාවේ ප්‍රසංග ගොඩක සින්දු කියලා තිබුණත් ඒ වේදිකාවට ගියාම කකුල් වෙව්ලන්න ගත්තා. බය උපරිමෙන්ම තිබුණා. හිතේ හයියට ඕනම දෙයක් කරන්න පුළුවන් කියනවානේ අපි සෙට් එකේ සියලුම දෙනා මම, දනිඳු පෙරේරා, ගීසර විජේකෝන්, රුක්ෂාන් සිල්වා, කවිශ්ක අශාන්, ශිරන්ත ප්‍රනාන්දු, අරුන් ජෙරොමි එක හා සමානව කැපවුණා. මම මෙතන තනියම කතා කළාට බෑන්ඩ් එකේ අනිත් අය නැත්නම් මම අද මෙතන නැහැ. දිනන පරදින එක අපි හැමෝටම පුරුදු දෙයක්. අපි ඒ තරගයේදි උපරිමයෙන් ම කළා. ඒත් අපට පළමු තැනට එන්න බැරි වුණාත් අපි ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත්තා. මේ තරඟයේ පළමු වටයේදිම හොඳම සංගීත කණ්ඩායම බවට අපි පත්වුණා. රටවල් ගාණක සංගීත කණ්ඩායම් අතුරින් දෙවැනි තැන හිමි වෙනවා කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් අපට දුන්න ආදරයට හැම දෙනාටම ගොඩාක් ස්තුතියි කියලා කියනවා.
ප්‍ර තරිඳුගේ සංගීත ආරම්භය සිදු වෙන්නේ කොයි කාලෙයේද?
මගේ පාසල කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය. සංගීතයට ටික ටික පාර කැපුණේ ඉස්කෝලෙන් තමයි. මම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ පොඩි කාලේ ඉඳලා තියෙනවා. ඒත් සංගීතය දිගටම කරනවා කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ. දවසක් මම ඉස්කෝලේ තිබුණ නත්තල් කැරොල් ගායනා තරඟයකට ඉදිරිපත් වෙනවා. ඒ තරගයෙන් මම දිනනවා. තරගයෙන් දිනුවට පස්සේ පාසල් මට්ටමෙන් තරග වලට මාව ඉදිරිපත් කරන්න ගත්තා. සංගීත තරග වලට එක්කගෙන ගියා. ඒ දේවල්වලින් පස්සේ පාසල ඇතුළෙ සංගීත වැඩ ටිකක් මම කරන්න පටන් ගත්තා.
කාලයක් පාසලේ කැලිප්සෝ කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහටත් හිටියා. ඔය අතරේ මට ගිටාර් ගහන්න ඉගෙනගන්න ආසාවක් ඇති වුණා. අම්මා ට කියලා ගිටාර් එකක් අරගෙන යූටියුබ් එකෙන් කෝඩ්ස් ඉගෙනගෙන ඉන්න ගමන් සින්දු කියන්න පටන් ගත්තා. ඒ විදිහට තමයි ටික ටික සින්දු කියන්න පටන් ගත්තේ .
ප්‍ර තරිඳු මේ තරම් සංගීතයට බැඳෙන්නේ පවුලේ සංගීතයට සම්බන්ධ අය ඉන්නවා ද ?
මගේ පවුලේ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධ නැහැ. මට කවදාවත් සංගීත පැත්තෙන් ඉස්සරහට යනවා. ගායකයෙක් වෙනවා කියන අදහසක් තිබුණේ නැහැ. මට ඕන වුණේ උසස් පෙළ කරපු ගමන්ම මොකක් හරි රැකියාවක් කරලා සල්ලි හම්බ කරන්න. කවදාවත් කැම්පස් යන්න අදහසක් තිබුණේත් නැහැ. මට උසස් පෙළ කරන අතරෙම පොඩි රැකියාවකුත් හම්බවෙනවා. ඔය අතරේ ඉස්කෝලේ සංගීතය කරනවා කියලා දන්න කට්ටිය මට එළියේ පොඩි පොඩි සංගීත කණ්ඩායම්වලින් වැඩවලට කතා කරන්න ගත්තා. හොටෙල්වල සින්දු කිව්වා. ඒවා ටික ටික කරනකොට මට සංගීත පැත්තට එන්න ලොකු ආසාවක් ඇති වුණා.
ගායකයෙක් වෙනවට ගෙදරින් අවසර ලැබුණාද?
මම ඉතින් සින්දු කිය කිය ඉන්නවාට ඇත්තටම ගෙදරින් කැමති වුණේ නැහැ. මගේ අම්මා සේවය කරන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගමේ. තාත්තා හිටපු පොලිස් නිලධාරිවරයෙක්. අම්මාගේ පරිසරේ යාළුවන්ගේ දරුවන් ෆයිලට්ලා ඉන්ජිනේරුවෝ, තත්තාගේ යාළුවන්ගේ දරුවනුත් උසස් රැකියා කරනවා. අම්මාගෙයි, තාත්තාගෙයි යාළුවන්ගේ දරුවෝ හොඳ රැකියාවන් කරද්දි මම ගිටාර් එකක් උස්සගෙන සින්දු කිය කිය යන එක ඒ අයට ලැජ්ජාවක් වෙන්න ඇති කියලාත් හිතුන වෙලාවල් තියෙනවා. මට බාල තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මගේ අම්මායි තාත්තායිත් හීන දැක්කා මම වෙනත් වෘත්තියකින් ඉස්සරහට යනවට. නිතරම අම්මා කිව්වේ වෙනම වෘත්තියක් කරන ගමන් විනෝදයට සංගීතය කරන්න කියලා. වෘත්තිය වශයෙන් සංගීතය කරනවට අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.
