අවුරුදු කාලයේදී තෙල් කෑම නේද වැඩිපුර කන්නෙ?


තෙල් කෑම හරි විදිහට කාලා ඇඟ අඩු කර ගන්නෙ මෙහෙමයි

අවුරුදු කාලයේදී තෙල් සහිත කෑම වර්ග නිතරම වගේ කෑමට සිදුවෙනවා. හැබැයි හිතෙන හිතෙන විදිහට නොකා, පාලනයකින් කෑම කෑවොත් වඩා හොඳ යැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. කොයි හැටි වෙතත් අවුරුදු කාලයේදී කෑම වර්ග පාලනය කිරීම අසීරු දෙයක්. ඒ නිසා රස කැවිලි සහ තෙල් සහිත ආහාර ගැනීමේදී කොයි විදිහට කෑවොත් හොඳ ද? අවුරුද්ද රිසිසේ සමරන්න ඔබට ඇරයුම් කරමින් මේ සූදානම් වෙන්නෙ,  තෙල් සහිත කෑම නිවැරදි පිළිවෙතකට ගත යුතු විදිහ සහ වැඩිපුර තෙල් සහිත කෑම ගැනීම නිසා ඇතිවන ස්ඵුලබව හෙවත්, බර වැඩිවීම සිදු වූනාම ඇඟ අඩු කර ගන්න ඊළඟට කළ යුතු දේ ගැන සඳහනක් කිරීමටයි. මේ ගැන විස්තර කිරීමට අපිත් එක්ක එකතු වෙන්නෙ, කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ උප විධායක සූපවේදීයකු වන යුරේෂ් රාජපක්ෂ යි.

අවුරුදු කාලයේදී වගේම වෙනත් උත්සව කාල වලදී වැඩි පුර කෑමට ගන්නෙ තෙල් සහ සීනි වැඩිපුර ඇති කෑම වර්ග. මිනිස්සු පුරුදුවෙලා ඉන්නෙ ඒ විදිහට.  හැබැයි මේ නිසාම වැඩි දෙනෙක්ට කොලොස්ටරෝල් කියයි, එක්කෝ බ්ලඩ් ප්‍රෙෂර් කියයි, නැත්නම් ඩයබෙටික්ස් කියයි. මේ සියලු දේට මුල් වෙලා තියෙන්නෙ බෑඩ් හැබිට්ස් හෙවත් අයහපත් ආහාර පාන සහ වෙනත් පුරුදු මෙන්ම ඇබ්බැහි වීම් නිසයි. කෑමක් ගනිද්‍දී දැන් මිනිස්සු පුරුද්දකට වගේ කෑමට පුරුදුව සිටින්නෙ, ජන්ක් ෆුඩ්ස්.  

ඒ කියන්නෙ කඩචෝරු කෑම වර්ගවලට. අපේ ජීවිතවලට ඒ වගේ දේ බද්ධ කරගෙන. සමහර අය උදේට ගන්නෙ ෆිෂ් බන් එකක් එක්ක, රෝල් එකක් වගේ කෙටි ආහාරයක්. ඒක ඇත්තටම ආහාරයක් කියන්නත් බැහැ.  ඉස්සර එහෙම නෙවෙයි. අපේ අවුරුද්ද කියන්නෙම බොහොම නිවැරදි ආහාර පාන රටාවක්, ජීවන රටාවක් එක්ක බැඳී ආ දෙයක්. ඉස්සර අපේ සීයලා ආච්චිලාගෙ පරම්පරාව සහ ඉන්පසුව අපේ අම්මා තාත්තාගේ පරම්පරාව දක්වා යම්තාක් විදිහකට ඒ යහපත් ජීවන රටාව පැවතගෙන ආවා. හැබැයි දැන් ඒ සියල්ල වෙනස්වීම නිසා තමයි, බොහෝ දෙනෙක් ලෙඩ ගොඩකට මුහුණ දීලා ඉන්නෙ. 

අපේ ආච්චිලා සීයලාගේ කාලයේදී වැඩි පුර ගත්තේ කෙඳි සහිත ආහාර, රසායනික දේ නොයොදා ඵලදාව ගත් දේ සහිත ආහාර සහ ගමේ ගෙවත්තෙ ඉඩ තියෙන විදිහට වවාගත්ත පලතුරු වර්ගයි. ඒවා සියල්ලම ස්වභාවික දේ මිසක් ස්වභාවිකත්වයට පටහැනි දේවල් නෙවෙයි. ස්වභාවික සම්පත් වලින් නෙලා ගත් ක්‍රමවේදයෙන් බැහැර වීම තමයි  මුලින් කී ලෙඩ රෝගවලට හේතුව. ඒ මදිවට මේ වගේ කාල වලදී තව තවත් තෙල් සහ සීනී කෑම වර්ග කෑවාම වෙන්නෙ අර ලෙඩ දෙගුණ වෙන එකයි.

