අවුරුදු හැත්තෑවක් පරණ කාර් එකක රවුමක් යමු


Motor Show  මෝටර්-ෂෝ 

 ඔස්ටින් A 30  

 

  •  මුලින්ම ආ ඔස්ටින් එකට කීවේ  ගිරාහොට මොඩල් කියලා   

 

මීට අවුරුදු හැත්තෑ තුනකට පෙර එනම් අපේ රටට නිදහස ලැබුණ වසරේ ලෝකයේ මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වූයේ එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල්ය. එංගලන්තයේ මොරිස් සමාගමත්, ඔස්ටින් සමාගමත් ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයෝ වූහ.   


මොරිස් සමාගමේ කුඩා මෝටර් රථයක් ඒ වනවිට ලෝකයට හඳුන්වා දී තිබුණේ මොරිස් මයිනර් නමිනි. එහි කුඩා සහ හුරුබුහුටි බව නිසා එය ජනප්‍රිය විය. ඒ වනවිට එංගලන්තය සිය යටත්විජිත රාජ්‍යවල සිටින එංගලන්ත ආණ්ඩුවේ නිලධාරීන්ගේ පරිහරණයට එංගලන්තයේ නිෂ්පාදිත වාහන නැව්ගත කර තිබුණේ යටත්විජිත රාජ්‍යවල ස්වදේශික ජනතාව පුදුමයට පත්කරවමිනි.   


ලංකාවේ තත්ත්වය ද එසේ විය. එංගලන්තයේ මොරිස් සහ ඔස්ටින් සමාගම් එකිනෙකා පරයා යමින් සිය මෝටර් රථ නිෂ්පාදනය ද තරඟකාරීත්වයකට ගෙනාවේය.   


ඔස්ටින් සමාගමේ මෝටර් රථ සඳහා ඉල්ලුම යම් තරමක් පහළ බැස ගියේය. හේතුව ඔස්ටින් සමාගමේ මෝටර් රථ නිෂ්පාදන අතර කුඩා මෝටර් රථයක් නිපදවා නොතිබූ නිසාය.   


මේ අභියෝගය හමුවේ ඔස්ටින් සමාගම තමන් ද මොරිස් සමාගමේ කුඩා මෝටර් රථය වූ මොරිස් මයිනර් රථයට තරඟ කළ හැකි නිෂ්පාදනයකට පිවිසියේය.   


1951 පමණ වනවිට ඒ උත්සාහය ඉතා සාර්ථක විය. ඔස්ටින් සමාගම A30 නමින් ඉතා කුඩා හුරුබුහුටි මෝටර් රථයක් නිෂ්පාදනය කළේය. 800CC එංජින් ධාරිතාවෙන් යුතු එම මෝටර් රථය ඉතා ඉක්මනින් ජනප්‍රිය වන්නට විය. ඒ වනවිට ශ්‍රීලංකාව යටත්විජිත බවින් මිදී නිදහස ලබා තිබුණ ද නිදහස් ජනරජයක් නොවීය.   
අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණයත් සමග දේශීය ව්‍යපාරික පැළන්තියක් ද බිහි වූ අතර ඔවුන් දේශීය ධනවතුන් විය. ඒ නිසා එංගලන්තයෙන්, ඉතාලියෙන්, ප්‍රංශයෙන් ඒකාලයට සරිලන ආකාරයට සුඛෝපභෝගී වාහනයක් ගෙන්වා ගෙන තේජාන්විත බව පෙන්වීය.   


පසුකාලීනව ජපානය වාහන නිෂ්පාදනයේ දැවැන්තයා වීමත් සමගම බටහිර රටවල නිෂ්පාදිත වාහන, තරග බිමෙන් පසු බෑවේය. එහෙත් සවිශක්තිය, කල්පැවැත්ම, දිරාපත් නොවීම, ඉක්මනින් එංජින් සහ අමතර කොටස් ගෙවී නොයාම යන ගුණාංග නිසා මේ බටහිර වාහන ධනපති පංතිය අතර ජනප්‍රිය විය. ජපන් වාහනයක හිමිකරුවකුට වඩා ඉංග්‍රීසි, ඉතාලි, ප්‍රංශ වාහනයක හිමිකරුවෙකුට සමාජයේ පිළිගැනීම ද ඉහළ විය.   


