සිංහල සිනමාවේ “නිළි රැජින” යන විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මිය යන්නේ නැත. තරු වයස්ගත වන්නේ නැත.
මේ කතාව ඇය ජීවත්ව සිට කාලයේ දීත් ඇයගේ රුව හැඩ කළ එමෙන්ම ඇයගේ අවසන් මොහොතේ දීත් නිළි රැජිනව හැඩ කළ රූපලාවණ්‍ය ශිල්පියා පිළිබඳවයි. ඔහු නමින් ධනුෂ්ක කුමාර්. වෘත්තියෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙකු වගේම ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන ඔහු මාලිනි ෆොන්සේකා මහත්මිය ගේ නිත්‍ය රූපලාවණ්‍ය ශිල්පියා සහ ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළේ වසර 10 ක පමණ කාලයක සිට ය. මාලිනියව සෑම අවස්ථාවකදී ම රැජිනක් ලෙසින්ම හැඩ කරන්නට ඔහු නිතරම ඇය වෙනුවෙන් කැපවී සිටි නිසාම ඇයගේ අවසන් මොහොතත් නිළි රාජිනියක් ලෙසින් සරසන්නට භාර වූයේ ඔහුටම ය.
ප්‍ර නිළි රාජිනියට කළ පළමු හැඩගැන්වීම ධනුෂ්කට මතක ද?
“මම මේ ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 16 න්. මගේ ගුරුවරයා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහයන්. ඒ කාලේ මම හරිම ආසාවෙන් හිටියා ජනප්‍රිය රංගන ශිල්පිනියකව හැඩගැන්වීම් කරන්න. ඒත් මම කවදාවත් හීනෙකින්වත් හිතුවේ නෑ මාලිනී ෆොන්සේකා වගේ නිළි රැජිනකව හැඩගැන්වීම් කරන්න මට අවස්ථාව ලැබේවි කියලා. ක්ෂේත්‍රයට ඇවිත් කාලයක් ගියාට පස්සෙත් ලොකු ආසාවක් තිබුණා එක වතාවක් හරි මාලිනී අක්කාව හැඩගන්වන්න තිබුණා නම් කියලා. ඒ වාසනාව මට ලැබුණ දවස අද වගේ මතකයි. මාලිනී අක්කා මීට අවුරුදු 10 විතර කලින් ඇය මුලින්ම මගේ රූපලාවණ්‍යාගාරයට එන්නේ රූපවාහිනී වැඩසටහනක් සඳහා අවශ්‍ය
රූපලාවණ්‍ය කටයුතු කරගන්න. ඇය මට මුලින්ම මුණ ගැහන්නේ එදා.”
ප්‍ර එදා ඔබ ඇයව කෙහොම ද දුටුවේ?
“කොතරම් වයස ගියත් ඇය දෙව්දුවක් වගේ මම එදත් දැක්කා. මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 20 ක් පමණ වෙනවා.
මාලිනී අක්කාව හැඩගැන්වීම් කරන්න ලැබෙන අවස්ථාව වෙනකොට මම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන්ව ජනප්‍රිය ගායිකාවන්ව කොච්චර හැඩගැන්වීම් කරලා තිබුණත්, එදා මාලිනී අක්කාගේ මූණ අල්ලන්න මට බය හිතුණා. මාලිනී අක්කාගේ මූණට අත තියන කොට එදා මගේ අත ගැහෙන්න ගත්තා. ඇය වගේ දැවැන්ත චරිතයක් මම කවදාවත් හැඩගන්වලා තිබුණේ නැහැ. මං වගේ පොඩි කෙනෙක් කරන හැඩගැන්වීමට ඇය කැමති වෙයිද කියන චකිතය බය හිතේ හරියට තිබුණා. එදා මම ඇයව එදා හැඩ ගැන්වූ ආකාරය ගැන ඇය බොහොම සතුටු වුණා. එතැන් පටන් අපේ මිතුරුකම බොහොම සමීපතව ගලාගෙන ආවා. ඇය නිතරම මට මගේ දෙවැනි අම්මා වුණා. එතනින් පස්සේ ඇයට සහභාගි වෙන්න වුණ සියලුම වැඩ සටහන් ප්‍රසංග විශේෂ අවස්ථාවලට හැඩගැන්වුණේ මගේ අත් දෙකෙන් . මාලිනී අක්කා පිටරට සම්මාන උළෙල වලට යද්දි පවා ඇයගේ රූපලාවණ්‍ය ශිල්පියා ලෙස ඇයව හැඩගැන්වීම් කරන්න ඇය සමග ගියේ මම.”
