ඇලෙක්ස්ගේ ගැටුමෙන් “චණ්ඩි පුතාට” ආ මර්වින්​


“පස මිතුරෝ” ජවනිකාවක්

 

‘චණ්ඩි පුතා’ සිංහල සිනමා ඉතිහාසයේ සුවිශේෂී චිත්‍රපටයක් වෙයි. ඒ අධ්‍යක්ෂවරයකු නැතිව තිරගත වූ ප්‍රථම චිත්‍රපටය නිසාය. 1977 සැප්තැම්බර් 05 වැනිදා තිරගත වූ එම චිත්‍රපටය එකල මරදාන එල්ෆින්ස්ටන් සිනමා හලේ දින 117 ක් පුරා ප්‍රදර්ශනය වී ආදායම් අතින් සාර්ථක වූවකි.   


එහි නිල නොලත් අධ්‍යක්ෂ සෝමපාල ලීලානන්ද පවසන්නේ චණ්ඩි පුතා අධ්‍යක්ෂවරයකු නැතිව ප්‍රදර්ශන වූ ලෝකයේ එකම චිත්‍රපටය විය හැකි බවයි. සෝමෙ එහි තිරකතා රචකයා ද විය. ප්‍රචාරක කටයුතුවල දී සහාය අධ්‍යක්ෂ තිලක් වේහැල්ලගේ නම පමණක් සඳහන් විය.   


1972 අවසානයේ සෝමෙට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට අවස්ථාව උදා විය. එහෙත් එකල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම සඳහා බලපත්‍රයක් අවශ්‍ය විය. එසේ නොමැතිව චිත්‍රපටයක් කිරීම සඳහා දළ සේයා පට ආදී අමුද්‍රව්‍ය ලබා ගත නොහැකිය. සෝමෙට මේ බලපත්‍රය නොතිබිණි.   


මේ වනවිට ආරියරත්න පෙරේරා මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදක ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබු නිසා ඒ සඳහා එකල තිරයේ බැබළුණු ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය සඳහා නම් කෙරිණ. චිත්‍රපටය සඳහා අවශ්‍ය දර්ශන තල පවා ඉඳි කෙරිණ.   


අන්තිමේ දී සෝමේ මේ චිත්‍රපටයට බලපත්‍රය ගැනීම සඳහා එකල චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෙදී සිටි පතිරාජ එල්.එස්. දයානන්දගේ නම යොදා චිත්‍රපට සංස්ථාවට ඉල්ලුම් පත්‍රයක් යැවීමට අදහස් කළේය. චිත්‍රපටය නම් කර තිබුණේ ‘සල්ලි නැතේ විස්කි නැතේ’ යනුවෙනි. එහෙත් පතිරාජ මෙයට කැමැත්ත පළ නොකළේය.   
 චිත්‍රපටය සඳහා රඟපෑමට නියමිතව සිටි සුප්‍රකට විකට නළු බී.ආර්. පෙරේරා නිතර පැමිණ ඇසුවේ චිත්‍රපටය පටන් ගන්නේ කවදාද කියාය. සෝමේ මේ කතාව කී විට බී.එස්. කීවේ ‘රොඩී ගම’ අධ්‍යක්ෂණය කිරීම නිසා ඔහුට බලපත්‍රයක් ඇති බවත් ඒ නිසා ඔහුගේ නමින් චිත්‍රපටයට ඉල්ලුම් කරන ලෙසත්ය.   
ඒ අනුව ‘සල්ලි නැතේ විස්කි නැතේ’ සිංහ පැටව් නමින් බී.එස්.ගේ නමින් යළි ඉල්ලුම් කෙරිණි. අවසරය ලැබිණ.   
මේ චිත්‍රපටය පටන් ගන්න ගිය වෙලේ ඉඳලම කතා ගොඩක් තියෙනවා. මුලින්ම තිර කතා පිටපත දෙතුන් පාරක් සංස්ථාවෙන් ප්‍රතික්ෂේප වුණා. එකල චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා චිත්‍රපට සංස්ථාවේ තිර කතා මණ්ඩලයෙන් අවසර ලබා ගත යුතුයි. පසුව කීප වරක්ම එය සංශෝධනය කිරීමෙන් තමයි අනුමත වූයේ. සෝමපාල ලීලානන්ද පසුගියදා අප හමු වූ විට පැවසීය. බී.එස්.ගේ නමින් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අනුමත වුවද ඔහුගේ නම කිසිසේත්ම සඳහන් නොකරන මෙන් ඔහු ඉල්ලා සිටියේය. චිත්‍රපටය පටන් ගැනිණ. ගාමිණී සමග එහි එන දුෂ්ටයාගේ චරිතය රඟපාන්නට තෝරා ගත්තේ එකල තිරයේ ජනප්‍රිය සටන් නළුවකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුය. කැමරා ගත කිරීම් පටන් ගැනිණ. ගාමිණී මේ චිත්‍රපටය සඳහා උදේම කැඳවා ගෙන එන්නට යන්නේ සෝමේ විසිනි. ඒ සඳහා එකල තිබු නවීනතම වාහනයක් ගාමිණී වෙනුවෙන් යොදා තිබිණ.   