මියුසික් කරන්න කිසිම අදහසක් නොතිබුණත් එක තැනකදි මියුසික් කියන දේ මගේ ඇඟට එනවා. අවුරුදු 7 ක් 8 ක් විතර ඒ වෙනුවෙන් කට්ට කෑවා. මම ඉගෙන ගත්තේ නැති නිසා තමයි සින්දු කියන්නේ කියලාත් ළඟම අය නෑදයින් හිතවතුන් පවා කියලා තිබුණා. හැබැයි මම සංගීතය කරන අතරතුර ව්‍යපාර කළමනාකරණ පැත්තෙන් උපාධිය කරලා අවසන් කළා.
මම ඒ දවස් වල රියැලිටි තරග වලටත් අයදුම් කරා. ඒත් එකක්වත් සාර්ථක වුණේ නැහැ. උසස් පෙළ අවසන් කරලා ටික කාලයක් ඉන්නකොට අනෝජා විරසිංහ මහත්මිය යටතේ " අභින " හරහා මම රංග කලාව , සහ හඬ පුහුණුව ගැන ඉගෙන ගන්න ගියා. ඒ වැඩමුළුවට යනකම්ම මම පාසලේදිවත් කලාව සංගීතය ගැන විෂයක් විදිහට ඉගෙන ගෙන තිබුණේ නැහැ. අභින හරහා රංග කලාව ගැන ඉගෙන ගෙන පුහුණුවීම් කරද්දි මට තේරුණා මගේ ආස දේ සංගීතය කියලා. මම කවදාහරි වේදිකාව උඩ ඉන්න ඕන කියන එක හිතුණා. මම ඒ වේලාවේ තීරණය කළා සම්පූර්ණ කාලයම සංගීතයට යොමු කරනවා කියලා. හැබැයි ඒ තීරණය යථාර්ථයක් බවට පත් කරගන්න ලේසි වුණේ නැහැ.
ලොකු කට්ටක් කෑවා, නිදිමරාගෙන හම්බවෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. සින්දු කියන්න හම්බවෙන්නේ කොතැනද එතැනින් උපරිම ප්‍රයෝජනය ගත්තා. තැනක් හදාගන්නකම් අවස්ථාව ලැබෙන හැම තැනකම සින්දු කිව්වා. සංගීත කණ්ඩායම් එක්ක වැඩ කළා. ඒ කාපු කට්ටේ හර අද මට හොඳට දැනෙනවා.
ප්‍ර කොහොම වුණත් තරිඳුගේ සංගීත ජීවිතේ වෙනස් පාරකට ගෙනියන්නේ සිරස වොයිස් ශ්‍රී ලංකා?
ඔව්. කිසිම බලාපොරොත්තුවක් නොතිබුණ කාලයක් ඒක. කොරෝනා කාලෙදි මම අයැදුම් කරනවා සිරස වොයිස් ශ්‍රී ලංකා රියැලිටි තරගයට. රියැලිටි තරගයට ඉදිරිපත් වුණා කියලා ඒ කාලේ මම වැඩ කරමින් හිටපු සංගීත කණ්ඩායමෙන් මාව ඉවත් කරනවා . ඒ සංගීත කණ්ඩායමෙන් මට කිව්වා සංගීත කණ්ඩායමේ ඉන්නවාද , බාහිර වැඩ කරනවද කියලා තීරණය කරන්න කියලා. සංගීත කණ්‍ඩායමේ ඉන්නවානම් බාහිර වැඩ කරන්න බැහැ කියන තීරණේ තමයි එයාලා හිටියේ.
මම තෝරගත්තේ රියැලිටි තරගය. ඇත්තම කියනවනම් සිරස වොයිස් ශ්‍රි ලංකා තමයි මගේ ජීවිතේ මුල්ම හැරවුම් ලක්ෂය. හැබැයි සංගීත කණ්ඩායමෙන් අයින් වෙන්න වුණාම ආර්ථිකය පහළටම වැටුණා. සංගීතය කරලා ගොඩයන්න පුළුවන් වෙයිද කියන අදහසකුත් හිතට ආපු වෙලාවල් තිබුණා. පස්සේ මම හිතුවා මම ඉගෙන ගත්ත දේවල් සහ මගේ දක්ෂතාවන් එක්ක තනියම සංගීත කණ්ඩායමක් පටන් ගන්න ඕන කියලා. එහෙම පටන් ගත්ත සංගීත කණ්ඩායම තමයි KNIGHTS කියන්නේ.
ප්‍ර තරිඳුට ඇතුගල වෙහෙර ගිතයේ කවර් song එකත් එක්ක ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා නේද?
මුලින්ම හිත්වල කෝ බං ආදරේ කියන ගිතය වොයිස් එකේ කිව්වාට පස්සේ ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. මම ගයපු ගීත ගොඩාක් දෙනා අහන්න ගත්තා. ඊට පස්සේ මගේ ගමත් කුරුණෑගලනෙ,ඉතින් කුරුණෑගල ගැන කියවෙන ඇතුගල වෙහෙර වඳින ගීතයට මමත් පෞද්ගලිකව ආස ගීතයක්. මම ඒ ගීතයේ කවර් song එකක් කරන්න ආසාවක් ආවා.කොහොමහරි හිතපු නැති විදහට ඒකත් වෛරල් වුණා.
නදිශා අතුකෝරළ