‘එයාට තියෙන්නේ ඉංග්ලිෂ් වාහනයක්’ යන්න ඒ පිළිගැනීමේ සන්නාමය ද විය. නිදහසින් පසු රටේ දේශීය ව්‍යවසායකයන් මෙන්ම, වැවිලි පරපුරක් බිහිවීමත්, සමගම දේශීය ධනවතුන් පිරිස පාරම්පරික රදළ පවුල්වලට ද වැඩි ඉඩකඩම් ධනය හිමි රටවැසියන් බවට පත්විය. ඒ නිසා මේ ධනවතුන් අතරද ධනවත් බවේ ඉහළ තැනැත්තන් බවට ඔවුන් සන්තකයේ වූ මෝටර් රථයේ වර්ගය අනුව ද සමාජ මිම්මක් ඇති විය.   
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 ජයග්‍රහණයෙන් පසු රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ එතෙක් පැවති සංවෘත ආර්ථික ක්‍රමයෙන් බිහිවූ සීමිත ධනවතුන් ප්‍රමාණය දෙගුණ තෙගුණ කරමින් නව ධනවත් ප්‍රජාවක් බිහිකරවමිනි. නව ව්‍යාපාරික ප්‍රජාව සිය ආර්ථික ධනවත්කමේ සංකේතාත්මක ඉහළ පිළිගැනීමකට ලක් කළේ ජපන් වාහනයක හිමිකරුවෙකු වීමත් සමගය.   


විවෘත ආර්ථිකය පිළිගෙන වෙනස් නොවුණු දේශීය ව්‍යාපාරිකයන්, ධනවතුන් නෂ්ඨාවශේෂ බවට පත් වෙද්දී ඔවුන්ගේ ඉඩකඩම් දේපල ද හීන වන්නට විය. නමුත් ඔවුන් සන්තකයේ තිබුණ පැරණි ඉංග්ලිෂ්, ප්‍රංශ, ඉතාලි, ජර්මන් වාහනය නිසා ගාම්භීර බව රැක ගැනීමට සමත්විය. 

 

  ඔස්ටින් A 30 අබලන්වූ මෝටර් රථයක්

ඔස්ටින් A 30 ඇතුළත


එය ද කෙටි කාලයක් විය. නව ධනපති පංතිය සමග තරග කරන්නට බැරි පාරම්පරික ධනවතුන් වංශය පැත්තක තබා ජීවත්වන්නට තමන්ගේ අභිමානය ගෙනදුන් මෝටර් රථ විකුණන්ට විය. අලුතින් බිහිවූ නව ධනපති පංතිය ඒවා මිලදී ගත්තේ වාහනයේ වුවමනාවට වඩා ඒ වාහනය මිලදී ගැනීමෙන් ලැබුණු අභිමානයත්, යසසත්, කීර්තියත් නිසාය.   


‘අර ..... අප්පෝ...... හාමු..... මුදලාලි.... දැන් හිඟන්නා වෙලා. තිබිච්ච දේපළ විකුණා වාහනෙත් විකුණුවාලු. ඒක අරං තියෙන්නේ අර මැණික් මුදලාලිලු..... සමාගම් කාරයාලු.....’ යැයි කතිකාවතක් ද ගොඩ නැගුණේය.   
අවුරුදු තිහ හතළිහ පැරණි බටහිර වාහන මෙසේ හැත්තෑව දශකයේ අගභාගයේ පෙරළිකාර භූමිකාවක් කළාක් මෙන් වර්තමානයේද එකී පෙරලිකාරබවේ නෂ්ටාවශේෂ ඇත්තේය.   


