යනිකා අමරසේකර සියගුණ
යනිකා අමරසේකර යනු පවුලේ එකම දරුවාය. ඇයගේ මව්පිය දෙදෙනාම කටයුතු කරන්නේ නීතිඥවරුන් ලෙසය. කොළඹ කාන්තා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති යනිකා විදෙස්ගතව උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ IB (International Baccalaure අංශයෙනි) මෙය උසස් පෙළට වඩා වැඩි විෂය මාලාවක් ඇති සංකීර්ණ අංශයකි. ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව සහ කලා, ගණිතය, ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤය භාෂාව යන විෂයයන් එහි ඉහළ අදියරේදී ඇය පෙනී සිටි විෂයයන් විය. කැලිෆෝනියා සරසවියෙන් සහ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ඇය ‘Silver Aisle’ ආයතනයේ ප්‍රධාන විධායකවරිය වන්නීය.
‘යනිකා’, ඔබ ඒ නාමයෙහි තේරුම ගැන, එනම් අරුත ගැන දන්නවාද?
මම හිතන විදිහට wisdom (ප්‍රඥා සම්පන්න) වගේ අරුතක් තියෙන්නෙ. මගේ සීයා තමයි ඒ නම යොදන්න මූලික වෙලා තිබුණෙ.
ඇයි ඔබ ‘යනිකා අමරසේකර’ නාමයට පසුව සියගුණ නාමය යොදාගෙන තිබෙන්නෙ?
මම විවාහකයි. මගේ සැමියාගේ වාසගම සියගුණ.
‘ෆෝබ්ස්’ විශිෂ්ටතමයින් අතරට යාමට ඔබට අවස්ථාව ලැබීම ගැන හිතන්නෙ කොහොමද?
‘ෆෝබ්ස්හි’ අධීක්ෂණය බොහෝ විට නතුවන්නේ නව ව්‍යවසායකත්වයන් ඔස්සේ ලෝකයට ප්‍රවිශ්ට වන චරිත වෙතයි. ව්‍යාපාරයක් ඇරඹීමට මූලාරම්භයක් (Startup) ගැනීම තරමක් අසීරු දෙයක්. ඕනෑම ව්‍යාපාරයක් ඇරඹීමේදී ඒ ස්වභාවය වෙන්න පුළුවන්. ඒත් මම විශ්වාස කරන විදිහට නව සංකල්පයක් ඇතිව ව්‍යාපාරයක් පටන් ගැනීම කළොත් එය තරමක් පහසුවක් වේවි. ඒ සංකල්පය ප්‍රායෝගික කිරීමට ඉන්පසු සිදුවෙනවා. එහිදී අනෙක් අයට වඩා හොඳට එය කළ හැකි නම්, සාර්ථක වෙනවා. මගේ ‘Silver Aisle’ ව්‍යාපාරයේ ඒ ස්වභාවය ගැන ෆෝබ්ස්හි අධීක්ෂණයට නතුවෙන්න ඇති.
ඒ කියන්නෙ ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණේ නව සංකල්පයක් සහිත ව්‍යවසායක ගමනකින්?
මම එහෙම හිතනවා. සංකල්පය විතරක්ම තිබුණාට මදි. එය ජයගන්න නම්, අපට සෑහෙන්න කැපවීම අවශ්‍යයි. ඒ වගේම නව ව්‍යවසායකත්වයකට යද්දී, අලුත්ම සංකල්පයක් ඔස්සේ ව්‍යාපාරයකට ප්‍රවිෂ්ටවීම නිසා නව මාවතක් විවර වෙනවා.
මේ Silver Aisle මාර්ගගත සේවා ව්‍යාපාරය ඇරඹද්දී ඔබගෙ වයසට සහ එය පටන් ගැනීමට හේතු වූ හැටි?
එතකොට මට අවුරුදු 24ක් විතර ඇති. කැලිෆෝනියා සරසවියෙන් සහ ලන්ඩන්හි ඉම්පීරියල් කොලේජ් සරසවියෙන් උපාධි ලබා ගැනීමෙන් පසුව ලංකාවට පැමිණ අලුත් දෙයක් කිරීම මගේ අරමුණ වී තිබුණා. ඔන්ලයින් රෙජිස්ටර් සංකල්පය මට තිබුණා. ඒ ගැන මම මුලින්ම කිව්වෙ තාත්තාට. මේ සංකල්පය කොළඹට බොහෝ ප්‍රයෝජනවත් වේවි කියලා තාත්තා කිව්වා. මගේ අම්මයි - තාත්තයි විවාහ වුණේ මීට අවුරුදු තිහකට විතර කලින්. එදා එයාලට ලැබුණු තෑගි ගැන මට විස්තර කියා තිබුණා. අලුත විවාහවන අයට ඒ විදිහට විවිධ තෑගි සහ තිළිණ ලැබෙනවා. ඒත් සමහර විට ඒ ලැබෙන සියලු එ්වා එකම වගේ වුණොත්? එය එතරම්ම ප්‍රයෝජනවත් නොවෙන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි විවාහ වූ දවසේ ‘‘රයිස් කුකර්’’ දහයක් විතර ලැබී තිබුණලු. ඉතින් මට අවශ්‍ය වුණේ මේ විදිහට විවාහ උත්සවයකදී අමුත්තන් ලබාදෙන ත්‍යාග සඳහා යුවළගේ කැමැත්ත පරිදි ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ප්ලැට්ෆෝර්ම් එකක් තනා දීමටයි. ඒ අනුව තමයි ‘‘Wedding Registry’’ (මාර්ගගතව සේවා සැපයීම) පටන් ගත්තෙ. 2009 අවසාන කාලයේදී පටන් ගත්තාම, 2020 දි කොවිඩ් නිසා රට ලොක්ඩවුන් වුණා. ඒ නිසා බොහෝ ‘‘වෙඩින්’’ කැන්සල් වුණා. පළවැනිම ලොක්ඩවුන් වෙලාවෙදි මම මගේ ඔන්ලයින් ව්‍යාපාරය පුළුල් කරන්න තීරණය කළා අමුත්තන් සඳහා ලබාදෙන සේවාවන් විදිහට. හැබැයි අනෙක් ව්‍යාපාර ස්වභාවයන්ට වඩා වෙනස් විදිහට පටන් ගන්නෙ. ලංකාවේ ඉතා අනර්ඝ ලෙස භාණ්ඩ අලෙවි කෙරෙන ව්‍යාපාර 40ක් ‘‘Silver Aile’’ මාර්ගගත සේවාව සමග එක්ව සිටිනවා. ඒ බ්‍රෑන්ඩ්ස් යටතේ, තමුන්ට අවශ්‍ය භාණ්ඩය සිලෙක්ට් කර ගන්න පුළුවනි.
