නිමන්ති පෝරගේ කියන්නේ අනූව දශකයේ රංගනයට අවතීර්ණ වෙමින් පුංචි තිරය හැඩ කළ අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ චරිත හරහා ටෙලි තිරයෙන් මුණ ගැසෙන නිමන්ති වර්තමානය වනවිට ටෙලි නාට්‍ය නිෂ්පාදන කාර්යයෙනුත් කලාව වෙනුවෙන් ඇයගේ දායකත්වය දෙන රංගන ශිල්පිනියක්. මේ දිනවල හිරිපොද වැස්ස සහ විසේකාරි ටෙලි නිර්මාණ තුළින් මුණගැහෙන නිමන්ති පෝරගේ සමගිනුයි මේ කතාබහ.
ප්‍ර බොහොම කාලෙකින් පුංචි තිරයේ දකින්නේ. මේ දවස් මොනවද අලුත් තොරතුරු?
අවුරුදු දෙකකින් විතර තමයි රංගනයෙන් විසේකාරි , සහ හිරිපොද වැස්ස කියන ටෙලි නාට්‍ය දෙකට දායක වුණේ. නිෂ්පාදන කටයුතුවලටත් මෙට්ට්‍රෝ හීන ටෙලි නාට්‍යයෙන් පස්සේ තමයි දායක වුණේ. විසේකාරි. හිරිපොද වැස්ස මේ ටෙලි නාට්‍ය දෙකේ රඟපානවාට අමතරව නිෂ්පාදන කටයුතු කරන්නෙත් මා විසින්මයි.
ප්‍ර හිරිපොද වැස්සේ නපුරු කුඩම්මාට නම් අඩු නැතුව බැණුම් ලැබෙනවා ඇති?
අපෝ ඔව් හිරිපොද වැස්සේ නපුරු කුඩම්මාට බැණුම් නම් අඩුවක් නැතුව ලැබෙනවා. හිරිපොද වැස්ස කියන ටෙලි නාට්‍යය වටා ගෙතෙන්නේ ආදර කතාවක්. ආත්මිට ගොඩාක් ආදරේ නිසා කුඩම්මාට දකින දකින තැන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ බැණුම් තමයි. මම කරන කුඩම්මාගේ චරිතයත් එක්ක ආත්මිට සලකන්නේ දරුණු විදිහට. මම මුලදි මේ චරිතේ කරන්න බැහැ කියලාත් කිව්වා. නමුත් අපේ පිටපත් රචක තිමිර උඩලමත්ත මාව ඔළුවේ තියාගෙනමයි මේ චරිතේ ලිව්වේ කියලා ඔහු කිව්වා. පස්සෙ ඉතින් මම ඒ චරිතය කරන්න කැමති වුණා. විසේකාරි ටෙලි නාට්‍යයේ නම් මගේ චරිතේ රම්‍යා. රම්‍යා කියන්නේ අහිංසක චරිතයක්. රම්‍යාගේ චරිතය හරියටම එළියට එන්න තව ටික දවසක් යාවි.
ප්‍ර නපුරු කුඩම්මා වගේ කළු චරිතයක් කරන්නේ පළමු වතාවටද?
මම කලින් කළු චරිත කරලා තියෙනවා. හිරිපොද වැස්සේ නපුරු කුඩම්මාට තරම් බැණුම් අහන චරිත කරලා නම් නැහැ. ඒ නිසා මේ චරිතය මට වෙනස්ම අත්දැකීමක් .
ප්‍ර කොහොම වුණත් ඔබ එක්තරා කාලෙක පුංචි තිරයේ අහිංසක පෙම්වතියට පණ පොවපු ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පිනියක්. රංගනය කියන සීමාවෙන් පිටට ගිහින් චිත්‍රපට නිෂ්පාදනයට දායක වීම රංගන ජීවිතයට කරපු අසාධාරණයක් කියලා හිතුණේ නැද්ද?