ප්‍ර මාලිනියව හැඩගැන්වූ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවිණයින් හිටියා. ඒ අතුරින් ඔබ වගේ තරුණයෙකු පිළිබඳව ඇය තැබූ විශ්‍වාසය කොයි වගේද? එක පැත්තකින් ඔබට පැවරෙන්නේ අභියෝගයක්. ඇගේ රූපය ටිකෙන් ටික වයෝවෘද්ධ වෙන කාලෙක තමයි ඔබට ඇයව ලස්සන කරන්න ලැබෙන්නේ?
“ඇත්තටම මාලිනී අක්කා මගේ ළඟට එනකොට ඇයට වයස අවුරුදු 70 කිට්ටු කරලා තිබුණා. හැබැයි මාලිනී අක්කාට වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ඒ වෙනකොට ඇගේ සිනමා ජීවිතේත් වසර 50 ඉක්මවලා තිබුණා. ඒ වසර 50 කාලය ඇතුළත මාලිනී මහත්මියව ගොඩාක් රූපලාවණ්‍ය ශිල්පීන්,ඇඳුම් නිර්මාණ ශිල්පීන් ඇයව හැඩගන්නවලා තියෙනවා.මට වඩා වැඩි කාලයක් ඇය වෙනුවෙන් කැප වෙලා ඇයව ලස්සන කරපු ඇඳුම් නිර්මාණ ශිල්පීන් සහ රූපලාවණ්‍ය ශිල්පි ශිල්පිනියන් හැම කෙනෙක්ම මම ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා. ඒ අයත් ගොඩාක් ආදරයෙන් ගෞරවයෙන් ඇය වෙනුවෙන් කැප වෙලා සේවය කරන්න ඇති. ඒ අයගේ අත්දැකීම් එක්ක මම මාලිනී අක්කා එක්ක වැඩ කරලා තියෙන්නේ බොහොම පුංචි කාලයයි.”
“මාලිනී අක්කා කියන්නේ මේකප් නැතුව ඉතාම ලස්සන කෙනෙක්. නිළි රාජිනියක් වගේම මාලිනි අක්කා ඇත්තටම රූප රාජිනියක්. ඇය මට මුණ ගැහෙද් දි ටිකෙන් ටික වියපත් වෙමින් තිබුණත්, තරුණ කාලේ ඇගේ ලස්සන මම ජායාරූප වලින් නිතර බලනවා. ඒ ගැන අපි දෙන්නා කතා කරලා තියෙනවා. මම නිතරම උත්සාහ කළේ මම ඇයට කරන හැම හැඩගැන්වීමක දීම ඇගේ තරුණ කාලෙට ගෙනියන්න. ප්‍රේක්ෂකයන් අතරට ඉන්නවාටත් වඩා ලස්සනට යවන්න. මම දන් නෑ ඇය මගේ හැඩගැන්වීම්වලට ඒ තරම් කැමති වුණේ ඇයි කියලා. මම හැඩගැන් වීමක් කරලා ඉවර වුණාට පස්සේ මම දැකලා තියෙනවා හරිම සතුටෙන් ඇය හිනා වෙනවා. ඒ සිනහව අතුළේ හැමදාම ඇය කිව්වේ ඒ හැඩගැන්වීමට ඇය ලස්සනයි කියන එක.”
ප්‍ර ඇය එක්ක වැඩ කිරීම පහසු කාර්යයක් වුණාද?