ප්‍රශ්නය ආවේ එතැනදීය. අනෙක් නළු නිළියන්ටත් එවැනි නවීන පන්නයේ වාහනයක් එවන්නට බැරි ඇයි දැයි ඇලෙක්ස් කතාව ඇද ගත්තේය. ඔහුගේ තර්කය වූයේ ඔහුට මෙන්ම අන් අයටත් නවීන පන්නයේ වාහනයක් එවිය යුතු බවය.   


ඒ වන විට චිත්‍රපටයෙන් අඩි 3000 ක පමණ දළ සේයා පට ප්‍රමාණයක් කැමරා ගතකර තිබිණි.   
ඇලෙක්ස් ද පරදින්නට අකමැති නළුවෙකි. ඔහු බොහෝ විට තමන්ට වන පාඩුව නොතකා සටන් කරන්නෙකි.   


මෙය විශාල අනතුරක සේයාවක් තිබු බව සෝමේ කියයි. සෝමේ කියන හැටියට ‘චණ්ඩි පුතා’ චිත්‍රපටයේ ගාමිණී හා ඇලෙක්ස් අතර සටන් ජවනිකා ද ඇත. ගාමිණී ද පරාද වන්නට අකමැතිය. සටන් ජවනිකාවල දී ගාමිණී, ඇලෙක්ස් හා ඇත්තටම සටන් කරන්න ගිය හොත් එය විශාල ගැටලුවක් විය හැකිය. එවැනි සිදුවීම් කලින් ද සිදු වු අවස්ථා තිබේ. මේ නිසා චිත්‍රපටය දෙවැනි වරටත් නවතා දැමිණ. මේ වාහන හුටපටය නිසා ඇලෙක්ස්ට චිත්‍රපටය නැති විය. 


“මම දැන ගත්තා මේක ඉදිරියට විශාල ප්‍රශ්නයක් වෙයි කියලා. අඩි 3000 ක් ෂූට් කළා කියන්නේ විශාල වියදමක්. නිෂ්පාදන පැත්තෙන් බැලුවොත් ඒ කාලේ හැටියට ලොකු පාඩුවක්. ඒත් වෙන විදියෙ තීරණයක් ගන්න හැකියාවක් තිබුණේ නෑ” සෝමපාල කියයි.   


එතැන් පටන් ඇලෙක්ස් බොහෝ පුවත්පත් විශේෂාංගවල දී අකමැති නළුවා, අකමැති පුද්ගලයා ගාමිණී ෆොන්සේකා ලෙස එළි පිටම ප්‍රකාශ කළේය. 

 
දෙවනි වරට ද නැවතුණු චිත්‍රපටයට අලුත් දුෂ්ටයකු සොයා ගත යුතු විය.   


