අප අපේ ලෝකය පුංචි කරගත් තරමට එ ලෝකයේ සතුට වැඩියි - ආචාර්ය මාලිනී ෆොන්සේකා


‘‘අප අපේ ලෝකය පුංචි කරගත් තරමට 
ඒ ලෝකයේ සතුට වැඩියි’’
 
මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ඇය එලෙසින් සටහනක් තැබුවේ හරියටම සඳහන් කළොත් 2023 වසරේ අගෝස්තුවේදීය. ඒ දිනය අපට සොඳුරුතම දවසක් වූයේ ලාංකීය සිනමාවේ තරු රැජින, සඳ රැජින, නිළි රැජින සමග හෝරා කීපයක් ගත කිරීමට ඉඩක් ලැබුණු නිසාය. ‘සඳැල්ල’ කණ්ඩායම එදා ඇය හමුවීමට ගියේ ඇයගේ විස්තර පමණක් සඳහන් කරමින් එම සති අන්තයේ නිළි රැජින - උත්තමාචාර නමින් සඳැල්ල (2023/08/06) සැකසීමට කටයුතු යොදා තිබූ බැවිනි. සාමාන්‍යයෙන් සති අන්ත පුවත්පත් සමග මුද්‍රණය කෙරෙන ටැබ්ලොයිඩ් හෙවත් අතිරේකයක්  එක් කලාකරුවකු වෙනුවෙන්ම මීට පෙර වෙන්කර තිබුණේ නැත. එහෙත් මසකට වරක් අප රටේ කලා ක්ෂේත්‍රයට යුග මෙහෙවරක් කළ විශිෂ්ටයන් වෙනුවෙන් එලෙසින් අතිරේකය වෙන් කරමුය යන යෝජනාව ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ගේය.
 
ඉතින් අපි මේ වැඩේ කාගෙන් ද බොස් පටන් ගන්නෙ? සඳැල්ල වත්මන් සංස්කාරිකා ධනු විජේරත්න, ප්‍රධාන කතුවරයාගෙන් විමසූ  කළ ඔහු එකවරම කීවේ වෙන කවුද ඉතින් අපේ නිළි රැජිනගෙන්ම ඒ වැඩේට මුල පුරමු! යනුවෙනි. 
 
ඒ අනුව සඳැල්ල කණ්ඩායම මේ වැඩේට බැස්සේ වෙනදාට වඩා ගැම්මකිනි. මොකද අපි සුදානම් වූයේ ආදරයේ තරු රැජින, සිනමාවේ සඳ රැජින නොඑසේ නම් නිළි රැජින හමුවීමේ අලුත් සංකල්පය එළි දැක්වීමට ලැබුණු අවකාශය නිසාය. 2023 වසන්ත සමයේදී මම ඇයට ඇමතුමක් දීමේ ගැන කීවෙමි. ‘‘එච්චර මම ලොකු චරිතයක් ද?’’ මා වෙනුවෙන් සඳැල්ල සම්පූර්ණයෙන්ම වෙන් කරන්න?
 
ඇය එසේ කීවේ වඩාත් ළෙන්ගතු ස්වරයෙනි.
 
ඔබතුමිය අපට රටක් තරමට නොවේ... ලෝකයක් තරමට වටිනවා.
 
මම එසේ කීවද, අපට දිනයක් එකවර ලබා දීමට නම් ඇයට නොහැකි වූයේ, යොදාගත් වැඩ රාජකාරි කීපයක ඇය නියැළී සිටීම හේතුවෙනි! අපි අපේ උත්සාහය අත් නොහැරීමු! වසන්තයේදී හමුවිය නොහැකි වූ ඇය අපට හමුවූයේ ගිම්හානයේදීය. ‘රැජිනක අල්ලාගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. රැජිනකගේ ස්වභාවය එසේමය. ගිම්හානයේදී ඇය අපට හමු වූයේ ‘වසන්තයේ දවසක’ පිපුණු මලක් සේය.
 
‘‘ඒ සුපිපි මාලිනී පුෂ්පය සමග අපි සඳැල්ලේ පිටු සියල්ල පිරැවීමට අවැසි විස්තර කතා කළෙමු. අපේ කතා බහ අතරවාරයේදී ඇය ගත දැවටෙමින් ඇයගේ සෙනෙහස රිසි සේ විඳ ගත්තේ, ඇයගේ ආදරය ලැබු සුනඛ සහ බළල් සුරතලුන්ය.
 
