අමුතු තුනක් චිත්‍රපටියේ සෙව්වන්දි - කාංචනා කාන්


“ඔයාලා ලොකු වුණාම කවුරු වෙන්න ද කැමති..?” මොන්ටිසෝරියේදී ගුරුතුමිය විසින් අසනු ලැබිණි.

“දොස්තර කෙනෙක්, නර්ස් කෙනෙක්, ටීචර් කෙනෙක්..” ළමෝ පිළිතුරු දුන්හ. වෙනස් පිළිතුරක් දුන්නේ කාංචනා පමණකි.

“ටීචර් මම කැමතියි නිළියක් වෙන්න..” ඇය කීවාය.

පුදුමයෙන් මොහොතක් ඇය දෙස බලා සිටියත් ඊ ළඟ මොහොතේ ඇය හිස සලා මඳ සිනාවක් පෑවාය. නිළියක වීමේ සුදුසුකම් ඇය තුළ ඇතැයි ගුරුතුමියට දැනෙන්නට ඇත. පාසලේ  විවිධ ප්‍රසංගවලට ඉදිරිපත් වෙන්නට, නාට්‍යවල රඟ පාන්නට ඇය තුළ කිසිදු පසුබෑමක්, චකිතයක් නොවිණි.

කුඩා කාලයේදී දකින සිහින එලෙසින්ම නඩත්තු කරන්නේ බොහෝ කලාතුරකින් කෙනෙකි. කාංචනා කාන් අයිති වන්නේ ඒ කුලකයටය. ඇය කෙසේ හෝ සිය නිළි සිහිනය සැබෑ කර ගත්තාය. මේ වන විට ඇය ටෙලි නාට්‍ය පහළොවක, චිත්‍රපටි පහක පමණ රඟ පා තිබේ. ඒවා අතරින් තමා  වෙනස්ම චරිතයක් රඟ පෑවේ අමුතු තුනක් චිත්‍රපටියේ බැව් ඇය කියන්නීය.

අමුතු තුනක් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ සුනිල් ප්‍රේමරත්නය. ඔහු මෙයට කාංචනා තෝරා ගත්තේ ලාල් ප්‍රියදේවගේ මේක පුදුම කතාවක් චිත්‍රපටියේ  ඇගේ රඟපෑම් දැකීමෙන් ඇති වුණ පැහැදීම නිසාය.

“මාව විශ්වාස කරලා මේ චරිතය දුන්නට සුනිල් ප්‍රේමරත්න සර්ට ස්තුති කරන්න ඕන.. ඇත්තටම මේක මට අලුත් අත්දැකීම් රාශියක් ලබා දුන්න චිත්‍රපටියක්.. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ පුංචි දුවෙක්.. මම ඒ දුවගෙ අම්මා විදියට රඟපාන්නෙ.. මගේ චරිතයේ නම සෙව්වන්දි.. තාත්තෙක්  නැතුව දුවව හදා ගන්න අහිංසක අම්මා කෙනෙක්.. ” කාංචනා පැවසුවාය.

මෙම චිත්‍රපටියේ රූගත කිරීම් තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේය.  ප්‍රවීණ, ජනප්‍රිය නළුනිළියෝ ලොකු පිරිසක් එහි රඟ පෑහ. ප්‍රියන්ත සෙනෙවිරත්න, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, දුලීකා මාරපන, සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ආදීහු ඒ අතර වෙති. මෙය හාස්‍යෝත්පාදක චිත්‍රපටියකි. තවත් මාස දෙකක පමණ කාලයක ඇවෑමෙන් තිරගත වෙන්නට නියමිතය. මුලින්ම මෙය නම් කර තිබුණේ අමුතු ගුරුකමක් වශයෙනි. අමුතු තුනක් ලෙස නම වෙනස් කරනු ලැබුවේ පසුවය.

තරුණයෝ තිදෙනෙක් විනෝද ගමනක් යති. ප්‍රියන්ත සෙනෙවිරත්න, කුමාර තිරිමාදුර සහ මිහිර සිරිතිලක විනෝද ගමනක් යති. කාරය පදවන ලද්දේ මිහිර සිරිතිලක විසිනි. එහිදී කාංචනා සහ ඇගේ දියණිය එම කාරයේ ගැටී අනතුරක් සිදු වන අතර  කතාව ගොනු වන්නේ ඉන් අනතුරුව ඇති වන සිද්ධි දාමය වටාය.

“මට අධ්‍යක්ෂවරයා උපදෙස් දීලා තිබුණේ කාරෙක එනකොට පාර පනින්නෙ නැතුව පනිනවා වාගෙ රඟපාන්න.. ඒක සාර්ථක නැති වෙයි කියලා මට හිතුණා.. ඒ වගේම අභියෝගවලටත් මූණ දෙන්න මම කැමතියි.. ඉතින් මම දුවත් අතින් අල්ලාගෙන පාර පැන්නා.. හැබැයි මම දුවට කියලා තිබුණේ මොන දේ වුණත් මගේ අත අතාරින්න එපා කියලා.. ඒ දරුවා ඒක හරියටම කළා..  මිහිර සිරිතිලක කාරය නවත්තා ගත්තෙ අනූ නමයයි දශම නමයෙන් වගේ..”