දශක අටක, හතක්, හයක් පැරණි ඉංග්ලිෂ් වාහන හිමිකරුවන් බවට පත්වන්නට කැමති නව පරපුරක් අද ද ඇත්තේය. ඒ අතර විනෝදයට වාහන තබාගන්නා අය ද, ගෞරවාන්විත බව පෙන්වීමට ප්‍රදර්ශනයට තියන්නට මිලදී ගන්නා අය ද වෙති.   


මහාමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්‍ෂකවරයකු ලෙස කටයුතු කළ කුරුවිට, එරත්න පාරේ පදිංචි චන්‍ද්‍රපාල හෙට්ටිපතිරණ මහතා අද හැත්තෑ දෙවෙනි වියේ පසුවෙයි. එංගලන්තයේ දී එකිනෙකා පරයා යමින් තරග වැදුණු මොරිස් සහ ඔස්ටින් සමාගම් දෙකේ පැරණි නිෂ්පාදන මෝටර් රථ කිහිපයක් අද ඔහුගේ නිවසේ තිබේ.   


‘මගේ ළඟ මොරිස් මයිනර් එකකුයි ඔස්ටින් A30 දෙකකුයි තියනවා. මේවා මම ගත්තේ අලුත්වැඩියා කරලා විකුණන්න. ටිංකර් කරලා, අලුතින් තීන්ත ආලේප කරලා, තියන විදියටම නැවත හදලා තමයි විකුණන්නේ. අලුතින් ම ගෙනාවා වගේ අලුත් කොටස්දාලා හදනවා.’ චන්‍ද්‍රපාල මහතා පැරණි වාහන තියාගන්න හේතුව පැහැදිලි කළේය.   


‘එක පාරටම මේවගේ ක්‍ෂේත්‍රයකට යොමුවෙන්න හේතුවක් තියනවාද?’ මම ඇසුවෙමි.   


‘මම දැන් මෙහෙ හිටියාට මගේ ගම්පළාත මහනුවර, කුණ්ඩසාලේ, පල්ලේකැලේ. මගේ තාත්තා තෝමස් අප්පුහාමි. අපේ තාත්තා 1958දී අලුත්ම අලුත් ඔස්ටින් A30 කාර් එකක් ගත්තා. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. රුපියල් හයසීයට. ඒ බ්‍රෑන්ඩ් නිව් කාර්එක තාත්තා ගෙන්නා ගත්තේ. අපේ පවුලේ මාත් එක්ක පිරිමිම පහක්. මම බාලයා.’   


‘ඒ කාර් එකේ අංකය මට මතක නෑ. ඉංග්‍රිසි අකුරු දෙකයි ඉලක්කම් තුනයි තිබුණේ. එතකොට අපේ තාත්තටයි තව හේමචන්‍ද්‍ර කියලා මහත්තෙකුට කාර් එකක් තිබුණා. ඒක හිල්මන් වර්ගයේ එකක්. හිල්මන් කාර්එක A30ට වඩා ලොකුයි. ඒක හින්දා අපි හේමචන්‍ද්‍ර මහත්තයාට කිව්වේ හිල්මන් හේමචන්‍ද්‍ර මහත්තයා කියලා.’   


‘අපේ තාත්තා කාර්එක ගන්ත කාලේ පෙට්‍රල් ගැලුම රුපියල් දෙකයි. ඔය A30 ඔස්ටින් කාර්එක ගැලුමට හැතැක්ම 12ක් විතර යනවා. රුපියල් සීයක පැට්්‍රල් ගහන්න බෑ. තෙල් ටැංකිය එච්චර ලොකු නෑ. (පස්සේ කාලෙක ඒ කාර් එක විකුණුවා) අපි ලොකු වුණා. විවාහ වුණා. කුරුවිට පදිංචියට ආවා.’ 