“මේ කාලයේ මර්වින් ජයතුංග නිතර නිතර අපේ ගෙදර එනවා. මර්වින් ඒ දවස්වල ජර්මනියේ නාට්‍ය පාඨමාලාවක් ඉවර කරලා ලංකාවට ආ අලුත. මම මර්වින්ට විස්තරේ කිව්වා. මර්වින් ජර්මනියේ දී ගත්ත පින්තූරයක් මට ගෙනත් පෙන්නුවා. ඒකේ ඔහු හිටියෙ ලොකු ඕවර් කෝට් එකක් ඇඳගෙන. දුෂ්ටයකුගේ පෙනුම නම් හරි. මම ගාමිණී සමග මේ ගැන කතා කළා. ගාමිණී කීවේ රඟපාන්න ගියාම පන්ති තියන්න වෙයිද කියලා. මම කිව්වා නෑ. එහෙම වෙන එකක් නෑ කියලා එතකොටත් මර්වින් පළපුරුදු වේදිකා නළුවෙක්. කොහොම හරි මර්වින් චණ්ඩි පුතා චිත්‍රපටයේ දුෂ්ටයා හැටියට මුල් වතාවට ප්‍රධාන චරිතයකින් සිනමාවට එක් වූයේ එහෙමයි” ඒ සෝමේගේ කතාවය. එහි තවත් කතාවක් තිබේ. මර්වින්ට චණ්ඩි පුතා චිත්‍රපටයේ එම චරිතය රඟපාන්නට අවස්ථාව ලැබුණේ ඇලෙක්ස් ඉවත් වීම නිසා බව දැන සිටියේය. ඔහු ඇලෙක්ස් හමුවන්නට ගොස් ඇත. ඔහු කාරණාව ඇලෙක්ස්ට පැවසීය. ඇලෙක්ස් එයට විරුද්ධ නොවීය.   
මර්වින් පසු කල සිනමා තිරයේ දුෂ්ටයකු ලෙස ප්‍රකට වීමත් සමගම ඇතැම් විට එය ඔහුට පෞද්ගලික ජීවිතයේ අතැම් අමිහිරි සිදුවීම්වලට මුහුණ පාන්නට ද සිදු වූ බව මා සමග කියා තිබේ.   


වරක් ඔහුගේ මිතුරකුගේ නිවසට ගිය විට මිතුරා තම තරුණ දියණියට මර්වින්ව හඳුන්වා දී ඇත. ඇය මර්වින් දුටු විගසම ‘අපෝ‘ කියා ගෙතුළට දිව ගියාය.   
මර්වින් දුෂ්ට චරිත රඟපාන්නේ තිරයට පමණක් බවත් ඔහු කාරුණික ගතිගුණ වලින් පිරි පුද්ගලයකු බව පැවසුවත් අැගේ ප්‍රතිචාරය වෙනස් නොවීය. 


එක් අතෙකින් බලන විට මර්වින් අභීයෝගවලට බය නැති මිනිසෙකි. ඔහුට මුල්ම ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබුණේ ගාමිණී ෆොන්සේකා සමගය. එය සටන් ගැටුම් වලින් පිරි චරිතයකි.   
නවක නළුවකුට ගාමිණී හා සම්බන්ධ වී වැඩ කිරීම අභියෝගයකි. ගාමිණී හා හැම කෙනෙකුටම ඇසුරක් පැවැත්වීම ද තරමක් අපහසු කාරණයකි. එහෙත් මර්වින් ගාමිණී බොහෝසේ මිතුරු වූහ. කෙටියෙන් කිවහොත් ගාමිණීට මර්වින් අල්ලලා ගියේය. ඒ නිසා ගාමිණීගේ පසු කාලයේ බොහෝ චිත්‍රපටවල මර්වින්ට අවස්ථාව ලැබිණ.   


මර්වින් වේදිකා නාට්‍යය ඔස්සේ පැමිණි නිසාත්, කන්තෝරු ජීවිතයක් ගත කළ නිසාත් බොහෝ සෙයින් පොත පත කියැවුවේය. ඉංග්‍රීසි බසින් වැඩ කිරීමේ හැකියාව ද තිබිණ.   
ඔහු වරක් මා සමග පැවසුවේ සිනමා “නළුවකු වූ විට කාර්මික අංශය ගැනත් දැන ගත යුතු බවයි.”   
“මම වැඩියෙන්ම උනන්දුවක් දක්වන්නේ චිත්‍රපට කාර්මික ශිල්පිය පිළිබඳවයි. මම ඒ ගැන තියෙන දැනුම මදි යයි සිතෙනවා. මේ නිසා ඒ පිළිබඳ ලියැවුණු ඉංග්‍රීසි පොත් පත් සඟරා ආදිය මම නිතරම කියවනවා” මර්වින් දිනෙක මා සමග කීවේය.   