‘‘මම කොතැන ද යන්නෙ මෙයාලා මගේ පස්සේමයි. බළල් සුරතලා ඔඩොක්කුවට ගනිමින් ඇය කීවේ කාරුණික ස්වරයෙනි. සතුනට පරිසරයට ඇය බෙහෙවින්ම ආදරය කළ චරිතයකි. එදා අප ළමා කාලයේදී දුටු තිර තාරකාවගේ හැඩය, පැහැය, සුන්දරත්වය නොඅඩුව සපිරු වූ ඒ ආදරණීය නිළි රැජින සමග කතා බහ අවසන, ඔබගේ අත්සන සමග ඔබට දැනෙන හැඟෙන දෙයක්, ඔබගේම අත් අකුරින් සනිටුහන් කරන්න අපි ඇය හට කීවෙමු.!
 
‘‘අපි අපේ ලෝකය
පුංචි කරගත් තරමට
ඒ ලෝකයේ සතුට වැඩියි’’
මාලිනී ෆොන්සේකා-06/08/2023
 
ඒ හරහා ඇයගේ ජීවිතය අපි මොහොතකට  කියවමු.
 
මාලිනි හට ඇයගේ හැඩයේ, පැහැයේ, තරමේ හැටියට විශාල ලෝකයක් මවාගෙන  ඒ ලෝකයේ ජීවත්වීමට ඕනෑ තරම් අවකාශය තිබිණි. 
 
බොහෝ දෙනා උත්සාහ ගන්නේ තමුන්ගේ ජීවිතයේ හැකියාවේ තරමට වඩා  විශාල රවුමක් ගසා ගෙන ජීවත්වීමටය. එහෙත් ලෝකයක් තරමට විශාල රවුමක් ගසාගෙන ඒ සුවිශාල පරාසයේ ජීවත්වීමට හොඳටෝම හැකියාව ඇයට තිබිණි. මේ නිළි රැජින ජීවත් වූයේ  පුංචි ලෝකයත් තනාගෙනය. ඇයගේ ඒ ලෝකයේ පිරි, ඉතිරි තිබුණේ, ආදරයයි. පවුලේ අයගේ, හිත මිත්‍රාදීන්ගේ කලාවේ සහෘදයින්ගේ සහ ලක්ෂ සංඛ්‍යාත රසිකාගාරයේ ආදරය ඒ ලෝකයේදී ඇයට හමුවන්නට ඇත.
 
‘‘ඔබතුමිය අපට රටක් තරමට නොවේ... ලෝකයක් තරමට වටිනවා.’’
මම එසේ කීවද, අපට දිනයක් එකවර ලබාදීමට ඇයට නොහැකි වූයේ, යොදාගත් වැඩ රාජකාරි කිපයක නියැළී සිටි හේතුවෙනි! අපි අපේ උත්සාහය අත් නොහැරීමු! වසන්තයේදී හමුවිය නොහැකි වූ ඇය අපට හමුවූයේ ගිම්හානයේදීය. ‘රැජිනක අල්ලා ගැනීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ. රැජිනකගේ ස්වභාවය එසේමය. ගිම්හානයේදී ඇය අපට හමු වූයේ ‘වසන්තයේ දවසක’ පිපුණු මලක් සේය.
 
ජීවිතයට වඩා විශාල වූ ඇයගේ චරිතයෙන් සමාජයට ගත හැකි ආදර්ශය ඇය ඒ අදහසින් ප්‍රකාශ කර ඇත.  
 