මම දැන් වසර 30 කට වඩා කලා ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නවා. මට ඇත්තටම චරිත බදාගෙන රඟපාන්න තණ්හාවක් ඉස්සර ඉඳලාම තිබුණේ නැහැ. දරුවෝ ලැබුණාට පස්සේත් මම රංගනයෙන් විරාමයක් ගත්තා. ඒ වගේ එක එක කාලවලදි පවුලේ වගකීම් වෙනුවෙන් මට රංගනයෙන් විරාමයන් ගන්න වුණා. මගේ සැමියා ප්‍රභාත් මුලින්ම ටෙලි නාට්‍ය කැමරා ශිල්පියෙක්. මම කළේ රඟපාපු එක විතරයි. විවාහ වුණාට පස්සේ අපි කල්පනා කළා ඒක විතරක් කරගෙන අපිට ඉස්සරහට ජීවිතේ ගෙනියන්න අමාරුයි කියලා.
ප්‍රභාත් කලා ක්ෂේත්‍රයෙන් පිට ව්‍යාපාර ගැන හිතන්න කැමති වුණේ නැහැ. මගේ ඔළුවේ තිබුණත් වෙනත් ව්‍යාපාර ගැන ප්‍රභාත් ඒකට කැමති වුණේම නැහැ. ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදනය පැත්තට අත ගහන්න හදද්දිත් මම කිව්වා ඕකට සල්ලි යට කරන්න එපා කියලා. මොකද සල්ලිවලට වඩා නිෂ්පාදන පැත්තට මානසික පීඩනය වැඩියි කියන එක මම දැනන් හිටියා. ප්‍රභාත්ගේ ආසාව තිබුණේම ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න. ටෙලි නාට්‍ය නිෂ්පාදනය පැත්තෙන් මුලදි පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගත්තේ . මුලින්ම ප්‍රභාත් කරපු ටෙලි නාට්‍ය නිෂ්පාදනය තමයි "හිමි නැති පෙමකට" කියන ටෙලි නාට්‍යය 2004 වසරෙදි තමයි කළේ. ඒ ටෙලි නාට්‍යයේ මම තමයි ප්‍රධාන චරිතය කළේ. ඒ ටෙලි නාට්‍ය කරලා විකාශනය කරගන්න අපි අවුරුදු දෙකහාමාරක් විතර හිටියා. ඊට පස්සේ ටෙලි නාට්‍ය කරන්න අපි සමහර නාළිකා වලට විවිධ යෝජනා දුන්නා නමුත් ඒවා භාරගත්තේ නැහැ. අලුතෙන් නිෂ්පාදකවරුන්ට ලොකු තැනක් ඒ දවස්වල නාළිකාවලින් ලැබුණේ නැහැ. ඔහොම ඉද්දි අපි "මිල්ලැව වලව්ව" කරලා ස්වාධින රූපවාහිනියේ විකාශනය කරගන්න අවස්ථාව ලැබුණා. මිල්ලෑව වලව්ව ට හිතා ගන්න බැරි විදිහේ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ ටෙලි නාට්‍ය කිහිපයක් කළා. ඒ විදිහට හඳයා ,හතේ කල්ලිය, වස්සානයේ ප්‍රේමය , මෙට්‍රෝ හීන වගේ දැනට ටෙලිනාට්‍ය 30 ක් විතර අපි නිෂ්පාදන කටයුතු කරලා තියෙනවා. මේක බොහොම හෙමින් දුෂ්කරතා විඳගෙන කටු කාගෙන පාඩු විඳ දරාගෙන ආපු ගමනක්. එතනින් පස්සේ එක දිගට ටෙලි නාට්‍ය නිෂ්පාදන කටයුතු කළා. ටෙලි නාට්‍ය කරගෙන එනකොට අපි දෙන්නාට තිබුණ එකම හිනය තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන එක.
ප්‍ර ඒ හීනයෙ මේ වෙනකොට තත්ත්වය කොහොමද?
