නුඹේ උණුසුම් හාදුවෙන් හිත් පිරිමදින සියුමිණි ඔපයංගි
නුඹේ උණුසුම් හාදුවෙන්
මගේ හිත පිරිමදින්න
ආදරේ තව සියුම් තැන් ඇති
ළංවෙලා මට කියන්න
යන්තමට හරි නුඹට හිතුණොත්
මගේ හිත මඟ හරින්න
මතක පැන්‍් ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහින්න.....
මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් ශ්‍රාවක, ප්‍රේක්ෂක හදවත් වැලඳගත් නුඹේ උණුසුම් හාදුවෙන් ගීතයේ සොඳුරුතම හඬ දායකත්වය අලුත් පරපුරේ යොවුන් ගායන ශිල්පීනී සියුමිණි ඔපයංගි ය. මෙවර සඳැල්ල කතාබහට එක්වන්නී ඇයයි.
ප්‍ර සියුමිණිගේ පවුලේ තොරතුරුවලින් ම මේ කතාව පටන්ගමු.
මම ඉපදුණේ නුවර වුණාට දැන් අපි පදිංචිවෙලා ඉන්නේ රාගම බටුවත්තේ. මම ඉස්කෝලෙ ගියේ වත්තල ශාන්ත අානා බාලිකා විද්‍යාලයට. උසස් පෙළ හැදෑරුවේ ගිය වසරේ. ඒ සංගීත විෂය ධාරාවෙන්. විශිෂ්ට සාමාර්ථ තුනක් මට හිමිවුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුවන් තමයි ඉන්නේ. අපේ තාත්තා සංගීත ගුරුවරයෙකු ලෙසත් අම්මා චිත්‍ර ගුරුවරියක ලෙසත් වැඩ කරනවා.
ප්‍ර සංගීතයට යොමුවන්නට අඩිතාලම වැටෙන්නේ ගෙදර තිබුණු පරිසරය නිසාමද?
ඇත්තටම ඔව්. පුංචි කාලෙ ඉඳලම අපේ ගෙදර තිබුණේ කලාකාමී පරිසරයක්. තාත්තා නිතරම ඔහුගේ ගෝලයන්ට ගෙදරදි සංගීතය උගන්වනවා. තරගවලට පුහුණුවීම් කරනවා. මේවා තමයි හැම වෙලාවකම මගේ ඇස ගැටුණේ. හැබැයි මම සංගීතය ට විතරක් සීමා වුණේ නැහැ. චිත්‍රත් ඇන්දා. නර්තනයත් හැදෑරුවා. හැබැයි හය ශ්‍රේණියේදි අපිට එක කලා විෂයක් තෝරාගන්න වෙනවානෙ. එතැනදි මම තෝරාගත්තේ සංගීතය. දවසක් මම පාසල් රැස්වීමකදි ගීතයක් ගායනා කළා. ඒ ගීතය අහපු අපේ පාසලේ සංගීත ගුරුවරිය මාව හොයාගෙන ඇවිත් කිව්වා ඔයා දිගටම සංගීතය හදාරන්න කියලා. ඒ කාරණාවත් එක් හේතුවක්‍් වුණා විෂයක් විදියට සංගීතය හදාරන්න.
ප්‍ර ගායනය නිසා ඉදිරියට යන්න අවස්ථාව උදාවෙන්නේ කොහොමද?
බොහෝ දෙනෙක් මාව දැනහැඳින ගන්නේ රූපවාහිනී රියැලිටි වැඩසටහනකට ඉදිරිපත් වූ නිසා . ඒ වැඩසටහනට මමත් අයියත් දෙදෙනාම සහභාගි වුණා. අපේ අයියටත් හොඳට ගයන්න පුළුවන්. එම තරගාවලියේදි මම අර්ධ අවසන් පූර්ව වටය දක්වාම තරග කළා. ඇත්තටම මට එතැනදි බොහෝ ප්‍රතිචාර ලැබුණා. බොහෝ පිරිස් මාව අගය කළා. ඒ ගායනා දැකලා තමයි මට ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ආරාධනා කරන්නේ වළා තීරයෙන් එහා ගීතය කවර් එකක් කරන්න. ඇත්තටම ඒක නොසිතු ලෙස ලැබුණු ඇරයුමක්. එයට ලැබුණු ප්‍රතිචාර ඉතාමත් ඉහළයි.
ප්‍ර ඔබ ඉහළ තලයකට ඔසවා තැබූ, මේ දිනවල බොහෝදෙනකු කතාබහ කරන නුඹේ උණුසුම් හාදුවෙන් ගීතය ගැනත් කතා කරමු.