අපි හිතමු අලුතින් විවාහ වන යුවළක් කියලා. අපේ වෙබ් එකට ප්‍රවේශ වී තමාගේ ගිණුමක් සාදාගත හැකියි. තමුනට අවශ්‍ය භාණ්ඩ කැමති විදිහට වෙන්කරවා ගන්න පුළුවනි. එතකොට තමුන් තෝරාගත් ඒ භාණ්ඩ තමයි වඩා ප්‍රයෝජනවත් වෙන්නෙ කියලා. යුවළගේ අමුත්තන්ට දැන ගැනීමට සැලැස්විය හැකියි. ඔන්ලයින් ඔස්සේ එක Click එකකින් ඒ සියල්ල කරගත හැකියි. වෙඩින් ඉන්විටේෂන් එක යවද්දි ඒකට ලින්ක් (Link) එකක් සඳහන් කර තිබෙනවා. එවිට අමුත්තන්ට තමුන් ලබා දිය යුතු ත්‍යාගය ගැන අදහසක් ගන්න පුළුවනි. ඉතින් ඇත්තටම එය අමුත්තන්ටත් හරි ලෙහෙසි දෙයක්නෙ. අමුතුවෙන් සාප්පුවලට ගිහින් භාණ්ඩ තෝර – තෝර ඉන්න අවශ්‍ය නැහැ. Back ends – Logistics සියල්ල අප මෙහෙයවනවා. ඒ කියන්නෙ මේ ඉහත කී සියලු දේ අපි අපේ Silver Aisle ඔස්සේ මෙහෙයවීම සිදුකර දෙනවා. මේ විදියට අමුත්තන් යුවළට ලබා දුන් ත්‍යාග භාණ්‍ඩ සියල්ල එක් දිනෙකදී යුවළ කියන විදිහට අපි යුවළගේ නිවසට යැවීම සිදුකර දෙනවා. ඒක හරි ස්මාර්ට් සේවාවක්.
කොවිඩ් වෙලාවෙදි අපි පටන් ගත්තෙ ‘වෙඩින්’ අංශය සඳහා විතරයි. පසුව මෙය වෙනත් අංශ සඳහා අපි පුළුල් කළා. ‘Silver Aisle’ ලක්ෂරි සේවාවක් නැතහොත් සුඛෝපභෝගී සේවාවක් කිව්වොත් වඩා නිවැරදියි.
‘යනිකා’ මේ විදිහට අලුත් සංකල්පයකින් තාරුණ්‍ය හැඩකරගත් ඔබ මොන විදිහෙ කෙනෙක්ද?
අපේක්ෂා සහගත සහ අභිලාෂයන් ප්‍රායෝගික කර ගැනීමට උත්සාහවන්ත චරිතයක්. කැපවී - වෙහෙස වී කටයුතු කරන ගුණාංගය ඇති. එය මගේ මව්පියන්ගෙන් මට ලැබුණු ආභාසයක්. නීති අංශයේදී එයාලා විශිෂ්ට කැපවීමකින් කටයුතු කරන යුවළක්. මුලින්ම මගේ ඔන්ලයින් සේවාව ආරම්භ කිරීමත් එක්ක මුල සිට තනියම සියල්ල කළේ මම. ඒ විදිහට තමයි මේ වෙනුවෙන් කැපවුණේ. ඇත්තම කිව්වොත් ව්‍යාපාර ණය කිසිවක් අරගෙන නැහැ. බොහෝ දෙනෙක් ආරම්භයේදී වැඩි ආයෝජනයක් කරන්න බලනවා. නමුත්, එහෙම නැතුව යම්කිසි ඉලක්කයකට, කැපවීමක් ඇතිව අපට නව ව්‍යවසායකත්වයට ප්‍රවේශ වන්න පුළුවනි.
සඳුන් ගමගේ