FM දෙරණට දාසයයි


අවුරුදු 16ක නාඹර නාරුණ්‍යයට පැමිණි ලංකාවේ එෆ්.එම් නාළිකා අතර ජනප්‍රිය සහ ශ්‍රාවක ආදරය ඉහළින්ම දිනාගත්  FM දෙරණ නාළිකාව මෙරට ගුවන්විදුලි නාළිකා අතර ප්‍රධාන තැනක් ගනී. 2009 දී ඇරඹි මේ නාළිකාවට අවුරුදු 16ක් වන මේ මොහොතේ  FM දෙරණ ගැන කතා කරන්නට සැදැල්ලෙන් ඉඩක් වෙන් කළෙමු. එෆ්.එම් දෙරණ සාමාන්‍යාධිකාරී බණ්ඩාර විජේරත්න මහතා සමඟ කළ කතා බහයි මේ......

FM දෙරණට අවුරුදු 16යි. ඉතින් මේ පැමිණි ගමන්මග ගැන කතා කළොත්?

ලංකාවෙ 27 වැනි රේඩියෝ නාළිකාව විදිහට FM දෙරණ මීට අවුරැදු 16කට කලින් තමයි ආරම්භ වෙන්නෙ. ඉතින් එහෙම ආරම්භ වෙලා රේඩියෝ චැනල් 50ක් විතර තිබෙන රටේ ඉතාමත් කෙටි කාලයකින් අංක එකේ රේඩියෝව බවට පත්වීම තමයි මේ ගමනේ විශේෂත්වය වෙන්නෙ. 2009 පටන් ගත්ත චැනලය අවුරුදු හතක් වගේ කෙටි කාලයක් තුළ 2017 දී  අංක එකේ රේඩියෝ චැනලය බවට පත් කරන්න පුළුවන් වුණා. ඉතින් 2017 සිට අඛණ්ඩව අවුරුදු අටක් දැන් අපි  Number one Position එකේ තියන් ඉන්නවා.

2009දී ආරම්භ වුණු FM දෙරණට ලැබුණු ශ්‍රාවක ප්‍රතිචාර මොන වගේද?

FM දෙරණ 27 වැනි රේඩියෝ නාළිකාව විදිහට පටන් ගනිද්දී ලංකාවේ FM කලාව ආරම්භ වෙලා අවුරුදු 15ක් විතර ගිහින්. ප්‍රධාන ගණයේ රේඩියෝ නාළිකා තුනක් හතරක් මේ රටේ සමස්ත රේඩියෝ ශ්‍රාවක පිරිස තමන් සතු කරගෙන හිටියෙ. අනිත් නාළිකාවන්ට සෑහෙන අභියෝගයක් වුණා දැවැන්ත නාළිකා එක්ක තරඟ කර රේඩියෝ අසන්නන් දිනාගන්න. මොකද මේක දැඩි තරගයක් තිබෙන ක්ෂේත්‍රයක් නිසා. එෆ්.එම් දෙරණ ප්‍රධාන නාළිකා පහකට පමණ පසු ආරම්භ කළත් ඒ නාළිකාවලට ඒ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වුණා. නමුත් දෙරණට අසන්නන්ගේ සිත් සතන් හරියාකාරව අඳුනගෙන වැඩසටහන් සහ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන් හරහා අවුරුදු ගණනක් පැරණි ගුවන්විදුලි නාළිකා අබිබවමින් අංක එක බවට පත්වෙන්න පුළුවන් වුණා.

වර්තමානය වෙද්දී Fm දෙරණ  නාළිකාව මොන වගේ තැනකද තියෙන්නේ?

2017 සිට අද වෙනකම් අඛණ්ඩව අංක එකේ නාළිකාව විදිහට Fm දෙරණ රැදිලා ඉන්නවා. දවසින් දවස ඒ ශ්‍රාවක ආදරය වැඩි වෙනවා. වෙනත් නාළිකාවලින් ඉවත්වෙලා අපිව අහන්න  සං්‍යාව එකතු වෙනවා. තිබෙන සමීක්ෂණ වාර්තාවන් අනුව ඒක ඔප්පුවෙලා තියෙනවා. මේ වෙද්දී රේඩියෝ නාළිකාවක් අහනවනම් වැදගත් විදිහෙ සහ පවුලේ හැමෝටම අහන්න පුළුවන් බොහොම සමීප නිවේදක නිවේදිකාවන් සිටින නාළිකාවක් තමයි එෆ්.එම් දෙරණ කියන්නෙ.   

Fm දෙරණෙ වැඩසටහන් පිළිබඳව කතා කළොත්?