ලංකාවේ සිනමාවට තියෙන තැනයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න තියෙන ප්‍රශ්නයි ඇස් දෙකට දැක දැක චිත්‍රපට නිෂ්පාදනයට දායක වෙන්න පොඩි බයකුත් ඇති වුණා. ප්‍රභාත් මම වගේ නෙමෙයි අවදානම් ගන්න බය නැහැ. ඇත්තටම අවධානමක් අරන් තමයි චිත්‍රපට නිෂ්පාදනයට අත ගැහුවේ. අපේ පළමු චිත්‍රපට නිශ්පාදනය තමයි ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු "රිවස්ටන්" චිත්‍රපටය. දැන් එහි අවසන් භාගයේ තමයි ඉන්නේ. තව මාස දෙක තුනක් ඇතුළත රිවස්ටන් රිදී තිරයට ගෙන්න සූදානමක් තියෙනවා.
ප්‍ර ටෙලි නිෂ්පාදන කෙරුවාව ඇතුළේ එදාට වඩා අද තිත්තද ? රසද ?
ඇත්තටම අදට වඩා ඒ කාලේ ටෙලි නාට්‍ය කරන්න පහසුයි. ඒකාලේ සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. නළුනිළියන්ගේ ඉඳලා කණ්ඩායමේ සියළුම දෙනාගේ ලොකු කැපකිරිමක් තිබුණා. ඒ කාලේ කවදාවත් නළුනිළියෝ අතරමග නිර්මාණ දාලා ගියේ නැහැ. වගකීම් කියන දේවල් කවදාවත් පැහැර හැරියේ නැහැ. අද වෙනකොටනම් නළු නිලියන්ගේ වගකීම් විරහිතකම නිසා ටෙලි නිෂ්පාදනය තරමක් තිත්තයි.
ප්‍ර ඒ කියන්නේ අද ඉන්න අය වගකීම් පැහැර හරිනවා කියන එකද?
මේක අද නිර්මාණ කරන හැම නිෂ්පාදකවරයෙකුටම අධ්‍යක්ෂකවරයෙකුටම තියෙන ප්‍රශ්නයක්. දැන් මේ තියෙන සෝෂල් මීඩියා තිරයත් එක්ක එදාට සාපේක්ෂව අද ඉන්න රංගන ශිල්පින් ශිල්පිනියන් හරි කාර්යබහුලයි. ඒවගේම තමයි නිර්මාණයට තියෙන කැපකිරිම අඩුයි. වියදම පැත්තකින් තිබ්බොත්. ගොඩාක් රංගන ශිල්පීන් ශිල්පිනියන් වැඩ කරන්නේ වගකීම් විරහිතව. හැමෝම නෙමෙයි සමහර ශිල්පින් ශිල්පිනියන් එක්ක වැඩ කරන්න හරිම අමාරුයි.නම්‍යශීලි නැහැ. ඒ අයට කැපකිරිම් කරන්න බැහැ. අනිත් එක තමයි දැන් ඉන්න ගොඩාක් නළු නිළියන් නිෂ්පාදන කාර්ය භාර්යය දන්නේ නැහැ. එක නළු නිළියන්ට අමතරව දවසකට 25 ක් විතර වැඩ කරනවා. අපි ෂූට් එකක් පටන් ගත්තාට පස්සේ ඒ කියන නළුවා හරි නිළිය හරි ආවේ නැතත් අපි ඒ කණ්ඩායමටම එදා දවසට ගෙවීම් කළ යුතුයි. නළු නිළියන් නිසා කැන්සල් වෙන ෂුට් එකකට විශාල මුදලක් වතුරෙ යනවා. දැන් ඉන්න නළු නිළියන්ට මේක භාරධූර කාර්යයක් කියන එක ගැන තේරුමක් නැහැ. ඒ අයට හරිම ලේසියි දුරකථනය ඕෆ් කරගෙන ඉන්න. මම මේ කියන්නේ හැමෝම ගැනම නෙමෙයි. නමුත් පොදුවේ ගත්තාම එහෙම නිර්මාණ එපා කරවන නළු නිළියන් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා.