ජීවිතයේ අහිමිවීම් ගැන කතා කරද්දී ඇය අන් සියලු දේටත් වඩා ඉහළින් අපේක්ෂා කළ බොහෝ දේ විටෙක ඇයහට නොලැබෙන්නට ඇත. එහෙත් ලැබීම් නිසා ආඩම්බර නොවු ඇය නොලැබීම් හමුවේ උපේක්ෂාවෙන් එය දරා ගත්තේ ඇයට විඳින්නට හැකි තරමට ඇයගේ ලෝකය නිර්මාණය කරගෙන සිටි නිසාවෙනි. ‘සෙනෙහෙලතා’ යන නාමය ද ඇයට හරි අපූරුවට ගැළපුණේ ඇය දැක් වූ සෙනෙහස, සමාජයට දැනුණු, හැඟුණ බැවිනි. පුද්ගලිකව අප ඇය ගැන දන්නා කරුණුවලට අනුව ඇය විවේචනය කළ කිසිවකු සමග ඇය අමනාප නොවුණි. ඒ අයද පෙරළා ඇයට ආදරය කළේ ඇය සෙනෙහෙවන්ත ආදරණීය, චරිතයක් වූ නිසාය.
 
ඇයගේ පවුලේ සහෝදර සහෝදරියන් 11 දෙනෙකි. පිරිමි 6 දෙනෙක් සහ ගැහැණු 5 දෙනෙක් සිටි ඒ පවුලේ තුන් වැනියා වූයේ ‘මාලීනි’යයි.  පවුලේ තුන්වැන්නිය ඇය වුවද ඒ මුළු පවුලම එළිය වූයේ ඇය නිසා යැයි සඳහන් කළ හැකිය. ඒ පවුලේ සහෝදරියන් අතර වැඩිමලා වූ ඇය සිය නැඟණියන්ට මෙන්ම, සහෝදරියක් දෙවැනි මාතාවක වූ වග ඇයගේ නැඟණියන් පවසන්නකි.
 
‘‘මාලනි අක්කාට වඩා මම අවුරුදු 11ක් බාලයි. ඒ දිනවල චුටි නංගි දමයන්තිට අක්කා කොණ්ඩේ වවන්න දුන්නෙ නැහැ. මගෙයි දමයන්තිගෙයි කොණ්ඩා කැපුවෙත් එයාමයි අපි චුටි දවස්වල අපට විටමින් පෙති පෙව්වෙත් එයා. අම්මා තාත්තා සහ ආච්චිගෙ, මගේ සහ දම්මිගෙ රෙදි සේදුවෙත් එයා. ඒ දිනවල වොෂින් මැෂින් තිබුණෙ නැහැ. ළිඳෙන් වතුර ඇදලා පුරවාගෙන තමයි අක්කා ඒ විදිහට එදා අපට රෙදි සෝදලා දුන්නෙ. ඒ දවස්වල කෑම ඉව්වෙත් අක්කා. අපට විදුලිය තිබුණේ නැහැ. කුප්පි ලාම්පු එළියෙන් තමයි ගෙදර එළිය වුණේ. එච්චර මහන්සිවෙලා උයලා අපට කෑම බෙදලා දුන්නෙත් ආදරෙන්. අපි ඔක්කොටම කෑම බෙදලා දීලා එයා කුස්සියේ බංකුවකට වෙලා කෑම කෑ හැටි මට අද වගේ මතකයි.’’
 
සඳැල්ල නිළි රැජින උත්තමාචාර කලාපය වෙනුවෙන් එදා ඒ විදිහට අදහස් ප්‍රකාශ කළේ ඇමරිකාවේ වෙසෙන මාලිනියගේ නැඟණියක වන රසාදරි ෆොන්සේකාය.
 
සමාජයට චරිතයක් වීමට පෙර ඇය එදා ගෙදරට චරිතයක් වූ වග ඇයගේ නැඟණියන්  දැක් වූ අදහස්වලින් අපට මැනගත හැකිය.
 
‘‘පුංචි කාලයේ ඉඳලම අපි එක්කම තමයි එයා හිටියෙ. ඒ කාලයේදී වේදිකා නාට්‍යවල රඟපෑමට යද්දී එයාගෙ තනියට එක්කගෙන ගියේ මාව අපේ පවුලේ සෑම දෙනෙකුටම ලොකුම හෙවණැල්ල වුණේ එයා. අම්මා, තාත්තා වගේ වී අපට උදවු කළේ එයා. පවුලේ අයට උදව් කරද්දී එයාට භේදයක් තිබුණෙ නැහැ. මගේ විවාහයේදී පවා වියදම් දැරුවෙ එයා. අපි වැඩිහිටියො වෙලා ළමයිනුත් හිටියට අපේ දරුවන්ටත් සෑම වෙලාවකදීම උදව් කරනවා. කොයි වෙලාවෙ බැලුවත් එයාගේ රැකවරණය උදවු එදා සිට අද දක්වා අපට ලැබෙනවා. ඒ වගේ අක්කා කෙනෙක් ලැබීම ඉතින් අපෙන් වාසනාවක්.
 