දැන් ඉතින් මේ අයහපත් ආහාර පාන රටාවෙන් සහ ක්‍රමවේදයන්ගෙන් මිදෙන්නට නම්, අපි අපට පාලනයක් වාරණයක් දා ගැනීම කළ යුතුම වෙනවා. පාටියකට උත්සවයකට ගියත්, තියෙන සෑම දෙයක්ම කෑමට ගැනීමට වඩා, තමන්ට වඩාත්ම හිතකර දේ විතරක් ගැනීම කළොත් තමයි හොඳ. බැලන්ස් ඩයට් එකක් ගැනීම නිතරම සුදුසුයි. පාටියෙ තියෙන ඔක්කෝම කෑම වෙනුවට, එහි ඇති තමාට වඩා හිතකර වර්ග තෝරා ගත්තොත්, පසුවටත් හොඳ තමාටමයි. හරි අපි තෙල් සහිත ආහාර වැඩිපුර කෑවාය කියලා හිතමු, ඒ වගේ අවස්ථාවලදී නිතරම උණු වතුර බීමට පුරුදු වුණොත්, ඔන්න හොඳ ඵල නෙළා ගන්න පුළුවනි.

ඉස්සර අපේ සීයලා-ආච්චිලා  තෙල් කෑවාම අනුගමනය කළේ ඒ විදිහයි. අපි කෑ කෑම වල ඇති ෆැට් ඔයිල් එක ඒ නිසා ශරීරයට උරා ගැනීම ඉතා අවම වන බව එයාලා විශ්වාස කළා. ඒක ඇත්තටම හරි. දැන් පොඩි ළමයින්ට පවා වැඩිහිටියන්  කෑම කෑ විගස දෙන්නේ කූල් වෝටර්. ඉතින් කොහොමද ෆැට් නැතිවෙන්නෙ. මේදය සහිත කෑම කෑ විගස සීතල වතුර හොඳම නැහැ. හැබැයි මේ කාලයේදී හැකි තරම් වතුර බීම කළ යුතුම වෙනවා. . එතකොට තමයි සිරුරෙන් අනවශ්‍ය ද්‍රව්‍ය පිටවෙන්නෙ.

මේ කාලයේදී පුළුවන් තරම් ඇක්ටිව් වෙන්න ඕනෑ. අවුරුදු කාලයේදී බොහෝ ක්‍රීඩා පැවැත්වෙන්නෙ, සතුට විනෝදය විතරක් වෙනුවෙන්ම නෙවෙයි. අපේ අලුත් අවුරුදු සමය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. ඒ කාලයේදී අපි වැඩිපුර තෙල් බැදුම් කෑම වර්ග කනවා. එතකොට ඒවා සිරුරෙන් දහනය වෙන්න ඕනෑ නිසා තමයි ඒ කාලයේ ඉඳලම අවුරුදු ක්‍රීඩා පැවැත්වෙන්නෙ. බලන්න අපේ මුතුන් මිත්තන්  ඒ ගැන කොච්චර හොඳට හිතලා තියෙනවද කියලා? මම කියන්නෙ අපිට අාපහු අතීතයට යන්න කියන දේ නෙවෙයි. අපේ සංස්කෘතිය මහා පුදුම දෙයක් වෙන්නෙ එකකට එකක් සමබර විදිහට බැඳී ඇති දෙයක් වීම නිසයි. තෙල් කෑම – රස කැවිලි කෑම සිදුවෙන අතර, ඒවා සිරුරේ තැන්පත් නොවෙන්න කඹ ඇදීම, ගම හරහා දිවීම, කොට්ටා පොර, බයිසිකල් පැදීම, ඒ වගේ කොච්චර නම් ක්‍රීඩා තියෙනවද,  අපේ අවුරුද්ද කියන්නෙම අරුතක් ඇතිව පවතින දෙයක්.

මේ අවුරුදු කාලයේදී බැදුම් ආහාරවලට වඩා හැකි තරම් ස්ටීම් කළ  ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් ඇඟට එන මේද ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම පවුලේ අසනීප තියෙන බව දන්නවා නම්, ඒ ගැන සැලිකිලිමත්ව ආහාර ගැනීම තම තමුන්ගෙ වගකීමක්. තෙල් සහ බැදුම් කෑම කටට රස බව ඇත්ත, ඒත්  මේ දිනවල ක්‍රියාශීලී නොවනවා නම් ඒවා කෑමෙන් වළකින්න. පසුව ව්‍යායාම් කරන්න පුළුවන් කියන මතයට එන්න එපා. කොලෙස්ට්‍රෝල් සහ දියවැඩියාව ඇති අන සහ ඒ සීමාවේ සිටින අයට නම් ඉතින් තමුන්ගෙ කට පාලනය කර ගන්නම වෙනවා.

ඒ වගේම තමයි ප්‍රෙෂර් ඇති අයට මේ උෂ්ණාධික කාලයේදී කෑමෙන් පරිස්සම් වෙන්නම වෙනවා. අඩු තරමින් මේ දිනවල ජන්ක් ෆුඩ් හෙවත්, කඩචෝරු නොකා, ඉඳීම නම් ඉතා හොඳයි.

සඳුන් ගමගේ