කාලානුරූපව බිහිවෙන විවිධ කලාවන් අතුරින් වත්මනෙහි තාරුණ්‍යය අතර වැඩි නැමියාවක් ඇතැයි පෙනෙන කලාවක් ලෙස “ටැටූ කලාව” හැඳින්විය හැක. ලංකාවේ ටැටූ කලාව පිළිබඳ කතා කිරීමේ දී - එම ශිල්පයේ බොහෝ කාලයක සිට කටයුතු කරන, ඊටත් වඩා “ඇසක් තුළ” ලංකාවේ පළමු වරට “ටැටූ නිර්මාණයක් සිදු කළ” පවී ප්‍රනාන්දු යන නාම ලාභියාට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකැයි කීම කිසිවෙකුත් අතිශයෝක්තියක් ලෙස සළකන්නේ නැත. අතිශය ජනප්‍රිය මේ ටැටූ කලාව පිළිබඳවත් , එකී කලාවේ ප්‍රමුඛතමයෙකු වෙන පවී ගේ වං හුං පිළිබඳවත් දැනගැනීමට - “සැඳැල්ල” ඔහු සමග නියැළුණු පිළිසඳරෙහි සංක්ෂිප්ත සටහනයි මේ.
ප්‍ර ඔබ මේ ටැටූ කලාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
ටැටූ කලාවට ඇවිත් දැනට අවුරුදු 15ක් වගේ වෙනවා. මම මේ කලාව ගොඩක් වෙලාවට තනියම තමයි ඉගෙන ගත්තේ. චිත්‍ර ඇඳලා පුරුදු වෙලා Self Learning කරා. වැරදි වැරදි මම ඉගෙන ගත්තා. හරියටම මේ දේවල් ඉගෙන ගත්තේ ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙලා. ඒවගෙදි ආර්ටිස්ලා එක්ක සම්බන්ධ වෙලා නොදන්න දේවල් අහගෙන එහෙම තමයි මම මේ කලාව දියුණු කරගත්තේ.
ප්‍ර ටැටූ නිර්මාණය කියන්නේ විශාල වගකීමක් නේද?
ඇත්තටම ලොකු වගකීමක්. මොකද කෙනෙකුගේ ලේ වලට කිසි දෙයක් මිශ්‍ර නොවෙන්න සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ටැටූ නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ Hygienic international guide line අනුගමනය කරලා - ඒ පිළිබඳ අවබෝධයෙන් වගකීමකින් මේ කලාව කරන්න ඕනෑ. විශේෂයෙන් ටැටූ කරන්න එන අයගේ සෞඛ්‍ය තත්ත්වය, ඔවුන්ගේ සම පිළිබඳ අවබෝධයකින් තමයි ටැටූ එකක් නිර්මාණය කරන්න ඕනෑ. කිසිම හානියක් නොවෙන්න ටැටූ එකක් ගහන්න අනිවාර්යයෙන් දැනුම තිබිය යුතුයි.
ප්‍ර ඔබ සහභාගි වූ ටැටූ තරග මොනවද?
මම ඉන්දියාවේ තරග දෙකකට සහභාගි වුණා. ඒ වගේම තව මාස දෙකකින් තායිලන්තයේ තරගයකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මේ තරගවලට ඇත්තටම යන්නේ දැනුම ලබා ගන්න සහ මගේ හැකියාව දියුණු කරගන්න. අපේ ලංකාව ඇතුළෙ තිබෙන ටැටූ තාක්ෂණය හැමදාම එකම ටිකක් තියෙන්නේ. අපේ රටේ Update එකක් නැහැ ටැටූ කලාවේ. ටැටූ එකක් ගත්තම ඒ ටැටූ එකම ගොඩක් අය කොපි කරනවා. එහෙම නැතුව එක්කෙනෙකුට විතරක් Design කරන එක තමයි හරි කලාව. කෙනෙක්ට ටැටූ එකක් ගහනව නම් එයාගේ ශරීරයට, ඇගේ හැඩයට, පාටට ගැළපෙන විදිහට ඒක Design කරන්න ඕනෑ. එතකොට තමයි ටැටූවල වටිනාකම ඇති වෙන්නේ.
ප්‍ර මේ ටැටූ කලාව ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ?
චිත්‍ර කලාව ගත්තම අපිට චිත්‍රය කොළයක, ගහක, පොතක වගේ අඳින්න පුළුවන් වුණාට ටැටූ කියන්නේ මනුෂ්‍යයාගේ සමේ අඳින දෙයක්. ඒ නිසා මේ කලාව කරනව නම් නිවැරදිව සමට හානියක් නොවෙන්න කරන්න ඕනෑ. ඉතා පිරිසිදුව, සෞඛ්‍යාරක්ෂිතව, අවබෝධයෙන්, ශරීරය ගැන මනා දැනුමකින්, සමේ තිබෙන ලපකැලැල්, තුවාල බෝ වෙන රෝග තිබෙනවද ඒ දේවල් ගැන දැනුවත්ව හරිම ප්‍රිය මනාපව ආදරෙන් කරන්න අවශ්‍යයි. ඒ නිසා ටැටූ කියන්නේ හරිම බැරෑරුම් වගකීම් සහගත සදාකාලික කලාවක්. ටැටූ එකක් අවුරුදු සියයක් දෙසීයක් ගියත් පවතිනවා.
ප්‍ර ටැටූ කියන්නේ ශරීරයට අහිතකරයි කියලා මතයක් තිබෙනවා නේද?