“ඇය හරිම නිහතමානී නම්‍යශිලී කෙනෙක්. ඇය මට හැඩගැන්වීම් කරන්න සිදු වෙන්නේ ඇය සහභාගිවන අවස්ථාවන් අනුව. ඒ ඒ අවස්ථාවන්ට සහභාගි වෙන්න නිර්මාණය කරන ඇඳුම් විලාසිතා, කොණ්ඩ මෝස්තර, මේකප් ගැන ඇය ගොඩාක් උනන්දු වුණූ කෙනෙක්. ඇය හරිම ආසයි ලස්සනට අඳින්න පලඳින්න. ඒ අවස්ථාවන්වලට ඇඳුම් නිර්මාණ කිරිමේදී ත් මට පූර්ණ නිදහස දීලා තිබුණා. ඒවා නිර්මාණ කරන්න. මේකප් කොණ්ඩ විලාසිතාත් එහෙමයි. මම නිතරම හැඩගැන්වීමක් කරන්න කලින් එතුමිය ගේ අදහස්වලට ප්‍රමුඛත්වය දුන්නා. නිතරම මගේ අදහස් ඇය බොහොම නිරහංකාරව පිළිගත්තා. ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න ඇඳුම් නිර්මාණ ශිල්පීන්ට සහ රූපලාවණ්‍ය ශිල්පීන්ට වඩා එතුමියට ඒ දේවල් ගැන ලොකු දැනුමක් තිබුණා. මමත් ඇඳුම් නිර්මාණය මේකප් ගැන විෂයක් විදිහට හදාරලා තිබුණාට න්‍යායට එහා ගිය ප්‍රායෝගික දේවල් මම ඉගෙන ගත්තේ එතුමිය ගෙන්.”
“ඇගේ අත්දැකීම් හැම විටම බෙදාගෙන තියෙනවා. දේවල් කියලා දීලා තියෙනවා. මාලිනී අක්කා වැඩ කරලා තියෙන ශිල්පීන් ගත්තාම මම ඇය ළඟ හරිම පුංචි කෙනෙක්. හැබැයි නිතරම ඇය මගේ හැඩගැන්වීම් ගැන ගොඩාක් සතුටු වුණා. මාව හරියට අගයලා තියෙනවා. ඇයගේ මං ආසම දේ තමයි හැමදාම ඇයව හැඩගැන්වීම් කරලා ඉවර වුණාම " තෑන්කිව් ලස්සනයි කොල්ලා " කියලා පුදුම සතුටකින් හිනා වෙනවා.”
ප්‍ර ඇය වඩාත්ම ප්‍රිය කරපු විලාසිතාවක් තිබුණා ද?
ඇය කිසිම වෙලාවක මම නිළියක්, කියන තැන ඉඳන් ඇඳුම් තේරුවේ නැහැ. ඇය නිතරම උත්සාහ කළේ තමන්ගේ ගරැත්වය පෞරුෂත්වය ඉස්මතු වන ආකාරයට වගේම ඇගේ ප්‍රේක්ෂකයන් ළඟට යන්න එයාලා ආස විදිහට ඇඳුම් අඳින්න. ඒක තමයි ඇය රැජිනක් වෙන්න විශේෂිතම හේතුව වුණේ. ඇය ලංකාව නියෝජනය කරන සම්මාන උළෙල වැනි සෑම අවස්ථාවකම විලාසිතාවක් ලෙස හැඩගැන්වෙන්න කැමති වුණේ උඩරට ඔසරියෙන්. එතුමිය ලංකාව ගැන ගොඩාක් අභිමානයෙන් හිටපු කාන්තාවක්. ඒ ඇරෙන්න අනෙක් සෑම අවස්ථාවකම ඇය ප්‍රිය කළේ ඉන්දියානු විලාසිතාවන් ගෙන් හැඩවෙන්න.”
ප්‍ර ජීවමානව සිටිය දී මාලිනි මහත්මිය අවසන් වතාවට හැඩගැන්වුණේ කවද ද?
“ඇය අප අතුරින් වියෝ වන්නට සති කිහිපයකට පෙර ඇයගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උපන්දින සාදයට සහභාගි වෙන්න තමයි අවසන් වතාවට මම එතුමිය හැඩගැන්වීම් කළේ. මම එදා ගොඩාක් පරිස්සමෙන් තමයි රූපලාවණ්‍ය කටයුතු කළේ. එදාත් මම හැඩගැන්වීම් කරලා ඉවර වුණාම ‘ලස්සනයි කොල්ලා’ කියලා හරිම සතුටින් හිනා වුණා. හැඩගැන්වීමකටම විතරක් නෙමෙයි අපි හමු වුණේ මාලිනී අක්කාව හැඩගැන්වුවේ නැතත් ඇයයි මමයි ගොඩක් සමීප යාළුවෝ. වෙලාවකට ඇය මට මවක් වුණා. හොඳ මිතුරියක් වුණා. හැමදාම වගේ මාලිනි අක්කා ගෙන් මට ඇමතුමක් ආවා. දවසට විනාඩි පහක් හරි මම ඇයත් එක්ක කතා කළා. ඇය වෙනුවෙන් සේවය කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.”
