අතවර චෝදනාවෙන් තනතුර අහිමි වූ ඉන්දීය ඇමැති


කාන්තාවන් නිසා අමාරුවේ වැටුණු ලෝක බලවත්තු   

 

 

පසුගිය වසර තුනක පමණ සිට ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දේශපාලනඥයන් හා බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූවන් බොහෝ දෙනකු සම්බන්ධ කර ගනිමින් කාන්තා ලිංගික අතවර පිළිබඳ විශාල කතාබහක් ඇති වී තිබේ. 

 
කාන්තා ලිංගික හිංසනයට එරෙහිව මී ටූ (#MeToo) නම් හෑෂ්ටෑගය යටතේ ලොව පුරා ක්‍රියාත්මක වන විරෝධතා ව්‍යාපාරයට සමගාමීව ඉන්දියාවේ දේශපාලන භූමිකාව තුළ ද මහත් ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක්ම වාර්තා විය. ලිංගික හිංසන පිළිබඳ චෝදනා එල්ල වී සිය ඇමැති තනතුරින් ද ඉල්ලා අස්වීමට සිදුවූ අල්ලපු රටේ දේශපාලනඥ‌යකු ද වූයේය. මේ කියන්නට යන්නේ ගැහැනුන් සල්ලන් කරන්නට ගොස් මහා පෞරුෂයෙන් ගොඩනගා ගත් දේශපාලනයෙන් සදාකල්ම සමුගන්නට වූ අල්ලපු රටේ දේශපාලන බලවතකු ගැනය. ඔහු නමින් එම්.ජේ. අක්බර් ය. මෝදි රජයේ හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන්නේද ඔහුය. දේශපාලනයේ හා මධ්‍යකරණයේ හසල දැනුම් ඔහුට විය.   


මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා චෝදනා එල්ල වූ ඔහුට 2018 වසරේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද සිදු වූයේ මෝදි රජයද දැඩි අපහසුතාවයකට පත් කරමිනි. ඔහුට ලිංගික අතවර චෝදනා එල්ල වූයේ විසි වසරකට පෙර ඔහු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස කටයුතු කරමින් සිටියදී සිදු කළ සිද්ධියක් සම්බන්ධයෙන් වීම ද විශේෂත්වයකි. 

 
මොබෂර් ජාවෙඩ් අක්බර් හෙවත් එම්.ජේ. අක්බර් යනු ඉන්දිය මාධ්‍යවේදියෙක් සහ දේශපාලනඥයෙකි. රාජ්‍ය සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ඔහු 2016 ජූලි 5 දින අගමැති නරේන්ද්‍ර මෝදි විසින් යූනියන් ඇමැති මණ්ඩලයට ඇතුළත් කර ගන්නා ලදී.   


ඔහු ඉන්දියාවේ ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම පොත් කිහිපයක කතුවරයෙකි. 1989 සහ 1991 අතර කාලයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රථමයෙන් තේරී පත්ව කටයුතු කළේය. 2014 මාර්තු මාසයේදී ඔහු භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූ අතර, 2014 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ ජාතික ප්‍රකාශක තනතුරට පත් වුණි. මෝදිගේ නායකත්වයෙන් යුතු පක්ෂය සරල බහුතරයක් සහිතව බලයට පත්වූ 2015 ජූලි මාසයේදී ඔහු ජාර්කන්ද් ප්‍රාන්තයෙන් රාජ්‍ය සභාවට තේරී පත්විය. ඔහුගේ දිගුකාලීන පුවත්පත් ජීවිතයේදී, ඔහු කර්තෘ ලෙස ඉන්දියාවේ ටුඩේ, හෙඩ්ලයින්ස් ටුඩේ, ද ටෙලිග්‍රාෆ් ඇතුළු ඉන්දියාවේ පළමු සතිපතා දේශපාලන පුවත් සඟරා ආරම්භ කළේය.   


