රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-9
පාතාල ලෝකයේ වීරයෙක් බවට පත්වීමේ තවත් පියවරක් ඉදිරියට යාමට ඩැනී හිත්තැටිය ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූද මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයා වූද හර්ෂ යසස් ශ්‍රී ජයසේකර ඝාතනය කිරීමෙන් සමයංට හැකියාව ලැබිණ. ඒ කිරුළේ පිපාසාව ජල බිඳකින් තොල කට තෙමා සංසිඳවිය හැක්කක් නොවේ. ඒ නිසා අරුණ දමිත් උදයශාන්ත පතිරණ නොහොත් සමයං තව තවත් අපරාධ කරමින් ඉදිරියට යන්නට මාන බැලුවේය. ඔහුගේ ඊළග ඉලක්කය වූයේ කඩුවෙල පාතාලයේ තනි අයිතිය තමන් අතට ගැනීමට ප්‍රධානම බාධකය වූද හර්ෂ සමඟ එක්ව තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කළ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඝාතනය කිරීමය.
ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම යෙදුවේය. එහෙත් අංගොඩ ලොක්කා එළියට ගැනීමට සමයංට නොහැකි විය. ඔහු දෙවැනි උපක්‍රමය යෙදුවේය. ඒ තාත්තාට උණ ගැනෙන්නට පුතාට පහරදීමේ න්‍යාය අනුව යමින් අංගොඩ ලොක්කාගේ දකුණත වන් මුල්ලේරියාවේ පදිංචි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරං ඝාතනය කිරීමට සැලැසුම් කළේය. සැලසුම අනුව 2017 ජනවාරි 05 වැනිදා රත්තරං වෙඩි තබා ඝාතනය කළේය. රත්තරං ඝාතනය කර ලොක්කාට රිදවීමේ අරමුණ සේම එයින් ඔහු තුළ තැතිගැන්මක් ඇති කිරීම සමයංගේ එක් අරමුණක් විය. එසේම තමන්ගේ දකුණත වන් රත්තරංගේ මළගෙදරට නෑවිත් සිටීමට ලොක්කාට කිසිසේත්ම නොහැකිය. ඒ නිසා වෙන කිසිම කාරණාවක් සම්බන්ධයෙන් එළියට නොඑන ලොක්කා මළගෙදරට පැමිණෙද්දී ඝාතනය කිරීම දෙවැනි අරමුණය. එහෙත් සමයංට වැරදුණේය. මඟ රැක සිටියත් සමයංගේ ගෝලයන්ට ලොක්කා කොටුකරගත නොහැකි විය.
සමයං ඊළඟ පියවර ද ගත්තේය. ඒ ලොක්කාගේ වමත වන් වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා ඝාතනය කිරීමය. ඒ සඳහා සැලසුම් සකස් කෙරිණ. සමයං ඒ වගකීම භාර දුන්නේ පැටීට හා කැලුම්ටය. ඔවුන් දෙදෙනා බණ්ඩා ගැන ඔත්තු බලා ඔහු ගමන් කරමින් සිටි වෑන් රථයට මාලෙබ් අරංගල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. එහෙත් එයින් බණ්ඩාට කිසිවක් සිදුවූයේ නැත. බණ්ඩා තවදුරටත් නිරුපද්‍රිතව සිටියදී පැටී හා කැලුම් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අත්අඩංගුවට පත්විය.
පැටී හා කැලුම් රිමාන්ඩ් බන්ධනාගාරගත වූ අතර බණ්ඩා ඝාතනය කිරීමට නොහැකි වීම ගැන ඔවුන් සිටියේ තමන් ගැනම වූ දැඩි කෝපයකිනි. එහෙත් දැන් ඔවුන් තවත් ශක්තිමත්ය. ඒ සමයං සමඟ මුහුණට මුහුණ හමුවී බණ්ඩා ඝාතනයට සැලසුමක් සකස් කළ හැකි පරිදි ඔවුන් එකම තැනකදී හමුවී ඇති බැවිනි. තිදෙනාම සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. අපරාධ සැලැසුම් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් බන්ධනාගාරය තරම් ආරක්ෂිත, බන්ධානාගාරය තරම් පහසුකම් ඇති තැනක් තවත් නැත. සමයංට ඒ වාසනාවන්ත තැන හමුවී තිබිණ. ඒ සඳහා අවශ්‍ය ගෝලයින් ද පොලිසිය ඔහු දෙපා ළඟටම ගෙනවිත් දී තිබේ. ඉතිං තවත් කුමට පමා වන්නේද? පැටී හා කැලුම් සමයං සමඟ එකතුව විවිධ සැලසුම් සාකච්ඡා කළහ. එහෙත් ඒ කිසිවක් සාර්ථක ඒවා නොවන බව සමයංගේ අදහස විය.