 
‘1998 අවුරුද්දේ දවසක නාත්තන්ඩියේ යනකොට, සඳලංකාවේ තැනක අපේ තාත්තා රුපියල් හයසීයට ගත්තු එක වගේ ඔස්ටින් A30ක් තිබෙනවා දැක්කා. වැඩිය පාවිච්චි කරලා නෑ. දුවන මට්ටමේ තිබුණේ. විශ්‍රාම ගිය විදුහල්පතිතුමෙක් ළඟ තිබුණේ. මට ඒකට ආසා හිතුණා. රුපියල් 55000ක් දීලා ඒක අරගෙන ආවා. පදවාගෙන ආවේ. ඉස්සරහට ගියර් 04යි. පිටු පසට ගියර් එකයි. ඒක කලුපාට කාර් එකක්. ටික කාලයක් තියාගෙන ඉඳලා ඒක මම විකුණුවා.’   


‘ඔය විදියට මම පරණ වාහන දොළහක් විතර විකුණලා ඇති. තව තුනක් තියනවා හදලා විකුණන්න. එකක වැඩ දැන් අවසන් වෙන්න ළඟයි. පහුගිය දවස්වල වැඩකරන්න වුණේ හිමින්. වුවමනා බඩු මිලදී ගන්න කඩ ඇරලා තිබුණේ නෑ.’   


‘මේ ඔස්ටින් A 30 කාර් දෙකෙන් එකක් එක ශ්‍රී, අනික දෙක ශ්‍රී. එක ශ්‍රී කාර් එකේ වැඩ ඉවර වෙන්න ළඟයි. මේවායේ එංජින් කොටස්, එහෙම ගෙවෙන්නේ නෑ. පංචිකාවත්තේ හොයාගන්න තියනවා. එක කඩයක් තියනවා ඒකේ බොහෝමයක් අමතර කොටස් විකුණන්න තියනවා. මේවායේ එංජිම සිලින්ඩර් හතර. මොඩල් එක නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ මතක හැටියට 1951. මුලින් ආපු එකට කීවේ ගිරාහොට මොඩල් කියලා. ඉස්සරහ දිගයි. දොර දෙක. වර්ග දෙකේ ම එංජින් එකයි. මේවායේ දුනුත් තියනවා.

ෂොක්ඇබ්සෝබරුත් තියනවා. හැතැක්ම අසූවක උපරිම වේගයක් තියනවා. ඒවුණාට පැයට හැතැක්ම තිහට, හතළිහට වඩා වැඩිය වේගයෙන් යන්න බෑ. ඒකාලේ පාරවල් තිබුණේ නෑ.’   


මුලින්ම ආපු කාර් එකේ පැති කණ්ණාඩි නොතිබුණ බවද චන්‍ද්‍රපාල මහතා පැවසුවේය. එහෙත් දොර හතරේ මොඩල් එකට සිග්නල් ලයිට් එක අසලින් පැති කණ්ණාඩියක් ආ බව ද කීවේය.   


‘පැති කණ්ණාඩි නැති මොඩලයේ පිටුපස බැලුවේ ඇතුළේ ඇති පසුපස බලන කණ්ණාඩියෙන්. ඇතුළේ හතර දෙනෙකුට යන්න පුලුවන්. පිටුපස රෝද දෙකට තමයි බලය දෙන්නේ. ස්පීඩ් මීටරේ ඩෑෂ් බෝඩ් එක මැදින් තිබුණේ. වයිපර් බ්ලේඩ් දෙකක් තියනවා.’ ඔහු පැහැදිලි කළේ ය.   


මේ පරණ වාහන අලුත්වැඩියා කර මිලදී ගන්නා අය අතර විනෝදාංශයට පරණ වාහන එකතු කරන අය, මැණික් ව්‍යාපාරිකයන් ද වන බව චන්‍ද්‍රපාල මහතා හෙළි කළේය.


 ඉතිරි කොටස ලබන සතියට ....   

 

 

අජිත්ලාල් ශාන්තඋදය