මවක් නැති අඩුව වචනයෙන් විස්තර කළ හැකි දෙයක් නොවේය. මවක යනු දරුවකු හට ලෝකයකි. ඒ ලෝකය අහිමිවූ කල දැනෙන පාළුව, සාංකාව, තනිකම, හුදෙකලාව කෙසේ නම් විස්තර කරන්නද? වෙසෙසින්ම මවකට වඩාත් සමීපව සිටි පුතෙකු හට මව නැති අඩුව කෙසේ දරාගත හැකිද?
කාගේත් ආදරය දිනූ රොෂාන් රණවන රංගන ශිල්පියා හට ඔහුගේ මව අහිමි වූයේ මීට ටික දවසකට පෙරදීය. රොෂාන් යනු මවගේ ආදරය උණුසුමට සමීපව හැදී වැඩුණු දරුවකු පමණක් නොවේ. මවට ගෞරවයක් ගෙන දුන් ගුණවත් පුතෙකි. ඒ පුතු මව ගැන වූ මතක සමග ‘අම්මයි-පුතයි’ පිළිසඳරට අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ප්‍ර කොහොමද ජීවිතයේ කටයුතු?
ජීවිතය ගෙවන විදිය ගැන කීවොත් පෙර ලෙස හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ජීවිතයෙ ලොකු හිඩසක් ඇති වුණා. අම්මා නැති ඒ හිස් තැන හැරෙන්නට, පවුලේ අපේ එදිනෙදා කටයුතු සිදුවෙනවා. ඒ මොන දේ වුණත් මොන දේ කළත් ඒ හිස්බව දැනෙනවා.
ප්‍ර රොෂාන් මවට බෙහෙවින්ම සමීපව සිටි පුතෙක්. ඔබ ක්ෂේත්‍රයට ආ මුල් දිනවල සමහර අවස්ථාවලදි අම්මා තමයි ෆෝන් එකට පවා උත්තර දුන්නෙ?
මගේ විවාහයට පෙර මට එන කෝල් මම ආන්සර් නොකරන වෙලාවට ඩයිවර්ට් කරලා තිබුණේ අම්මගෙ ෆෝන් එකට. සමහර වෙලාවට වැඩි හරියක්ම ෆෝන් එකට ආන්සර් කළේ අම්මා.
ප්‍ර අම්මාගේ වියෝව, ඒ හිඩස ආයේ පුරවන්න බැහැ කියලා ඔබ කිව්වා. කොහොමද ඔබ- අම්මා අතර තිබූ බැඳීම?
එ්ක වචනයෙන් විස්තර කරන්න බැරි දෙයක්. එය මට විතරක් නොවෙයි අම්මෙකුගේ කුසට ආ දින සිට ඒ බැඳීම තියෙනවානෙ. ජීවිත කාලයටම එහෙමයි. මවක් මියගිය පසුව ඒ බැඳීම නතර වෙන්නෙ නැහැ. ඒක තමයි ස්වභාවය. අම්මා නැහැ නේද දැන් කියලා හිතාගන්න එක තමයි අමාරුම. නිතරම ෆොටෝ එකක් දකිද්දිත් අම්මාව මනසේ මැවි පෙනෙනවා. ඒක හරි අමාරුයි වචනයෙන් විස්තර කරන්න. අම්මා කෙනෙක් නැති දරුවෙකුට තමයි ඒ හැඟීම තදින්ම දැනෙන්නෙ.
ප්‍ර අම්මාගෙ අවසන් කටයුතු පැය 24ක් ඇතුළතදි සිදු කළා. ඒක ඇයගෙ ඉල්ලීමක්ද?
අම්මයි - මායි දෙන්නම ඒ විදිහට තමයි කතා කරගෙන තිබුණේ. ඒ කියන්නෙ මියගිය පසුව පැය 24ක් ඇතුළතදි අවසන් කටයුතු සිදු කරන්න. අපි දෙන්නා ඒ මතයෙ හිටියෙ.
ප්‍ර ඔබ ගැන ඇය සතුටු වූ අවස්ථා බොහොමයක් ඇති? ඒ අතරින් වැඩියෙන්ම ඇය ඔබගෙ දක්ෂතා හෝ අගැයීම් නිසා සතුටු වූ අවස්ථා වුණේ?