ඒ ගීතය ලියන්නේ හර්ෂණී අධිකාරි අක්කා. ඇය ඒ ගීතය ලියන්නේ ඇයගේ මහත්තයාගේ උපන්දිනයට තෑග්ගක් දෙන්න. ඇය ගීතය ලියලා තමයි ගායනය සඳහා මට කතාකළේ. එහි සංගීතය නිර්මාණය කළේ සංගීතවේදී කපිල අපරැක්ක මහතා. ගීතය පටිගත කරලා උපන්දින තෑග්ගත් දුන්නා. ඊට පස්සෙ තමයි කපිල මාමා කිවුෙව මේ ගීතය ලස්සනයි අපි මේක එළිදක්වමු කියා. ඒ ගීතය නොසිතපු විදියට මිනිසුන් අතරට ගියා. ඒ ගැන හිතාගන්නවත් බැහැ. මේ වෙද්දි මිලියන දෙකක් පමණ එය නරඹා තියෙනවා.ඒ ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ ගීතය වෙනුවෙන් සම්බන්ධ වූ හැමදෙනාටම මම ස්තූතිවන්ත වනවා.
ප්‍ර සංගීත ක්ෂේත්‍රයේ නව පරපුර පිළිබඳව ඇතැම් තැන්වල නොයෙක්විද විවේචන, මතවාද පවතිනවා. නවමු ගායන ශිල්පිනියක ලෙස මේ කාරණාව ඔබ දකින්නේ කොහොමද?
මට ප්‍රවිණ ගායන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ උපදෙස් ආදිය ලැබෙන්නේ රියැලිටි තරගයේ සිටමයි. ඇත්තටම අපි මේ ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවානම් ප්‍රවිණ ඇසුර වගේම ඒ පිරිසගේ උපදෙස්, මඟපෙන්වීම් අපට ආශීර්වාදයක් කරගත යුතුයි. ඒ වගේම තමයි අපේ පරපුරේ ඇතැම් අයට විනයක් නැහැ, ප්‍රවිණයන් පිළිබඳව, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව හැහීමක් නැහැ කියන කාරණාව ඇතැම් තැන්වලදී දකිනවා. ඇත්තටම අපි මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳී සිටිනවානම් අපි අපේ වැරදි ආකල්පවලින් බැහැරවිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද අපි රැඳී සිටින්නේ ප්‍රේක්ෂකයා මතනෙ. අපි ඒ පිරිස් ගණන්ගන්නේ නැතිනම් ගමනක් නැහැ. කෙටි කාලයකට ජනප්‍රිය වෙයි. හැබැයි පැවැත්මක් නැහැ. මේ ක්ෂේත්‍රය ඇතුළේ රැඳී සිටිනවානම් එකිනෙකා පිළිබඳ ගරුත්වය, විශ්වාසය හරිම වැදගත්.
ප්‍ර ඔබට ඇරයුම් ලැබෙන්නේම ආදරය විරහව පදනම් වූ ගීත. ඇත්තටම ආදරය ගැන තිබෙන්නේ මොනවගේ අදහසක්ද?
ඇත්තටම තවම මට අවුරුදු විස්සයි. ආදරය ගැන තවම හිතලා නැහැ. ඒත් මට බොහෝ දෙනකුගෙන් ඇරයුම් ලැබෙන්නේ ආදරය, විරහව ගැන ලියැවුණු ගීත ගයන්න තමයි. ඒ මගේ හඬට ගැළපෙන්නේ ඒ ගීත නිසාම වෙන්න ඇති. නමුත් විවිධ තේමා එක්ක, විවිධ සංගීත රටා එක්ක ගීත නිර්මාණය කරන්න කැමැත්තෙන් ඉන්නවා.
ප්‍ර ඔබේ පරපුරේ බොහෝ අය මේ කාලය තුළත් ජනප්‍රියත්වය පතුරවාගන්න හදන්නේ අනුන්ගේ ගීත තුළින්. මේ පිළිබඳව ඔබේ අදහස කවරාකාරද?
ගීත ක්ෂේත්‍රයට අපි එනවිට අපිටම කියලා නිර්මාණ නැහැනෙ. ඒ නිසා අපිට ප්‍රවිණයන්ගේ ජනප්‍රිය ගීත අනිවාර්යයෙන්ම ගායනා කරන්න වෙනවා. ඒ වගේම තමයි අද මුළු ලෝකය පුරාම ජනප්‍රිය කවර් සෝන්ග් කරන්නත් වෙනවා. ඇත්තටම මම හිතනවා අලුතෙන් ගායන ක්ෂේත්‍රයට එන කෙනෙක් කවර් සොන්ග් එකක් ප්‍රථමයෙන් කළාට වරදක් නැහැ කියලා. මොකද අලුත් කෙනෙකුට මිනිසුන් අතරට යන්න පුළුවන් හොඳම අවස්ථාවක් ඒක. ඒකෙ වරදක් දකින්නේ නැහැ.
හැබැයි ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවානම් අපි අලුත් පරපුරේ නිර්මාණකරුවන් විදියට අපේ ම ගීත නිර්මාණය කරගතයුතුමයි. නැතිනම් අපිට ඉතිරි වන්නේ ජනප්‍රියත්වය පමණයි. අපේම කියලා නිර්මාණ නැහැ.
ප්‍ර අලුත් නිර්මාණ ගැනත් කතාබහ කරමු
පසුගියදා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගැයුවේ මම. ඒ ගිතයත් බොහෝ දෙනෙක් වැලඳගත්තා. අලුත් ගීත පහක් පමණ එන්න තියෙනවා. ඒ අතර යුග ගීතත් තිබෙනවා.
සුජිත් ප්‍රසංග