කඩවසම් රූපයෙන් මෙන්ම මනා හඬ පෞරුෂයෙන් ද ප්‍රේක්ෂක හදවත් දිනා ඇති ඔහු විටෙක, තිරය ඉදිරියේ විවිධ චරිතවලට පණ පෙවීමට දස්කම් දක්වන රංගන ශිල්පියෙකි. තවත් විටෙක ඔහු දක්ෂ නිවේදකයෙකි. මේ දිනවල ඔහු අප සැම සිනා සාගරයේ ගිල්වන හවුස් ෆුල් චිත්‍රපටයේ සුමිත්. එහෙම නැත්තම් පෙට්ටි කඩේ සුම්මා. හැබැයි සැබෑ ජීවිතයේ ඔහු නමින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. ඉතින් මෙවර සඳැල්ල කතාබහ ඔහු සමඟ.
ප්‍ර මුලින්ම කියන්නකො මේ දවස්වල හවුස් ෆුල් වෙලා තියෙන " හවුස් ෆුල්" චිත්‍රපටිය ගැන?
ඔව් මේ දවස්වල House Full චිත්‍රපටය තිරගත වෙනවා. චිත්‍රපටිය ලාල් ප්‍රියදේව මහතාගෙ අධ්‍යක්ෂණයක්. මොහාන් පෙරේරා මහතාගේ නිෂ්පාදනයක්. සම නිෂ්පාදනය සුනිල් ටී. ප්‍රනාන්දු සහ ගිහානි වීරසිංහගේ. මේක ඇත්තටම සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ 75 වන චිත්‍රපටිය. මේ කොමඩි චිත්‍රපටියක්. කොමඩි කිව්වහම පවුලෙ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටියක්. මොකද සමහර කොමඩි කිව්වත් හැමෝටම එකතුවෙලා බලන්න බැරි චිත්‍රපටිත් තියෙනවනේ. හැබැයි හවුස් ෆුල් චිත්‍රපටිය එහෙම නැහැ. ගෙදර පොඩි අයත් එක්ක, වැඩිහිටියෝත් එක්ක ඕන කෙනෙක්ට බලලා හිනාවෙලා සැහැල්ලු වෙන්න පුළුවන් චිත්‍රපටියක්.
ප්‍ර චිත්‍රපටියේ ඔබේ චරිතය ගැනත් කියමු.
මට තියෙන්නේ සුමිත්ගේ චරිතේ. ගොඩක් අය කියන විදිහට පෙට්ටි කඩේ සුම්මා තමයි මම. සුම්මා කියන්නේ ඇත්තටම ඇල්ල ප්‍රදේශයේ පෙට්ටි කඩයක් කරගෙන ඉන්න බොහොම නිර්භීත, හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න හදන කෙනෙක්. ඒවගේම ඔහු අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙනී ඉන්නවා. චිත්‍රපටිය ඇතුළේ සමහරු උත්සාහ කරනවා ඔහුගේ කනෙන් රිංගන්න, ඔහුව කඩේ අරින්න. හැබැයි ඒක කරන්න අමාරුයි. මොකද එයාව කඩේ අරින්න හදන ගොඩක් අය එයාලා දන්නෙත් නැතුව සුම්මා හරි ලස්සනට කඩේ යවනවා. ඉතින් සුම්මාගේ පෙට්ටි කඩේ තියෙන තැන පොඩි හෝටලයක් දානවා. හෝටලේ හිමිකරු විදිහට ඉන්නේ ජීවන් කුමාරතුංග මහත්මයා. ඔහුගේ චරිතය ධනවංශ මුදලාලි. ඔහු සුම්මව එළවන්න උත්සාහ කරනවා. මේ මුදලාලිට ලස්සන දුවෙක් ඉන්නවා. මුදලාලිගේ දුව සහ සුම්මා අතර ප්‍රේම සම්බන්ධතාවකුත් ගොඩ නැගෙන්න හදනවා. ඒකත් එක්ක තමයි මේ චිත්‍රපටය ලස්සනට ඉදිරියට ගලා ගෙන යන්නේ.
ප්‍ර මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නේ?
හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. තවම මේ පළවෙනි සතිය චිත්‍රපටිය තිරගත වෙන්න පටන් අරන්. ඒත් ගොඩක් හොඳ, ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. සෑහෙන පිරිසක් චිත්‍රපටිය බලල තියෙනවා. ඉතින් සතුටින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා චිත්‍රපටිය සාර්ථක වෙයි කියලා.
ප්‍ර හවුස් ෆුල් චිත්‍රපටයේ ඔබ විකට චරිතයක් කරද්දි රාග ටෙලි නාට්‍යය ඔබට තියෙන්නේ නපුරු චරිතයක් නේද?
ඔව්, රාග ටෙලි නාට්‍යයේ රොයල්ගේ චරිතය සම්පූර්ණයෙන්ම සුම්මාට හාත්පසින්ම වෙනස්. අපි ගත්තොත් සුම්මා කියන චරිතය එයා බොහොම අහිංසක අසාධාරණයට විරුද්ධව නැගී සිටින කවුරුත් රවට්ටන්න නැති හෘද සාක්ෂියට එකඟව ජීවත්වෙන බොහොම හොඳ මනුස්සයෙක්. නමුත් රාග ටෙලි නාට්‍යයේ ඉන්න රොයල් කියන්නේ හැම වෙලේ අනිත් මිනිස්සුන්ව රවට්ටන, ඕනෙම දෙයක් තමන්ගෙ වාසියට හරව ගන්න අවස්ථාවාදියෙක්. අපිට වර්තමානයේ සමාජය දකින්න පුළුවන් චරිතයක් තමයි රොයල් කියන්නේ. ඒ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ.