අම්මා සෑම දිනකම අද මම සිටින තැන ගැන හිතලා සතුටු වුණා.
මම හිටපු විදිහ සහ ජීවිතය ගත කරන විදිහ ගැන හිතලා අම්මා බොහොම සතුටින් හිටියෙ. මේ ක්ෂේත්‍රයට මාව යොමු කළෙත් අම්මා. ‘හිරිපොද වැස්ස’ ෆිල්ම් එකට ශිල්පීන් බඳවාගැනීමේ දැන්වීමක් දාලා තිබුණා. එ්නිසා මගේ අයැදුම්පත යොමු කරලා තිබුණේ අම්මා. මොනවා කළත් කමක් නැහැ කවදාවත් නම විතරක් කැත කර ගන්න එපා, එහෙම වුණොත් අපට ඔළුවෙ ගෝනි තමයි දාගෙන යන්න වෙන්නෙ කියලා එදා අම්මා මට කිව්ව හැටි අද වගේ මතකයි. එදා හිරිපොදවැස්සට මාව තෝරා ගත්ත ආරංචිය දැනගත්ත හැටියෙ අම්මා මට කිව්වෙ එහෙමයි. මොකද මම මේ ඉන්ඩස්ට්‍රි එකට එනවට තාත්තගෙ එතරම් ලොකු කැමැත්තක් තිබුණෙ නැහැ. තාත්තා හිතුවෙ මම දිගටම උසස් අධ්‍යාපනය කරල ඉදිරියට යාවි කියලයි. ඉතින් ඒ නිසා තාත්තගෙ අරමුණ ගැනත් මගේ ඔළුවෙ තිබුණා. යම්කිසි විදිහකින් මේ ක්ෂේත්‍රයට ඇවිත් නම කැත කර ගත්තොත් එ්කෙන් බ්ලේම් එකක් එනවනෙ කියන.
ප්‍ර ඒ පවුල මොනවගේ පවුලක් විදිහටද ඔබට දැනුණෙ? හැඟුණෙ?
අංගසම්පූර්ණ පවුලක් කියලයි මට දැනෙන්නෙ. තාත්තා-අම්මා-මල්ලි මම. ඒ හතර දෙනා විතරක්ම නොවෙයි අපේ පවුල වුණේ. අම්මගෙ තාත්තයි, අම්මයි මාමලයි ඇතුළු ඔක්කොම ගත්තාම දොළහකට වැඩිය හිටියා. ඉස්සර මට මතක විදිහට මම රඟපෑ ෆිල්ම් එකක ප්‍රිමියර් එක දවසට වැඩිම පාස් ලැබුණේ මට. පාස් 15ක් විතර ලැබුණා. මොකද මුළු පවුලම ආ නිසා. ‘සීයා-ආච්චි’ නැතිවුණාම ඒවා ටික-ටික අඩුවුණා. මාමලම හතර දෙනයි. එයාලගෙ දරුවොයි ඔක්කොම ගත්තාම අපි ලොකු පවුලක්. අද ආච්චියි සීයයි නැහැ. ජීවිතේ මුලින්ම මට ලොකුම වේදනාවක් දැනුණෙ සීයා නැතිවුණාට පස්සෙයි. ඒක මට දරාගන්න බැරි වුණා. ඊට පස්සෙ ආච්චි නැති වුණා. අම්මා නැති වුණාට පස්සේ මෙච්චර ලොකු වේදනාවක්, පාළුවක් හිඩසක් ඇතිවුණාම දරාගන්නම බැරි වුණා. මුලදි මම වඩාත්ම සමීපව හිටියෙ සීයාටයි ආච්චිටයි. හැදි- වැඩුණෙ සහ නිදාගත්තෙ පවා ඒ දෙන්නා ළඟ. ඉතින් සීයා නැති වුණාම දැනුණ පාළුව එක්ක මම හිතුවෙ ඊළඟට එන ඕනෑම අහිමිවීමක් දරාගන්න පුළුවන් වේවි කියලයි. ඒත් අම්මගෙ වියෝව මට දරාගන්නම බැරි දෙයක් වුණා.
ප්‍ර ඔබගෙ ෆැමිලි එකේ ඒ බැඳීම් ගැන වූ විස්තර අපි තවත් දිනෙක කතා කරමු? දැන් අපි අයිස්ක්‍රීම් ගැන කතා කරමු.?