ප්‍ර ඔබ ක්ෂේත්‍රයට එන්නෙත් අවුරුදු 17න් .අද කලාවට එන තරුණ පරපුර ගැන ඔබේ අදහස?
විජය ධර්ම ශ්‍රී මහත්මාගේ නිර්මාණයක් වුණ "කස්තිරම" ටෙලි නාට්‍යයේ මට වයස අවුරැදු 17 යි. මම කස්තිරමේ රඟපාද්දි මට හොඳ ගුරුවරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්ක වැඩ කරන්න, ඉගෙන ගන්න අවස්ථාවන් ලැබුණා . මගේ කලා ජීවිතේට ඒ ප්‍රවීණ ඇසුර ඇත්තටම ලොකු ආශීර්වාදයක් වුණා. අද කලාවට එන අලුත් තරුණ පරපුර ඉතාම දක්ෂයි හොඳයි . මම කියන්නේ වගකිම් විරහිතව වැඩ කරන අය ඉන්නේ හරිම ටිකදෙනයි. මම නවක රංගන ශිල්පිනියක්ව හිටපු කාලේ මා ලබා ගත් දැනුම අද පරපුරට ලෝබ නැතුව දෙනවා. මම හරිම ආසයි අලුත් ළමයි එක්ක වැඩ කරන්න වගේම අලුත් දක්ෂ චරිත ක්ෂේත්‍රයට එනවාට . අපි නිර්මාණයක් කරද්දි වුණත් නිතරම බලන්නේ දක්ෂ අලුත් මුහුණු ක්ෂේත්‍රයට අඳුන්වලා දෙන්න.
ප්‍ර නිමන්ති පෝරගේ රඟපාන්නේ සැමියා නිෂ්පාදනය කරන නිර්මාණවල විතරමද?
ඇත්තටම මම සෑහෙන කාලෙක ඉඳන් රඟපෑවේ ප්‍රභාත්ගේ නිර්මාණවලම තමයි. තාමත් මම රඟපාන්නේ ප්‍රභාත්ගේ නිර්මාණවල විතරයි. සැමියාගේ වුණත් ඒ නිර්මාණය සෙට් එකට ගියාම මමත් සාමාන්‍ය රංගන ශිල්පිනියක් විතරයි. වගකීම එකයි. හැබැයි පිට නිර්මාණවලට දායක නොවෙන්නේ දරුවෝ දෙන්නාගේ වැඩත් එක්ක කාර්යබහුල වෙන නිසා. අපේ කාර්යබහුලත්වය කොච්චර වුණත් කලා වැඩක් භාරගත්තාට පස්සේ ඒ වැඩ අතපසු කරන්න මං කැමති නෑ.
ප්‍ර ජිවිතේ සතුටින්ද?
ජීවිතේ සියයට සියක් කෙනෙක් තෘප්තිමත් වෙනනේ නැහැ. හැම මොහොතක්ම උපරිම සතුටින් ඉන්න උත්සහා කරනවා. කළකිරිම් බිඳවැටීම් තියෙනවා ඕනම ජිවිතයක. සියයට සියයක් නැතත් සියයට 50 කට වඩා මම මගේ ගමන ගැන තෘප්තිමත්. මට හොඳ සැමියෙක් ඉන්නවා හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඊට වඩා වෙන සතුටක් කොයින්ද . පුතා තව මාසෙකින් උසස්පෙළ කරනවා. පුතා පොඩි කාලේ ගොඩාක් නිර්මාණ වල රඟපෑවා. දැන් නම් අධ්‍යාපන කටයුතු නිසා කලා කටයුතුවලින් ටිකක් ඈත් කරලා ඉන්නේ. දුව නම් වැඩිය රඟපාන්න කැමති නැහැ. දරුවෝ යන්න කැමති ක්ෂේත්‍රයකට උදව් කරනවා.
නදීශා අතුකෝරළ