එහෙත් එක් අවස්ථාවකදී සමයංට හොඳ උපක්‍රමයක් ලැබිණ. ඒ කැලුම්ගේ මාර්ගයෙනි. කැලුම්ගේ දුර ඥාතිකමක් ඇති සහෝදරිය වන මංජුලා සඳුනි අබේරත්න, අංගොඩ ලොක්කාගේ කල්ලිය සමඟ සමීප ඇසුරක් පවත්වන්නියකි. ඇය සැමියාගෙන් ඈත්ව කලක් අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන ලඩියාගේ සහෝදරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇත. එහෙත් ඇය බණ්ඩාගේ ඝාතනයට ටික කලකට පෙර ඒ සබඳතාව බිඳ වැටුණේ ඇය වෙනත් සබඳතාවක් ආරම්භ කර ඇතැයි ඇති වූ සැකයක් මතය. ඒ අනුව ලඩියා හා මංජුලා අතර සබඳතාව ද බිඳ වැටිණ. එහෙත් ලඩියාගේ සමීපතමයෙක් වූ බණ්ඩා තවදුරටත් මංජුලා සමඟ ගනුදෙනු කළේය. ඔහු පේෂල් කර ගැනීම සඳහා පැමිණෙන්නේ මංජුලා වෙතටය.
මේ බව දන්නා කැලුම් මංජුලාට කතා කර උදව්වක් ඉල්ලා සිටියේ බැහැයි නොකියන ලෙස ඉල්ලමිනි. බැහැ කියනවාද නැද්ද කියන්න අවශ්‍යතාව කියන්නැයි ඇය කැලුම්ට පැවසුවාය.
කැලුම් ඇයගෙන් ඉල්ලා සිටියේ බණ්ඩා පේෂල් කරගැනීමට පැමිණෙන දිනය හා වේලාව තමන්ට දැනුම් දෙන ලෙසය. මංජුලා මුලින්ම එයට එකඟ වූයේ නැත. එහෙත් දීර්ඝ සාකච්ඡාවකින් පසු ඇයගේ ආරක්ෂාව ගැන තමන් සලකා බලන බවට හා තවත් ගනුදෙනු පිළිබඳ සාකච්ඡාවකින් පසු මංජුලා එයට එකඟ වූවාය.
සමයං ඊළඟ පියවර ද ගත්තේය. ඒ ලොක්කාගේ වමත වන් වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා ඝාතනය කිරීමය. ඒ සඳහා සැලසුම් සකස් කෙරිණ. සමයං ඒ වගකීම භාර දුන්නේ පැටීට හා කැලුම්ටය. ඔවුන් දෙදෙනා බණ්ඩා ගැන ඔත්තු බලා ඔහු ගමන් කරමින් සිටි වෑන් රථයට මාලෙබ් අරංගල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. එහෙත් එයින් බණ්ඩාට කිසිවක් සිදුවූයේ නැත. බණ්ඩා තවදුරටත් නිරුපද්‍රිතව සිටියදී පැටී හා කැලුම් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ අත්අඩංගුවට පත්විය.
