ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව


හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?

දැන්නම් මම ‘ෂීටා’ (Sheetah)

චීටා නෙවෙයිද?

චීටා තමයි ෂීටා වුණේ.

ඇයි එහෙම වුණේ?

හර්ෂි රසාංගා කියන්නෙ රඟපෑව කෙනා. අවුරුදු 12ක් විතර රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඉන්පසුව රඟපෑමෙන් අයින්වෙලා සිංදු කියන්න පටන් ගත්තා. ෂීටා වුණේ එහෙමයි.

‘එදා’ රංගනයට ආ හැටි මතක අවදි කරමු?

මගේ ආරම්භය නම් ටී.වී. දැන්වීම්. එතකොට අවුරුදු 8යි. මගේ පළමු ටෙලි ඩ්‍රාමා එක සිරස සුජාතා. ඒකෙ රඟපාද්දි වයස අවුරුදු 11යි. ඉන්පසුව දිගටම වගේ වසර 12ක් විතර රංගනයට දායක වුණා. 2023 දි තමයි රංගනය – ගායනයට හුවමාරු වුණේ. එතැන් සිට දැන් කටයුතු කරන්නෙ ගායන ශිල්පිනියක විදිහටයි. ඒ තමයි ’ෂීටා’.

‘ෂීටා’ ලෙස ඔබගෙ නම විතරක් නෙවෙයි, බාහිරව විලාසිතා පවා වෙනස් කරගෙන, ටැටු හෙවත් පච්චා සිරුරේ ප්‍රදර්ශනය වෙනවා. ඇයි මේ වෙනස?

අපේ අක්කි තමයි මුලින්ම ටැටු එකක් කරලා තිබුණෙ. ඉතින් මට ඒක දැක්කාම ආසාවක් ඇති වුණා. ඒ කාලයේ කරන්න බැරි වුණේ රඟපාද්දි චරිතවලට අනුව ‘ටැටු’ ගහන්න බැරි නිසයි. ඒ චරිතයේ රූපය වෙනුවෙන් කැපවෙන්න වෙනවනෙ. ඒ නිසා රංගනයෙන් ඉවත් වූ පසුව තමයි ‘ටැටු’ කලාවට හිත ගියේ. හැබැයි, මම මේ විදිහට සිරුරේ යොදාගෙන ඇති ටැටු නිර්මාණවලින් කියැවෙන්නෙ මගේ ජීවිතයට පොඩි හෝ සම්බන්ධයක් ඇති දෙයක් ගැනයි.

දැනට ටැටු කීයක් විතර තියෙනවද?

25ක් විතර.

මේ නිසා සිරුරට හානියක් නැද්ද?

හැම දෙයක්ම කලාවක්නෙ. ඉතින් වෘත්තීමය වශයෙන් මේ කලාව හදාරා ඇති කෙනෙකුගෙන් කළොත් හොඳයි. මට හමුවුණේ ඒ වගේ වෘත්තීමය දැනුම ඇති කෙනෙක්.

දැන් මේ විදිහට සිරුරේ කොටාගෙන ඇති ටැටු හෙවත් පච්චා, මකා දමන්න බැරිද?

‘ලේසර්’ ක්‍රමයකින් කරන්න පුළුවනි. බොහෝ රටවල ඒ ක්‍රමය අනුගමනය කරනවා.

අද එතකොට රඟපාන්නෙම නැද්ද?

නැහැ කියලා කියන්නත් බැහැ. මොකද මම මගේ මියුසික් වීඩියෝවල රඟපානවා. ලස්සන හොඳ මගේ රූපයට ගැළපෙන චරිතයක්. ලැබුණොත් බාර ගන්නවා.

‘ෂීටා’ නමින් මියුසික් වීඩියෝ කීයක් දැනට කරලා තියෙනවද?

‘සම්මත බින්දා’ නමින් මියුසික් වීඩියෝවක් කළා. අනුරාධ සිගේරා කළ රචනයට සංගීතය නිර්මාණය කළේ ‘ලා සිඤ්ඤෝ’ (ලහිරු පෙරේරා). 2023 දි ඒ ගීතය නිර්මාණය කළේ.