ප්‍ර අවසන් වරටත් රැජිනිය ගේ ප්‍රේමය කැටිවෙලා තිබුණ කොපුල් මත පාට තැවරූයේ ඔබ ?
“මේ මගේ අතින් අවසන් ගමනකට කෙනෙක් හැඩගැන්වුණු පළමු අවස්ථාව සහ අවසාන අවස්ථාවත් මේක. මට අම්මලා දෙන්නෙක් හිටියා. මෙච්චර කල් මගේ අම්මා ගෙන් පස්සේ මට අම්මා වුණේ මාලිනී අක්කා. අද මට එක අම්මා කෙනෙක් අහිමි වෙනවා.
එතුමිය අවසන් හුස්ම හෙළපු මොහොතේ පවුලේ අය මගෙන් කතා කරලා ඇහුවා අපේ නැන්දා ලස්සන කරේ ඔයා එයා විලාසිතා කරද්දි ආස දේවල් දන්නේ ඔයා. අවසන් ගමනටත් නැන්දා රැජිනක් වගේම ලස්සනට හැඩවෙන්න ඕන කියලා. මම හිතුවා මේ අත් දෙකෙන් හැමදාම ලස්සන කරපු ඇයව අවසන් ගමනටත් මගේ අත් දෙකෙන්ම ලස්සන කර යුතුයි, ඒ ගෞරව ඇයට දිය යුතුයි කියලා. එතුමිය ගේ පවුලෙන් කරපු ඉල්ලිම මම අකුරටම කළා. මේ සසරේ නැවත ඇයව හැඩගන්වන්නේ කවදාදා යන සිතුවිල්ලෙන් ජයරත්න මල්ශාලාවේ දි ඇයව රූපරාජිනියක් වගේම සැරසුවේ දරාගත නොහැකි වේදනාවකින්.”
“ජයරත්න මල් ශාලවට ඇතුළු වෙද්දිම මම ගියේ ජීවමාන රැජිනියට හැඩගැන්වීමක් කරනවා කියන මානසිකත්වයෙන්මයි. ඒ අවස්ථාව ජයරත්න මල්ශාලාවේ සේවක පිරිස වගේම චමරි ජයරත්න මහත්මිය, ප්‍රවිණ රූපලාවණ්‍ය ශිල්පි හැරිස් විජේසිංහයන් මගේ කාර්යයට ශක්තියක් වෙන්න ඒ ස්ථානයේ රැඳී සිටියා.”
“මාලිනී අක්කා කවදාවත් එක වතාවක් ඇඳපු ඇඳුමක් නැවත අඳින්න කැමති වුණ කෙනෙක් නෙමෙයි. ඇය ජීවත්ව සිටි කාලෙත් ඇය ඇන්දේ ගොඩාක් වටින ඇඳුම්. ඒ නිසා අවසන් ගමනටත් අධික මිල වටිනාකමකින් යුත් ලස්සන සාරියක් ඇගේ අවසන් ගමනට මම නිර්මාණය කළා. ඇය ජීවත්ව සිටි කාලෙත් මාල පලඳින්න එතරම් ආස වුණේ නැහැ. ඒ නිසා අවසන් ගමනට කරාබු දෙකක් පමණක් පැලඳුවා .ඇය ජීවමානව සිටියදී කළ ලස්සන මේකප් එකක් සහ ඇය වැඩිපුරම කැමති කොණ්ඩ විලාසිතාව ඇයගේ ස්වභාවික කොණ්ඩෙන් ඇයට මම දැම්මා. මහල් රණසිංහ ආන්ටි අතින් තමයි මාලිනි අක්කාගේ සාරිය හැඩගැන්වීමේ කාර්යය කළේ. මට ඕන වුණා ඒ ප්‍රේක්ෂකයන්ට මාලිනී අක්කාව ජීවමානව හිටි රාජිනිය වගේම අවසන් ගමනෙදිත් ඒ විදිහටම දකින්න සලස්වන්න. අවසන් ගමන ඇයගේ රූපයට ජීවය නැති වුණත් ඇයගේ ලස්සන ඒ විදිහටම තිබුණා කියලා මම විශ්වාස කරනවා. සංසාරේ ඉක්මන් භවයක නිවනින් සැනසේවා කියලා මම ඇයට ප්‍රාර්ථනා කරනවා.”
නදිශා අතුකෝරළ