ඔහු නේරුගේ චරිතය, නේරු: ද මේකිං ඔෆ් ඉන්ඩියා, කාශ්මීරය පිළිබඳ පොතක්, වැල් පිටුපස කැරැල්ල සහ කැරැල්ල සහ ඉන්දියාව: වැටලීම ඇතුළත්ව යන පොත් ඇතුළුව ප්‍රබන්ධ නොවන පොත් කිහිපයක් ලියා ඇත. ඔහු ජිහාද්හි ඉතිහාසයක් වන The Shade of Swords කෘතිය ද රචනා කළේය. තවද ඉතාලි බසින් ලියැවුණු ප්‍රබන්ධ ග්‍රන්ථ ද රචනා කර ඇති දක්ෂ නිර්මාණකරුවකු ද වේ.   


2018 ඔක්තෝබර් 17 දින අක්බර් වසර ගණනාවක් තිස්සේ ඔහු සමඟ වැඩ කළ බොහෝ කාන්තාවන් මතු කළ ලිංගික හිංසන චෝදනා හේතුවෙන් ඉල්ලා අස්විය. කෙසේ වෙතත් අක්බර් එවැනි සියලු‍ චෝදනා ප්‍රතික්ෂේප කළේය. එම චෝදනා අසත්‍ය, ගොතන ලද සහ දැඩි පීඩාවට පත් කරන ලද චෝදනා ලෙස හැඳින්වීය.   
සිය තනතුරින් ඉල්ලා අස්වීම ගැන නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, නීතියෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වන තමන් සදාචාරාත්මක ලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවය.   
රාජ්‍ය අමාත්‍ය අක්බර් තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කළ තැනැත්තිය වූයේ ප්‍රියා රමණි නමැති ජනමාධ්‍යවේදිනියයි. ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා තමන්ට චෝදනා කළ එම මාධ්‍යවේදිනියකට එරෙහිව රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර් අපහාස නඩුවක් ගොනු කිරීමට ද කටයුතු කළේය.   


මාධ්‍යවේදිනී ප්‍රියා රමණි අමාත්‍යවරයාට කළ චෝදනාවත් සමග ඔහු “බලහත්කාරකම්”‍ කළ බවට තවත් කාන්තාවෝ කිහිප දෙනෙක් චෝදනා කළහ. මේ අතර, සිද්ධිය සම්බන්ධයන් නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යවේදිනී ප්‍රියා රමණි පැවසුවේ, අසත්‍ය ප්‍රකාශ කළ බවට ඇයට එරෙහිව නගා ඇති චෝදනාවලට එරෙහිව සටන් කිරීමට තමන් සූදානම් බවය.   


ඔහුට එරෙහිව කාන්තාවන් රැසක් බරපතළ චෝදනා එල්ල කර තිබියදී බියගැන්වීම් සහ හිරිහැර කිරීම් හරහා ඔවුන් නිහඬ කිරීමට උත්සාහ කිරීම පිළිබඳව බෙහෙවින් කනස්සල්ලට පත්වන බව ඇය සඳහන් කළාය.   


ප්‍රියා රමණිට නඩු පැවරීමෙන් නොනැවතුණු නියෝජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර්, තමන්ට එරෙහිව චෝදනා කළ අනෙක් කාන්තාවන්ට එරෙහිව ද නඩු පවරන බවට තර්ජනය කර තිබේ. ඉන්දීය #MeToo ව්‍යාපාරය මගින් මේ දක්වා චෝදනා එල්ල වූ දැවැන්තම චරිතය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වේ. ඔහුට එල්ල වී ඇති චෝදනා ‘බලහත්කාරී හැසිරීමේ’ සිට සම්පූර්ණයෙන්ම ලිංගික හිරිහැර කිරීම දක්වා පරාසයක පවතී.   


තමාට එල්ල වූ මෙම චෝදනා සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අක්බර් සඳහන් කළේ, 2019 වසර් පවත්වන මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙම චෝදනා හිතාමතා එල්ල කරන බවය. “මහ මැතිවරණයට මාස කීපයක් තියෙද්දී මේ කුණාටුවක් එන්නෙ ඇයි? මෙතන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනව ද? ඔබම විනිශ්චය කරන්න.”‍ ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.   


ඉන්දියාවේ #MeToo ව්‍යාපාරයේ වේගවත් බව හා බලපෑම හමුවේ, 2018 ඔක්තෝබර් 17 වැනිදා විදේශ රාජ්‍ය ඇමැති අක්බර් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.   