රංගනයෙන් - ගායනයට පැමිණීම ගැන අද දැනෙන්නෙ කොහොමද?

පොඩි කාලයේ ඉඳලම රංගනයට දායකත්වය ලබා දුන්නෙ දෙවියන් මට දුන් වටිනා අවස්ථාවක් නිසයි. හැබැයි මම ආස කළේ සිංදු කියන්න.

හර්ෂි රසාංගා හෙවත් අද ෂීටා නමින් පෙනී සිටින ඔබගෙ රූපයට තරුණයින් වශීවෙලා නේද?

එයාලගෙන්ම තමයි ඒ ගැන අහන්න ඕනැ.

සමහරු කියන්නෙ ඔබ ලෝ ප්‍රකට පොප් ගායිකා ‘මැඩෝනා’ගේ තරුණ කාලයේ රූපයට සමානයි කියලයි. කොහොමද ඒ ගැන හැඟෙන්නෙ?

මට ඒ රූපය ලැබුණෙ අම්මිගෙන්. තාත්තා සහ අම්මි සැසඳුවොත් මට ලැබිලා තියෙන්නෙ අම්මිගෙ පාට සහ රූපයයි. හැබැයි මට වඩා ලස්සන අපේ අම්මි.

මතුපිටින් ඔබගෙ ස්වරූපය දිහා බලලා ඔබගෙ චරිතය ගැන මිනිස්සු විදිහට බලනවා ඇති? ඒත් ඔබ ගැන හරියටම දන්නෙ ඔබනෙ? කොහොමද ඔබට – ඔබව දැනෙන විදිහ?

‘හර්ෂි රසාංගා සහ ෂීටා’ යන දෙදෙනාගේම ගති ලක්ෂණ එකම විදිහක්. මම ඉතාම සංවේදි චරිතයක්. ඉක්මනට දුක්වෙන, ඒ වගේම සතුටින් සිටින කෙනෙක්. හැමෝම එක්ක සතුටින් ඉන්න කැමති ‘දුක’ කියන දේට අකමැතිම කෙනෙක්. දුක – තරහා නැතුව සතුටින් ඉන්න කැමති කෙනෙක්. සැබෑ ජීවිතයේදි මම දඟකාර ගෙදරදි විතරයි. පිටතට ගියාම මගේ පාඩුවෙ සිටින කෙනෙක්.

‘ෂීටා’ගෙ ලස්සන රූපය කණ්ණාඩියෙන් බලද්දි හැඟෙන්නෙ මොන වගේ දෙයක්ද? ඒ ලස්සන ගැන හැඟෙන විදිහ?

මේ මෑතක් වෙනකල් මම මගේ බාහිර ලස්සන දුටුවා. හැබැයි උද්දාමයට පත්වෙන තරමේ ලස්සනක් ගැන නෙවෙයි. ‘ලා සිඤ්ඤෝ’ (ලහිරු පෙරේරා) අයියා හමු වූ පසු ජීවිතයේ ඇතුළාන්තය ගැන අලුත් වැටහීමක් මට ඇතිවුණා. ඒ අනුව තමුන් ලස්සන වෙන්නම ඕනැ. බාහිර සමාජයට වඩා තමුන්ටයි. තමන්ට – තමන් ලස්සන වෙන්න ඕනැ. අද මගේ ලස්සන ගැන මට තියෙන්නෙ නිහතමානි ආඩම්බරයක්.

මතුපිටින් පෙනෙන ලස්සනට එහා ගිය ඔබ ඇතුළාන්තයෙන් කවුද?

ප්‍රශ්න අඩුවෙන් ජීවත් වෙන්න කැමති සංවේදී වගේම සතුටින් ජීවත් වෙන්න ආස කෙනෙක්.

ආදරයේදි?

පවුලෙන් ලැබෙන ආදරය, මගේ යාළුවන්ගෙන් ලැබෙන ආදරය වගේම රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය ගත්තොත් ඒවා එකිනෙකට විවිධාකාරයි. ඒ සැම ආදරයකටම මම ආදරෙයි. මම කරන දේ කරන්නෙම ආදරයෙන්.

ජීවිතය මොකක්ද කියලා ඇහුවොත්?

‘It is what It is’ තමයි.

සඳුන් ගමගේ