පවුලේ අටවැනියා වන ශ්‍රියානි ෆොන්සේකා නැඟණිය එදා නිළි රැජින උත්තමාචාර සඳැල්ලට එංගලන්තයේ සිට අදහස් දැක් වූයේ එලෙසිනි.
 
මාලනියගේ චුටි නංගි හෙවත් ඇය වැඩියෙන්ම ආදරය කළ  දමයන්ති නංගි අධ්‍යාපනයෙන් ඉහළටම යනු දැකීම එදා මාලිනියගේ ලොකු අරමුණක් විය.
 
‘‘මම ගියේ ගේ ළඟ තිබුණු මොන්ටිසෝරියකට, යන්න බැහැ කියලා අඬද්දී අක්කා තමයි මාව වඩාගෙන එක්කගෙන ගියේ. මගෙ කොණ්ඩෙ කපලා පෝනි ටේල් එක දාලා මාව හැඩ කළෙත් එයා. ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයට මාව යොමු කරලා, උසස් පෙළ දක්වා වියදම් කරමින් ඉගෙන්නුවෙ එයා. ඉන් පසුව වැඩිදුර අධ්‍යාපනයට අක්කා මාව ඇමරිකාවට යැව්වා.’’
 
ඒ මතක මාලිනියගේ චුටි නංගි දමයන්තිගේය. 2023/08/06 අප විජය පුවත්පත් ආයතනයේ ඉරිදා ලංකාදීප  සඳැල්ල නිළි රැජින උපහාර කලාපයේ මාලනියගේ නැඟණියන් කී ඒ විස්තර සියල්ල ඇතුළත්ය.
 
ඒ සඳහන් අප යළි සිහිපත් කළේ ‘මාලිනිය’ නමැති ‘මහා චරිතය’ කියවා ගැනීමට ඒ මතක සටහන් හොඳටෝම ප්‍රමාණවත් වන බැවිනි.
 
රටට, ලෝකයට අාලෝකයක් වීමට පෙර ඇය තම පවුලේ අය සහ තම වටා සිටි අයට ආලෝකයක් වූ චරිතයක් යැයි ඇය හරහා ඇය කියවා ගැනීමෙන් අපට වටහා ගත හැකිය.
 
ඇය ලැබූ රංග පෞරුෂයෙන් සහ නිසග දක්ෂතාව වෙනුවෙන් පෙරළා ලද ආලෝකය, නිසා ඔපවත් නොවූ ඇය ඒ ආලෝකය තමා වටා සිටි පිරිසට මෙන්ම තමා නියැළී සිටි කර්මාන්තයට  ලබා දී ඇත. මාලිනිය සුවිශේෂී වන්නේ එනිසාමය.
 
‘‘සිනමාව නිසා මාලිනිය බැබලීමට  වඩා මාලිනිය නිසා අපේ සිනමාව බැබලිණි.’’ එවැනි චරිත සැබැවින්ම විරලය. මතුපිටින් පෙනෙන, දකින දේට වඩා මිනිසකුගේ ඇතුළාන්තයට කිඳා බැස ඒ මිනිසා කියවා ගත හැකි  නම්? ලෝකය සුන්දරම තෝතැන්නකි. මාලිනිය යනු මාලීනිය හරහා සමාජය කියවාගත් අපේ කාලයේ දී අපට හමු වූ සොඳුරුතම මානවිකාවියකි...
 
ආදරයේ...... ඔබ...... ඔබමයි
මා ඔබ නොව.... ඔබ මා නොව..
දවසක්දා.....
හඳුනාගත්තොත් ඔබ මා...
ඒ හඳුනාගැනීම ඔස්සේ පරිච්ඡේදයක්, පොතක් පමණක් නොවු ඇය ගැන අපට බොහෝ දේ අදට වඩා හෙටට කතා කිරීමට  සිදුවනු ඇත....
මාලිනිගේ... ඉන්ද්‍රජාලය
ඔබම වේ.......
 
සඳුන් ගමගේ