’අයිස්ක්‍රීම්’ ෆිල්ම් එකේ මම දායක වෙලා තියෙන කොටසේ හැටියට ෆිල්ම් එහි ඇතුළෙ ෆිල්ම් එකක චරිතයක්. පළමු වතාවට තමයි රොෂාන් රනවන, රොෂාන් රණවන ලෙසම ෆිල්ම් එකක පෙනී සිටින්නෙ. තමන්ගේ විදිහට ෆිල්ම් එකක රඟපෑමට ලැබීමත් වෙනස් අත්දැකීමක්.
ප්‍ර ඉදිරියේ ඔබ දායක වූ නිර්මාණ?
ෆිල්ම් හයක් විතර එක දිගට එන්න තියෙනවා. ගිය අවුරුද්දෙ විතරක් ෆිල්ම්ස් තුනකට දායක වුණා. ‘මයි සිම්බා’ නමැති ළමා චිත්‍රපටයේ රඟපානවා. එහි විශේෂත්වය වන්නේ මිනෙත් ගේ පළමු චිත්‍රපට පසුබිම් ගායනය ඇතුළත්වීමයි. ඒ විදිහට රඟපෑ චිත්‍රපට අතරින් සංජය ලීලාරත්නගෙ අසංකි එක්ක රඟපෑ ‘අහස සිඹින ආදරයක්’ තමයි අන්තිමට රූගත කළේ. ඒ ෆිල්ම් එක තිරගත වෙනකල් මම බලා ඉන්නෙ. ඒක ටිකක් වෙනස් චරිතයක්.‘අහස සිඹින ආදරයක්’ ෆිල්ම් එකේ අවසන් කොටසේ ‘මිනෙත්’ රඟපාන දර්ශනයකුත් ඇතුළත්. ඒ නිසා තාත්තයි-පුතයි’ සිටින ඒ ෆිල්ම් එක මට විශේෂයි.
ප්‍ර පවුලක් විදිහට ගත්තාම, රොෂාන්- කුෂ්ලානි- මිනෙත් පවුලට නේද වැඩියෙන්ම වෙෙළඳ දැන්වීම්වලට දායක වෙන්න ලැබෙන්නෙ? එහෙම නේද?
ඒක හරියට මම දන්නෙ නැහැ. බොහොමයක් වැඩසටහන් සහ ප්‍රවර්ධන කටයුතුවලදි අපට ආරාධනා ලැබෙනවා.
ප්‍ර ජීවිතයේ හිමිවීම්-අහිමිවීම් ජය පරාජයන් සියල්ල හමුවේ ඔබට ජීවිතය දැනෙන්නෙ කොහොමද? ජීවිතය ගැන හිතෙන්නෙ කොහොමද?
ජීවිතයේ හිමිවීම් සහ අහිමිවීම් ගත්තොත් අහිමිවීම් කියන දේ ගැන කතා කළොත් අම්මගෙ, සීයගෙ, ආච්චිගෙ අහිමිවිම් තමයි ලොකුවටම දැනෙන්නෙ.
ඒ හැර කුඩා කාලයේ ඉඳලම මට ලැබුණේ හිමිවීම්. මගේ ජීවිතයට සාපේක්ෂව මට තියෙන්නෙ ලස්සන හිමිවීම්. පෙර පාසල් කාලයේ ඉඳලම මට තිබුණෙ ලස්සන ජීවිතයක්. ලස්සන පවුලක් ලැබුණා. බොහොම ප්‍රීතිමත් ළමා කාලය ලැබුණෙ මට වෙන්නැති. හොඳ බිරිඳක්, පුතෙක් ලැබුණා. අම්මගෙ පිනෙන් හොඳ ක්ෂේත්‍රයකට එන්න ලැබුණා. දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර 21ක්. මට ලැබුණු හොඳ පෙම්වතිය - අද මගේ අරුත්බර බිරිඳ වෙලා. ආදරණීය පුතෙක් ඉන්නවා. ඉතින් ඒක හරි ලස්සන ජීවිතයක්. මට තියෙන ඒ දේවල් එක්ක ජීවිතයෙ මම තෘප්තිමත්.
සඳුන් ගමගේ