ටැටූ ගහන එක ශරීරයට අහිතකර වෙන්නේ ඒ කලාවේ නියැළෙන කෙනා අනුව. අනාරක්ෂිතව පිළිවෙළක් නැතුව ටැටූ නිර්මාණය කරන නිසා තමයි ලෙඩ රෝග හැදෙන්නේ. ටැටූ Studio එකක් පිරිසිදුව අදාළ කෙමිකල් වර්ග දාලා පිළිවෙළට තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්න අවශ්‍යයි. ලෙඩ රෝග බෝ නොවෙන්න නම් අලුත් අත්වැසුම් පාවිච්චි කිරීම, මැෂින් පිරිසිදු කිරීම, අවශ්‍ය ද්‍රව්‍යවල කල් ඉකුත් වී ඇත්ද යන්න සැලකිලිමත් වීම, එක ටැටූ එකකදී පාවිච්චි කරන බඩු ඒ පුද්ගලයාට පමණක් යොදා ගැනීම වගේ දේවල් කරන්න ඕනෑ.
ප්‍ර ලංකාවේ ටැටූ කලාවට මොන වගේ තැනක් ද තියෙන්නේ ?
ලංකාවේ සියයට 50ක් විතර මේ ටැටූ කලාව එක්ක ඉන්නවා. ප්‍රතික්ෂේප කරන අයත් ටික කාලයකින් මේ කලාව එක්ක එකතු වෙනවා. ටැටූවලට ආදරේ කරනවා. ඒකට හේතුව තමයි දැන් ලංකාවේ ගොඩක් ටැටූ ආර්ටිස්ලා බිහි වෙලා ඉන්නවා. දවසකට ටැටූ Shop 100-200 වගේ බිහි වෙනවා. ඒ වගේ ටැටූ කලාව ලංකාවේ ව්‍යාප්ත වී ගෙන යනවා. මේකෙ හොඳ පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා. මේ ටැටූ ගහන්න පටන් ගන්න හැමෝම හොඳ දැනුමක් තිබෙන අය නෙවේ. එහෙම වුණාම ටැටූ ගහන්න එන අයට හානිය වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව දැනුමත් එක්ක මෙහෙම පටන් ගන්නවනම් විදේශ විනිමය උපයන තැනට ටැටූ කලාව ගේන්න පුළුවන්.
ප්‍ර රටින් රටට මේ ටැටූ කලාව වෙනස් වෙනවද?
ඔව්. ලංකාවේ ටැටූ කලාව මෙරට සංස්කෘතිය මුල් කරගෙන කරනවා හරි අඩුයි. මේ රටේ සිද්ධ වෙන්නේ Copy Paste කිරීමක්. ඒ කියන්නේ කෙනෙක්ගේ ටැටූ එකක් බලලා තවත් කෙනෙක් ඒක ගහනවා. අලුත් සංකල්පයක් හදලා ඒක Design කරලා ටැටූ එකක් කරන්න පුළුවන් ආර්ටිස්ලා හරිම අඩුයි ලංකාවේ. Professional Artist කට්ටිය තමයි ඒ වගේ අලුත් දේවල් හොයලා කරන්නේ. අපි තාම ප්‍රාථමික මට්ටමේ ඉන්නේ. නමුත් අනෙක් රටවල් ගත්තට පස්සේ Traditional සංස්කෘතික දේවල් තමයි එයාලගේ ටැටූ නිර්මාණ වලට ගන්නේ. විශේෂයෙන් වෙස්මුහුණු, දෙවි රූප, විශ්වාසයන් වගේ දේවල් තමයි එයාලගේ ටැටූ නිර්මාණවලට ගන්නේ. ඉන්දුනීසියාව, තායිලන්තය වගේ රටවල්වලට යුරෝපයේ රටවලින් ඇවිත් ටැටූ ගහගෙන යනවා. ඒ නිසාම ඒ රටවල විදේශ විනිමය වැඩි වෙනවා. සමහර රටවල් ටැටූ වලින්ම දියුණු වෙනවා. ඉන්දුනීසියාව වගේ රටවල් ටැටූ වලින්ම සෑහෙන්න උපයනවා. ඒ වගේම ටැටූ නිසා ජීවත් වෙන රටවල් තියෙනවා.
ප්‍ර ටැටූ කලාවට එන්න ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ?
ටැටූ කලාවට කවුරුහරි ආසනම් දැන් ලංකාවේ ටැටූ ඉගෙන ගන්න ගොඩක් තැන් තියෙනවා. ටැටූ ඇකඩමි, ටැටූ පාඨමාලා තියෙනවා. මේවගෙන් ටැටූ කලාව පිළිබඳ මූලික දැනුම ගන්න පුළුවන්. නමුත් එතැනින් එහාට තමන් තෝරගන්න Category එක Black and Gray, Color, Minimum tattoo ආදී විදිහට මොන ටැටූ වර්ගයක් Follow කරනවද කියන දේ සහ තමන්ගේ පරාසය දැනගෙන ඒක පුහුණු කරන්න අවශ්‍යයි. ඒ වගේම මුදල් මතම යැපෙන්නේ නැතුව කලාව දියුණු කරන පරමාර්ථයෙන් තමන්ගේ මනස හදාගෙන සහ හැකියාව දියුණු කරගන්න පුළුවන්නම් ඒ ටැටූ කලාකරුවාට ටික කාලයකින් හොඳ තැනකට එන්න පුළුවන් වෙනවා.
සුදර්ශනි කෝණාර