ප්‍ර මේ විදිහට විවිධ චරිතවලට රංගනයෙන් දායක වීම ඔබට අභියෝගයක් විදිහට දැනෙනවද?
ඇත්තටම ඒක අභියෝගයක්. නමුත් මම හිතන්නේ චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට මට ඒක ලැබෙන ලොකු අවස්ථාවක්. ඉතින් මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒවගේම මට හරි සතුටුයි විවිධ වූ චරිත කරන්න ලැබෙන එක ගැන. මොකද ඒකාකාරී චරිත කරන්න ලැබෙනවට වඩා විවිධ වූ චරිත කරන්න ලැබෙන එක මගේ රංගන කාර්යයට ගොඩක් හොඳයි. එය මගේ රංගනය තව තවත් දියුණු කරගන්න මට උපකාරී වෙනවා. මට සිද්ධ වෙනවා ඒ චරිත ගැන හොයන්න, ඒ චරිත කොහොමද කරන්න ඕනේ කියන එක අධ්‍යයනය කරන්න. ඉතින් මං හිතනවා ඒක මගේ රංගන ජීවිතයට ගොඩක් වටිනවා කියලා. ඒ විතරක් නෙවෙයි මට විවිධ වූ චරිත ලබා දෙන අධ්‍යක්ෂකවරුන්, තිර පිටවත් රචකයන් ඒ සියලුම දෙනාටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඉසුරුව වේදිකාව තුළත් දැකගන්න ලැබෙනවා.
ඔව්, මම ආපු කාලෙ ඉඳලම වේදිකාව තුළ වැඩ කළා. යෞවන සම්මාන උළෙල, රාජ්‍ය සම්මාන උළෙල එහෙම නියෝජනය කරන. මේ වෙද්දි මිහිර සිරිතිලක මහතාගේ වේදිකා නාට්‍යයත් එක්ක සති අන්තයේදී රංගනයේ යෙදෙනවා. දැනට වැඩ කරන්නෙ කෝ කුක්කෝ වේදිකා නාට්‍යයේ තමයි.
ප්‍ර මේ දවස්වල වැඩ කටයුතු මොනවද?
මේ දවස්වල ගොඩක්ම හවුස් ෆුල් චිත්‍රපටියත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. ඒකේ ප්‍රමෝෂන් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව මෙගා ස්ටාර් සීසන් 4වල නිවේදන වැඩ කටයුතු කරනවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ මහතාගේ සූරිය සුළඟ චිත්‍රපටිය එන්න තියෙනවා සැප්තැම්බර්වලදී. ඒ වගේම කපිල සූරියආරච්චි මහත්මයාගේ (Born of Fire) අග්නි චිත්‍රපටයේ රූගත කිරීම් කරලා අවසන්. මේ දවස්වල ඒකේ හඬ කැවීම් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම මේ දවස්වල විකාශය වෙනවා වත්සුණු ටෙලි නාට්‍ය සහ රාග කියන ටෙලි නාට්‍ය දෙක.
ප්‍ර රංගනයට අමතරව ඔබ නිවේදකයෙක් ඒ ගැනත් මතක් කළොත්?
ඔව්, නිවේදකයෙක් විදිහට වැඩසටහන් දෙකක් කරනවා. එකක් මෙගා ස්ටාර් සීසන් 4. ඊට අමතරව හිරු නාළිකාවේ හවුස්ෆුල් වැඩසටහනේදිත් නිවේදනයෙන් සහභාගී වෙනවා. ඒ දෙකත් එක්ක තමයි මේ දවස්වල නිවේදනය කරන්නේ. නිවේදන වෘත්තිය කියන්නෙත් මම ගොඩක් කැමැත්තෙන් සහ ආසාවෙන් කරන දෙයක්.
ප්‍ර ඉසුරු සිංදුත් කියනවා නේද?
ඔව් කියනවා. හැබැයි අහන් ඉන්න නම් අමාරුයි කට්ටියට. මම ගායකයෙක් නෙමෙයි හැබැයි වැඩසටහනකට ගිහාම රංගන ශිල්පියෙක් විදිහට ගීතයක් ගායනා කරන්න කියලා කිව්වම මම ගායනා කරනවා. නැතුව ගායන ශිල්පියෙක් නෙවෙයි.
ප්‍ර වැඩිපුරම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ ඉසුරුගේ නිවේදනයට ද රංගනයට ද?
රංගනයට
ප්‍ර ආදරේ ගැනත් යමක් කිව්වොත්?
ආදරෙත් එක්ක තමයි ජීවිතේ සුන්දර වෙන්නෙ. මම හිතන්නේ ජීවිතයට ආදරය අවශ්‍යයි. හරි කෙනා ජීවිතේට ආවම ජීවිතේ වුණත් ගොඩක් ලස්සනයි.
ප්‍ර දැන්ම බඳින්න කල්පනාවක් නැද්ද?
බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්දේ බඳින්න. මොකද මම හරි ආසයි පවුල් ජීවිතයකට. බලමු ඉතින්.ඉස්සරහට තව විස්තර කියන්නම්.
ප්‍ර ඉසුරුගේ වැඩකටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරමු.
මම අද කොහේ හරි තැනක ඉන්නවනම් ඒකේ සියලුම ගෞරවය හිමි වෙන්න ඕන මගේ අයියට, අම්මට සහ තාත්තට. මාව විශ්වාස කළාට සහ තාමත් ඒ අය මාව විශ්වාස කරලා මට උදව් කරනවා. ඉතින් ඒගොල්ලන්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවමත් ඒ ගොල්ලෝ මගේ පස්සෙන් ඉන්නවා. ඒක මට ලොකු හයියක්. ඉතින් ඒ අයව බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා.
කෞශල්‍යා ලක්ෂානි