ඔහු බොහෝ ජනප්‍රිය නළුවකු වූ පසුව ද නාරාහේන්පිට, මිනින්දෝරු කාර්යාලය ඇරි බස් රථයක යන්නට අදි මදි නොකළේය. එහිදී බොහෝ විටෙක චිත්‍රපට රඟපෑම නිසා කිසියම් අපහසුතාවලට ලක් වූ අවස්ථා මා දැක තිබේ. පසුකළ ඔහු මෝටර් බයිසිකලයක් මිලදී ගත්තේය. ඒ ඔහු චිත්‍රපට සඳහා කාර්ය බහුල වීමත් සමගය.   
චණ්ඩි පුතා චිත්‍රපටයේ දුෂ්ටයා ලෙස මර්වින් රඟපෑම සෝමෙගේ සිත් ගත්ත ද එහි දෙබස් පටිගත කිරීමේ දී ඒ හඬ ඔහුට හරි නොගියේය. මුල් දිනයේම සෝමේ මර්වින්ගේ දෙබස් පටිගත කිරීම නවතා දැමුවේය.   
ඉන් පසුව ඔහු කළේ මර්වින් වෙනුවෙන් බණ්ඩාර කේ. විජේතුංග මර්වින්ට හඬ කැවීම සඳහා යොදා ගැනීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ වෑයම සාර්ථක නොවීය. එකල බණ්ඩාරගේ අපූරු කට හඬින් ලංකාවේ තිරගත වූ අභීමාන් ගීත් ආදී චිත්‍රපටවලට විශාල ප්‍රසිද්ධියක් ලැබුණේය. බණ්ඩාර එයට යොදා ගැනීමට නොහැකි වූයේ ඒ නිසාය.   


කෙලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගිය සෝමෙට හදිසියේම මුණ ගැසුණේ හඩ්සන් සමරසිංහ (වර්තමානයේ ගුවන් විදුලි සභාපති) ය. ඔහු හඩ්සන්ට විස්තරය කීවේය. “මම කලින් නම් චිත්‍රපටවලට ඩබ් කරලා නෑ. හැබැයි රේඩියෝ එකේ නම් නාට්‍ය කරලා තියෙනවා, අපි බලමු.” වැඩේට හඩ්සන් හරියටම හරි ගියේය. චණ්ඩි පුතා. චිත්‍රපටයේ මර්වින් වෙනුවෙන් හඬ කැවුයේ හඩ්සන් සමරසිංහය. සෝමේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කීපයක මර්වින් රඟපෑව ද එහි දෙබස් සඳහා යෙද වූයේ වෙනත් කටහඬකි.   
එහෙත් මර්වින් අභියෝගය අත් නොහැරියේය. පසුව මර්වින්ට ලැබුණු චිත්‍රපටවලට දෙබස් පටිගත කළේ ඔහුගේම කටහඬිනි. ඔහු එය ක්‍රමයෙන් හදා ගත්තේය. 

 
චිත්‍රපට තුන හතරක හැරුණු විට මර්වින් ඔහු රඟ පෑ හැම චිත්‍රපටයකම දෙබස් පටිගත කළේ (ඩබින්) ඔහුමය.   


මර්වින් රංගන වෘත්තියට බොහෝ සේ ආදරය කළේය. ඔහු කරදරකාරී නළුවකු නොවීය. රැකියාවේ යෙදෙමින්ම බොහෝ කාලයක් ඔහු රඟපෑමේ යෙදුණේය. දුෂ්ටයා වුව ද ඔහු උත්සාහ කළේ සාර්ථක චරිත නිරූපණයක් ඉදිරිපත් කිරීමටය.   
දුෂ්ටයාගේ චරිතයටම පමණක් මැදි නොවු ඔහු විවිධ චරිත ඔස්සේ සිනමා තිරයට පැමිණියේය. හැඩි දැඩි රළු පෙනුමැති පුද්ගලයකු වුවත් ඔහු ඉතා සංවේ දී පුද්ගලයකු වූයේය.   
ඔහු බොහෝ විට කීවේ දුෂ්ට චරිත රඟ පෑ බොහෝ නළුවන් සැබෑ ජීවිතයේ අහිංක චරිත බවය.  
මර්වින් සිනමාවට ආවේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් සුප්‍රකට නළුවාගේ ඉවත්වීම නිසා වුවද පසු කළ අපූරු සිදුවීමක් වූයේය.   