“මගේ පෞද්ගලික මට්ටමින් උසාවියක යුක්තිය ඉටු කිරීමට මම තීරණය කර ඇති හෙයින්, තනතුරෙන් ඉවත් වී මට විරුද්ධව එල්ල වන අසත්‍ය චෝදනාවන්ට අභියෝග කිරීම සුදුසු යැයි මම සලකමි.”‍ යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.   


ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කළ මාධ්‍යවේදී ප්‍රියා රමණිට එරෙහිව නඩු පැවරීමෙන් දින දෙකකට පසුව ය. ඔහු තමාට එරෙහි චෝදනා ‘පදනම් විරහිත’ සහ ‘ගොතන ලද’ ඒවා ලෙස හැඳින්වීය.  


“එම්.ජේ. අක්බර්ගේ ඉල්ලා අස්වීමෙන් කාන්තාවන් වශයෙන් අපට සාධාරණයක් සිදු වන බව අපට හැඟේ. උසාවියේදී මට සාධාරණයක් ඉටුවන දිනය එනතුරු මම බලා සිටිමි.” අක්බර්ට මුලින්ම චෝදනා කළ රමණි සමාජ මාධ්‍ය ඔස්සේ හඬ නගා කියා සිටියාය.   


ඔහුට එරෙහිව ලිංගික අපචාර චෝදනා යටතේ කාන්තාවන් 20කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වූ පසු, ඔහුට තවදුරටත් ඇමැතිවරයකු ලෙස කටයුතු කළ නොහැකි විය.


මීට වසර තුනකට පෙර මාධ්‍ය සහ විනෝදාස්වාදය සඳහා බලවත් පුද්ගලයන් විසින් ලිංගික හිංසනය සහ අපයෝජනය කිරීමේ චෝදනා වැඩි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරම්භ කළ ‘මී ටූ’ හෑෂ් ටැග් ව්‍යාපාරය ඉන්දියාවේද දියත් වීම හරහා එතැන් සිට ලිංගික හිංසනයේ සිට ස්ත්‍රී දූෂණය දක්වා අපරාධ සඳහා මාධ්‍ය, විනෝදාස්වාදය සහ කලා ලෝකයේ දුසිමකට අධික සංඛ්‍යාවකට චෝදනා එල්ල වී තිබේ.  
 මාධ්‍යවේදනී ප්‍රියා රමණි තමාට අපහාස කොට ඇතැයි පවසමින් හිටපු ඇමැති එම්.ජේ. අක්බර් ගොනු කළ අපහාස නඩුවේදී මාධ්‍යවේදී ප්‍රියා රමණි නිදොස්කොට නිදහස් කිරීමට ඉන්දීයාවේ දිල්ලි මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කරනු ලැබුවේ වසර 3 ක් පුරා පැවති එම නඩු විභාගය මේ වසරේ පෙබරවාරි මාසයේදී අවසන් කරමිනි.   


දශක ගණනාවකට පසුවත් කැමති ඕනෑම වේදිකාවක් ඉදිරියේ දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට කාන්තාවකට අයිතියක් ඇත. නියෝගය කියවමින් අධිකරණය කියා සිටියේ එම චෝදනා සමඟ සමාජ අපකීර්තියක් ඇති බවයි. ලිංගික හිංසනයේ හා පීඩාවට පත් වූවන්ගේ බලපෑම සමාජය තේරුම් ගත යුතුය. දුක් ගැනවිලි ඇත්නම් නැවත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ද අධිකරණය සඳහන් කළේය.   


තීන්දුවෙන් පසු ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් රමණි කියා සිටියේ “රැකියා ස්ථානයේ ලිංගික හිංසනයට එරෙහිව මෙතෙක් කතා කළ සියලු‍ම කාන්තාවන් වෙනුවෙන් තමා වරදකරු වූ බවත්, නමුත් දැන් සත්‍ය ජයගෙන අවසන්.” බවත්ය. 

 

 

ඉන්දියන් එක්ස්ප්‍රස් / අල් ජසීරා 
වෙබ් අඩවි ඇසුරෙනි.   
සටහන - තිළිණි ද සිල්වා