මේ අතර අල්විස්වත්තේ පැටී මහත්තයා අනෙකුත් කටයුතු සැලසුම් කළේය. ඔහු මුලින්ම මද්දාට කතා කළේය. අවශ්‍යතාව ගැන ඔහු දැනුවත් කළේය. පසුව රණාලේ ගරාට කතා කළේය. ඔහුට කතා කර මද්දා රැගෙන යකාලේ දුලිප් වෙත යන ලෙස දැනුම් දුන්නේය. දුලිප් යනු ත්‍රීරෝද රථ රියැදුරෙකි. බණ්ඩා අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයට ළඟදීම දිනයක පැමිණෙන බවත් ඔහු පැමිණෙන දිනය හා වෙලාව පසුව දැනුම් දෙන බවත් ඒ දිනයේදී ඔහුව ඝාතනය කිරීමට සූදානම්ව සිටිය යුතු බවත් පැටී ගරාට උපදෙස් දුන්නේය. පැටී පැවසූ ලෙස මද්දා රැගෙන දුලිප්ගේ නිවසට ගිය ගරාට පැටී ටී-56 ගිනි අවියක් ද සැපයුවේය. ඔවුන්ට භාර වූයේ වෙඩි තැබීමට අදාළ පුද්ගලයා ඔවුන් වෙත යොමු කළ පසු ඔහු මද්දා සමඟ ඉහත කී රූපලාවණ්‍යාගාරය වෙත රැගෙන යාම හා වෙඩි තැබීමෙන් පසු ඔවුන් දෙදෙනාට ආරක්ෂාව සැපයීමය. ඒ සඳහා දුලිප්ගේ ත්‍රීරෝද රථය යොදාගැනීමට නියමිත විය.
පැටීගේ උපදෙස් අනුව ගරා මද්දා සමඟ දුලිප්ගේ නිවසට පැමිණ අදාළ කරුණු සාකච්ඡා කර එකඟතාවකට පැමිණියේය. ඒ සඳහා වන ගනුදෙනුවට අලුත් ජංගම දුරකථනයක් හා සිම්පතක් ද ලබාගැනීමට පැටීගෙන් නියෝග ලැබිණ. දින කීපයකට පසු එනම් ජනවාරි 16 වැනිදා සවස කැලුම්ට මංජුලාගෙන් පණිවුඩයක් ලැබිණ. ඒ පසුදින පස්වරු පහට බණ්ඩා පේෂල් කරගැනීමට යොදාගත් බවටය. ඒ අනුව නැවත පැටී ගරාට කතා කර අවශ්‍ය තොරතුරු දැනුම් දුන්නේය.
මේ අතර පැටී අලුත් සිම්පතක් ගත්තේය. ඝාතනය සැලසුම් කළ දිනයේ මුලින්ම කැලුම් මංජුලාට කතා කළ අතර පසුව එයට පැටී සම්බන්ධ විය. ඔහු ඇයට ඇමතුම් ලබාදුන්නේ අලුත් සිම්පතෙනි. නියමිත වෙලාව ආසන්න වනවිට මද්දා සහ පිරිස ද සූදානම්ව සිටියහ. පැටී අවශ්‍ය වෙලාවට ඔවුන් වෙත වෙඩික්කරු සැපයුවේය. ඔහු ආමි අසංකය. ඒ සඳහා ඔවුන් යතුරුපැදියක් ද සොයාගත්තේ හෝමාගම ප්‍රදේශයෙන් සොරකම් කරමිනි. මද්දා හා වෙඩික්කරු යතුරුපැදියෙන් ගමන් ගත් අතර ගරා හා දුලිප් ත්‍රිරෝද රථයෙන් ගොස් ඒ ආසන්නයේ රැඳී සිටියහ.
එහෙත් බණ්ඩා කතාකරගත් වෙලාවටම පැමිණියේ නැත. ඔහු පැයක් පමා විය. පස්වරු පහයි හතළිස් පහට පමණ පැමිණි බණ්ඩාට මංජුලා පේෂල් එකක් දැම්මාය. දෑස් මත පිපිඤ්ඤා පෙති දෙකක් ද තබා මඳ වේලාවක් එලෙස සිටින ලෙස දැනුම් දුන්නාය. ඒ අතර මඳක් එළියට ගිය ඇය පැටීට කතා කර සියල්ල සූදානම් බව පැවසුවාය. පස්වරු පහත් හයත් අතර කාලය තුළ ඇය ඇමතුම් දහයක් පමණ පැටීගේ නව දුරකතන අංකයට ගෙන තිබුණේ සිතේ චකිතය නිසාත් පැටීලාගෙන් ඉදිරිපත් වන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහාත් වන්නට ඇත. කෙසේ වුවද පණිවුඩය ලද පැටී මද්දාට ඒ බව දැනුම් දුන්නේය. රූපලාවණ්‍යාගාරයේ තවත් අය සිටිය නිසාත් බණ්ඩා පේෂල් කර සිටිය නිසාත් හඳුනාගත නොහැකිව ඇතුළට ගොස් අන්දමන්දව බලා සිටිනා මද්දාට මංජුලා ඇහෙන් ඉඟිකර බණ්ඩා පෙන්නුවාය. ඒ සමඟම වෙඩි වරුසාවක් පිටවූ අතර මංජුලා කිසිවක් නොදන්නා ලෙසට කෑ ගසමින් එළියට දිව්වාය. ඒ අසල සිටි අනෙක් පිරිස ද හිස් ලූලූ අත දිව ගියහ.