ඇය සිනාසෙමින් කීවත් එහි අවදානම මොන තරම්දැයි මට සිතිණි. මට පමණක් නොව මුළු චිත්‍රපටි කණ්ඩායමටම එය කම්පනයක් වූයේය. මොන තරම් ද යත් කම්පනය පහව යන තුරු ටික වේලාවකට රූගත කිරීම් නවත්වන්නට සිදු විණි.

“ඇයි එහෙම කෙරුවේ..?”

අධ්‍යක්ෂවරයා තරවටු ස්වරයෙන් විමසුවේය.

“මට මාව විශ්වාස හින්දා..” ඇය සන්සුන්ව පිළිතුරු දුන්නාය. කෙසේ වුවත් පළමු උත්සාහයේදීම සාර්ථකව දර්ශනය නිම කර ගැනීමට හැකි වීමේ සතුට ඔවුහු භුක්ති වින්දහ. එය ප්‍රේක්ෂකයන්ට වෙනස්ම ආකාරයේ වින්දනයක් ලබා දෙන චිත්‍රපටියක් වෙනු ඇතැයි ඇය හුදෙක්ම බලාපොරොත්තු වන්නීය.

“ඒක ලොකු ඇක්සිඩන්ට් එකක් පෙන්නන දර්ශනයක්.. සෙව්වන්දි බිම වැටිලා හොඳටම අමාරුවෙන් ඉන්නවා.. අඬඅඬා තමන්ගෙ දුව ළඟට ඇදිලා යන්න උත්සාහ කරනවා.. මම ඒක කරපු විදිය කොච්චර තාත්වික ද කියනවා නම් ඉස්සර වෙලා දර්ශනය දැකපු අය හිතලා තියෙන්නෙ ඇත්තටම ඇක්සිඩන්ට් එක වුණා කියලා..” කාංචනා කාන් පැවසුවාය.

අමුතු තුනක් චිත්‍රපටියේ හැම සිද්ධියක්ම කාංචනාට අමතක නොවන්නේ මෙවන් සිද්ධීන් නිසාය.

“චිත්‍රපටිය රූගත කරන කාලේ අපි බොහොම සතුටින්, විනෝදෙන් හිටියා.. ජනප්‍රිය ප්‍රවීණ නළුනිළි කණ්ඩායමක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මට සතුටක් වගේම ආඩම්බරේකුත් තියෙනවා..”

ඇය කියද්දී එවදන්වලත් ඒ ආඩම්බරය තැවරී තිබෙනු මට දැනිණි.

කාංචනාට පාසල් දෙකතුනකම අධ්‍යාපනය හදාරන්නට සිදු වූයේය. ඇයට අවුරුදු දහයක් පමණ වන විට තාත්තා මිය යාමත්, අම්මා එතෙර රැකියාවකට යාමත් නිසා ඥාතීන් ඇසුරේ ජීවත් වෙන්නට සිදු වීම එයට හේතු වූයේය. ඉගෙන ගන්නා අතරම ඇය නර්තනය ද හැදෑරුවාය.

“මම කාංචනා කාන් වුණෙත් නැටුම් පන්තියේදී තමයි..”

ඇයට ඉන්දියානු වාසගමක් ලැබීම පිළිබඳව මා තුළ වූ කුතුහලය ඉව වැටුණ නිසාදෝ කාංචනා පැවසුවාය.

“නැටුම් පන්තියේදී හැමෝම මට කතා කළේ කාන්චි කියලා.. පස්සෙ ඒකත් කෙටි වෙලා කාන් කියලා කතා කරන්න පටන් ගත්තා.. ඒ නමේ අමුතු ආකර්ෂණයක් තියෙන හින්දා මම ඒකට හුඟක් කැමති වුණා.. මම මගේ ෆේස් බුක් එකවුන්ට් එකට පාවිච්චි කළේ කාංචනා කාන් කියන නම.. අන්තිමේදී හැඳුනුම් පතේ වෙනත් නම් තීරුවටත් ඒ නම දා ගත්තා.. ඇත්තටම ඒ නම තමයි මට වාසනාව ගෙනාවේ..”

ඇය කියන්නීය.

ඇය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එන තුරු ගත කළ කාලයේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව ද හැදෑරුවාය. ඒ වසරේ පාඨමාලාව හැදෑරූ ළාබාලම සිසුවිය වූයේ කාංචනාය. තමන් යම් ඉලක්කයකට යාමට බලාපොරොත්තු වෙන්නේ නම් ඒ සඳහා වුවමනා සුදුසුකම් සපුරා ගත යුතු බැව් ඇය ආදර්ශයෙන්ම පෙන්වා ඇත්තේ එලෙසය.

“කාටවත් කරදරයක් නොවෙන විදියට පො​ෙළාවේ පය ගහලා සරලව ජීවත් වෙනවා නම්, අපි අපිම වෙලා ඉන්නවා නම් ජීවිතේ හරිම සුවපහසුයි..” කාංචනා කාන් කියන්නේ එසේය.

චන්දි කොඩිකාර