ඒ දෙදෙනාම අමුතුම චරිතයකින් එකට රඟපෑමය. ඒ ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ ‘පස මිතුරෝ’ චිත්‍රපටය විය.   
ගාමිණී, ඇලෙක්ස් සමග ඇති වූ මේ ගැටුම් නිසා ඔවුන් දෙදෙනා නම් එකම චිත්‍රපටයක දැක ගැනීමට නොහැකි විය.   
ඇලෙක්ස්ගේ සහ හා මර්වින්ගේ රංගන ශෛලීන් දෙකකි.   
පස මිතුරෝ රූගත කළේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේය. එය ජාති භේදය ගැන කතා කළ කලාත්මක මුහුණුවරක් ගත් චිත්‍රපටයකි.   


සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වු ‘ද ඩෙෆයන්ට් වන්’ ඇසුරෙන් ලියැවුණු මෙහි ඇලෙක්සැන්ඩර් දෙමළ සිරකරුවකුගේ චරිතය රඟ පෑ අතර මර්වින් රඟපෑවේ සිංහල සිරකරුවකුගේ චරිතයයි.   
සිංහල, දෙමළ වර්ගවාදී වෛරයකින් පෙළුණු මේ සිරකරුවන් දෙදෙනා එකට මාංචු දමා දුම්රියෙන් ගෙන යන අතර අතර මඟ දී ඉන් පැන ගනිති. දෙදෙනා එකිනෙකාට වෛරයකින් පෙළුණ ද දෙදෙනාටම එකිනෙකාගේ ආධාරය නැතිව කිසිඳු කාර්යයක නියැළිය නොහැකිය.   
එය ජාති​භේදය පිළිබඳව අපුරු කතාවකි. දින ගණනාවක් පුරා ඇලෙක්ස් හා මර්වින් දැඩි උෂ්ණත්වයෙන් පිරි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මැද සහයෝගයෙන් තම චරිත නිරූපණයේ යෙදුණහ. දෙදෙනාම නැවතී සිටියේ එකම ස්ථානයකය.   


එහි තවත් විශේෂත්වයක් වන්නේ ‘පස මිතුරෝ’ චිත්‍රපටයේ ඔවුන් දෙදෙනා රඟ පෑ චරිත නිරූපණය වෙනුවෙන් 1983 දී ජනාධිපති සම්මාන උළෙලේ දී අගැයීමට ලක් වීමය.   
මර්වින්ගේ මරණය ඉතා හදිසියේ සිදු වුවක් විය. 1940 මාර්තු 9 වැනිදා උපන් මර්වින් මෙලොව අත හැර යන විට අවුරුදු 53 කි. ඒ 1993 නොවැම්බර් පළමු වැනිදාය.   


ඒ වන විට ශ්‍රී ලාංකික වේදිකාවේ මනමේ, ඒකාධිපති, දිරිය මට ආදි සුප්‍රකට නාට්‍ය ගණනාවක මර්වින් රඟපා තිබු අතර ඔහු රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 200 ක් පමණ විය. රූපගත කිරීමක් අතරතුර දී හදිසියේ වැළඳුණු හෘදයාබාධයකින් මර්වින් අප අතරින් වෙන් වූයේ කිසිවකු නොසිතු නොපැතු ආකාරයකිනි. ඒ දැනට වසර ගණනකට පෙරදීය. ඇලෙක්ස් අප අතරින් වෙන්වුයේ පසුගිය වසරේ (2020) අප්‍රියෙල් 20 වැනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු 80 කි. එහෙත් ඇලෙක්ස් මර්වින් තවමත් රසික හදවත්වල ජීවත් වෙති.  

 

 

​රොඩ්නි විදානපතිරණ