බණ්ඩාට දිව යන්නට ඉඩක් ලැබුණේ නැත. පේෂල් කර පිපිඤ්ඤා පෙති දෙකක් දෑස් මත තබාගෙන සිටි බණ්ඩාට දෑස් සීතලව තිබියදී උණුසුම්ව ගලායන තමන්ගේ රුධිරය ගැනවත් සිතන්නට වෙලාවක් නොවන තරම් වේගවත් මරණයක් උරුම වී තිබිණ. මද්දා හා අසංක ආපසු යතුරුපැදිය සොයා පැමිණියත් එය අදාළ ස්ථානයේ නොවූණේ කිසිවකු තමන්ගේ මෝටර් රථය ඉවතට ගැනීමට හෝ ගාල් කිරීමට ඉඩ ලබාගැනීම වෙනුවෙන් යතුරුපැදිය පසෙකට කර තිබීම නිසාය. කලබලයෙන් පැමිණි දෙදෙනාට එය සොයා බැලීමට කාලයක් නොවීය. කලබලයෙන් දුවන අය අතරේ දිව ගිය මේ දෙදෙනා දැක පැමිණි දුලිප් ඔවුන්ව සිය ත්‍රිරෝද රථයට නංවා ගත්තේය.
සමයංගේ ඉලක්කය අඩකින් සැපිරිණ. ලොක්කාට රිදවීමට හැකි ලෙස ඔහුගේ සගයෙක් ගොදුරු කරගන්නට ඔහුට හැකිවිය. ඝාතනය සිදුකර වූ සමයං ආරක්ෂිතව බන්ධනාගාරයේය. ඔහුගේ අණ අනුව කටයුතු කළ ගෝලයින් පොලිසියට බයේ සැඟවෙන්නට තැන් සොයති.
ඔවුන් පලාගිය ද පොලිසියට ඔවුන් අල්ලාගැනීම අපහසු නොවිණ. පොලිසිය රූපලාවණ්‍ය ශිල්පිනිය ගැන සැකයක් ඇතිකර ගත්තේ බණ්ඩා එහි පැමිණෙන බව සමයංලාට දැනගන්නට වන්නේ ඇයගෙන්ම බවට වූ අදහස නිසාය. ඒ අනුව පොලිසිය ඇය ලුහුබැන්දේය. එයට පෙර මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවෝ එක එක්කෙනා විටින්විට අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. පසුව මංජුලාව ද අත්අඩංගුවට ගනු ලැබිණ. ඇගේ දුරකථන සබඳතා පිළිබඳව පරීක්ෂා කිරීමෙන් පසු මේ ගනුදෙනුවේ සුල මුල සොයා ගැනීම අපහසු නොවිණ. මාස ගණනාවක් ඇය රිමාන්ඩ් බන්ධනාගාරගත විය.
බන්ධනාගාරය කෙතරම් ආරක්ෂිත වුවත් සෑම සැකකරුවකුටම එයින් එළියට එන්නට දිනයක් උදා වේ. ඒ නඩු වාර සඳහා ඉදිරිපත් වීමටය. ඇතැම්විට ඔවුන්ට ඇප ලැබෙනු ඇත. සමයංටත් ඔහුට උදව් කළ මංජුලාටත් මේ තත්ත්වය නරක ලෙස බලපෑවේය. සමයං ලබාදුන් පණිවුඩයෙන් තව තවත් බියට පත් අංගොඩ ලොක්කා දැන් නම් මරාගෙන මැරෙන්න හෝ සමයං සමඟ මුහුණට මුහුණ සටනට බැසිය යුතු යැයි තීරණය කළේය.
ලොක්කාගේ සටනට මධූෂ්ගේ උදව් ලැබුණේ කෙසේදැයි අපි ලබන සතියේ කතා කරමු.
මුදිතා දයානන්ද