කුඩා දරුවගේ ඉදලා වැඩිහිටියො දක්වා සියළු දෙනාට ගැළපෙන වැඩසටහන් තියෙනවා. උදෑසන 6ට පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ ළමා වැඩසටහන එක්ක තමයි නාළිකාව ආරම්භ කරන්නෙ. දේශාභිමාන ගීන, දවස ප්‍රබෝධමත් කරන සිතුවිලි, දැනුම මිනුම, උදෑසන ප්‍රවෘත්ති සහ ලග්න ඵලාපල උදෑසන ශ්‍රාවකයාට අහන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය දන්න අනූපමා කෝච්චිය උදෑසන 7 සිට 10 වෙනකම් අහන්න පුළුවන්. ඒ වගේම සිංදු අහන්න, සිංදු කියන්න සහ තරග කරන්න විනෝදයෙන් අහන්න දේදුනු පාලම වැඩසටහන තියෙනවා. ඒ වගේම ආදරය තේමා කරගනිමින්, සමන් එදිරිමුණි එෆ්.එම් දෙරණට රචනා කරන තාමත් ආදරෙයි මං නාට්‍යය අහන්න පුළුවන්. ඊළඟට චූටි මල්ලී පොඩි මල්ලී වැඩසටහන අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම පියවි ලෝකයෙන් එපිටට ගිය අද්භූත කතා අහන්න පුළුවන්. මේ විදිහට පැය 24 පුරාවටම වැඩසටහන් විකාශය වෙනවා. විශේෂයෙන් සති අන්තයේ දී  FM දෙරණ Chart Show වැඩසටහන අංක එකේ තියෙනවා.

බොහෝ  FM  නාළිකා අතර  FM දෙරණ සුවිශේෂී වෙන්නේ ඇයි?

ප්‍රේක්ෂකයන්ගේ සිතැඟියාවන් හරියටම අදුනගත්ත නාළිකාවක් තමයි එෆ්.එම් දෙරණ කියන්නේ. අහන ඕනෑම කෙනෙකුට මේ කතා කරන්නේ මට තමයි, මේ සින්දුව යන්නේ මට තමයි කියන හැඟීම දැනෙන විදිහට වැඩසටහන් සකස් කරලා තියෙනවා. ඒ වගේම අසන්නන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ප්‍රවර්ධන වැඩසටහන් විශාල සංඛ්‍යාවක් පෙළ ගස්වලා තියෙනවා. දිනපතා මුදල් ත්‍යාග ලබා දෙන වැඩසටහන්, බෞද්ධ අසන්නන්ට දඹදිව යෑමේ සිහිනය සැබෑ කරන  වැඩසටහන් වගේම රේඩියෝ නිධානය වැඩසටහන මගින් කෝටිපතියන් මිලියනපතියන් විශාල සංඛ්‍යාවක් බිහි කළා. කොවිඩ් නිසා නතර කළ දෙරණ මිලියනපති වැඩසටහන 16වැනි සංවත්සරය එක්ක නැවත පටන් ගන්න බලාපොරොත්තු වෙනවා . ඉතින් ඒවත් එක්ක තමයි දෙරණ විශේෂ වෙන්නෙ.

අවුරැදු 16ක් වන මේ මොහොතේ  FM දෙරණෙන් ශ්‍රාවකයන්ට විශේෂ දෙයක් ලෑස්ති කරලා ඇති නේද?

16 වැනි සංවත්සරය වෙනුවෙන් අපි මාර්තු 28 වෙනි සිකුරාදා Gypsies සහ Midlane  සංගීත කණ්ඩායම් දෙක එක්ක නෙළුම්පොකුණ එළිමහන් පරිශ්‍රයේ දී Fm Derana Boom Town නමින් දැවැන්ත ප්‍රසංගයක් පැවැත්තුවා. ඊට අමතරව මාර්තු 28 සහ 29  දෙදින පුරාවට දෙරණ අහන අපට සුබ පතන අසන්නන්  අතරින් සෑම පැයකම එක් අසන්නා බැඟින් තෝරගෙන රුපියල් 10,000 බැඟින් ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට සූදානම් කළා. ඒ වගේම දෙරණ මිලියනපති වැඩසටහන ආරම්භ කරනවා. ඊට අමතරව දඹදිව වන්දනා වරම් වැඩසටහනේ 9වන අදියරේ දිනුම් ඇදීමත් මේ සංවත්සරය එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං දිගටම දෙරණ එක්ක ඉන්න කියලා ශ්‍රාවකයන්ට ආරාධනා කරනවා. දෙරණ සභාපති දිලිත් ජයවීර, සම සභාපතිනී වරුණි අමුණුගම, විධායක අධ්‍යක්ෂක මාධව මඩවල සහ උප සභාපති ලක්සිරි වික්‍රමගේ යන අයගේ කැපවීම මේ නාළිකාව මේ තරම් දුරක් එන්නට හේතු වුණා. ඒ වගේම fm දෙරණ කණ්ඩායමේ හැමදෙනාමත් ආදරයෙන් මතක් කරන්න ඕනැ.

සුදර්ශනි කෝණාර

 

FM දෙරණ සාමාන්‍යාධිකාරී

බණ්ඩාර විජේරත්න