යූටියුබ් සමාගම බිහිවුණේ මෙහෙමයි


යූ ටියුම් මුල් අතුරු මුහුණත

 

 

ජන සමාජය වෙනුවෙන් ගොඩ නැගුණු අන්තර්ජාල සමාජ මාධ්‍ය අවකාශයකට අපූරු නමක් ලැබී තිබේ. ඒ Youtube යන්නයි. එය නිර්මාණකරුවන් විසින් “ඔබේ නාලිකාව” යන අර්ථය ඇතිව ලබාදුන් Youtube යන වචනය පරිසමාප්ථාර්ථයෙන්ම යථාර්ථයක් බවට පත්ව තිබේ.   


ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලාවක් වන Youtube දිනකට පැය බිලියනයකට වඩා වීඩියෝ නරඹන තත්ත්වයට පත්ව තිබේ. එමෙන්ම විනාඩියකට පැය 500කට වඩා ප්‍රමාණයක් මෙහි වීඩියෝ දර්ශන එකතු කරයි.   


Youtube සමාගම මේ වනවිට Google සමාගම සතු තවත් එක් සමාජ මාධ්‍යයක් වුව ද එය නිර්මාණය කළේ වෙනත් තිදෙනකු විසිනි.   


පේ පැල් සමාගමේ සේවය කරමින් සිටි ස්ටීව් චෙන්, චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් මෙය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර තබන ලද්දේ 2005 පෙබරවාරි 14 වැනි දා එනම් ආදරවන්තයන්ගේ දිනයේ දී ය. එදා ඔවුන් Youtube වෙළෙඳ ලකුණ, ලාංඡනය සහ වෙබ් නාමය ලියාපදිංචි කර තිබිණි.   


හර්ලි පේ පැල් සමාගමේ පරිගණක අංශයේ සැලසුම් නිර්මාණකරුවකු ලෙස සේවය කළේය. ඔහු පෙනිසිල්වේනියා ඉන්දියානා සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවෙකි. ස්ටීව් චෙන් සහ ජාවෙඩ් කරීම් පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ඉලිනොයිහි (අර්බානා සහ ෂැම්පේන්) සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත.   


මෙවැනි සමාජ මාධ්‍ය අවකාශයක් නිර්මාණය කිරීමට ඇති වූ අදහස පිළිබඳ ඔවුන් කියන්නේ අපූරු කතාවකි.   
වරක් චෙන් පදිංචිව සිටි මහල් නිවාසයේ රාත්‍රි භෝජන සංග්‍රහයක දී වීඩියෝ කරන ලද දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදාගැනීමට නොහැකිව දුෂ්කරතාවකට මුහුණ දී තිබිණි. කරීම් පවසන්නේ 2004 සුනාමියේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් සොයා ගැනීම පහසු නොවීම හේතුවෙන් මෙවන් අදහසක් ඇති වූ බවයි. 

 

 

ජාවෙඩ් කරීම්   


ජාවඩ්ගේ පියා බංග්ලාදේශ ජාතිකයකු වන අතර මව ජර්මානු ජාතික කාන්තාවකි. ඔහු 1979 ඔක්තෝබර් 28 වැනි දා එවකට නැගෙනහිර ජර්මනියේ ඔර්සබර්ග් නගරයේ දී උපන්නේය. බංග්ලාදේශයේ සිට ජර්මනියට පැමිණි සංක්‍රමණිකයකු වූ කරීම්ගේ පියාට දාව ඔහුගේ මව තවත් දරුවකු බිහිකළ අතර ජාවෙඩ් පවුලේ වැඩිමලාය.   


1980 දී මේ යුවල තම අවුරුද්දක් වයසැති දරුවා ද රැගෙන නැගනෙහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට ගියහ. නමුත් ඔවුන්ට එහි දී ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරන්නට සිදුවිය. 1990 දී බටහිර සහ නැගෙනහිර ජර්මනිය යළි එකම රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු 1992 දී මේ පවුල ඇමෙරිකාවේ මිනසෝටාහි ශාන්ත පාවුළු වෙත ගොස් එහි පදිංචි වූහ.   


ශාන්ත පාවුළු සෙන්ට්‍රල් උසස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කරීම් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ උපාධිය ලැබුවේය. උපාධිය හදාරන කාලයේ දී ම ඔහු පෙන් පෑල් සමාගමේ සේවයට එක්ව තිබිණි.   


ස්ටීව් චෙන්   


තායිවානයේ දී 1978 අගෝස්තු 25 වැනි දා ස්ටීව් චෙන් උපත ලබා වසර අටකට පසු ඔහුගේ පවුල තායිවානයේ තායිපේ නුවර සිට ඇමෙරිකාවට සංක්‍රමණය වී ඉලිනොයිස් හි පදිංචිවිය. මේ හේතුවෙන් චෙන් අධ්‍යාපනය ලැබුවේ රිවර් ට්‍රේල්ස් පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. ඉන් පසු ඉලිනොයිහි විශ්වවිද්‍යාලයකින්ම පරිගණක විද්‍යා උපාධිය ලබාගත් චෙන් පෙන්පෑල් සමාගමේ සේවයට එකතු වූයේය.   


ගූගල් හි කොරියානු නිෂ්පාදන අලෙවි අංශය බාරව සිටි පාක් ජී හියොන් ඔහු 2009 වර්ෂයේ දී විවාහ වූයේය. ඔවුහු දැන් දරුදෙදෙනකුගේ මා පියෝය. ආසියාවේ හොඳම විද්‍යාඥයින් 15 දෙනා අතරට ‍ස්ටීව් චෙන් නම් කිරීමට ද “ආසියානු විද්‍යා සඟරාව” කටයුතු කර තිබිණි.   

 

පළමු දැන්වීම

 

 

චැඩ් හර්ලි   


චැඩ් හර්ලි 1977 ජනවාරි 24 ඇමරිකාවේ පෙනිසිල්වේනියාහි රීඩ්න් නගරයේදී. දොන් සහ යොහාන් හර්ලි යුවළගේ දෙවැනි දරුවා ලෙස උපන්නේය.   


කුඩා කාලයේ දී චිත්‍ර ශිල්පයට දැඩි දක්ෂතාවක් හා උනන්දුවක් දැක්වූ චැඩ් දක්ෂ ධාවන ශූරයෙකි. පසුව පරිගණක විද්‍යා අංශය සහ විද්‍යුත් මාධ්‍ය අංශය කෙරෙහි වඩාත් උනන්දු විය. පෙනිසිල්​වේනියා හි ඉන්දියානා සරසවියෙන් කලා ශිල්ප පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගනිමිනි. පේ පැල් සමාගමේ සේවය කරද්දී චැඩ් හර්ලිට, කරීම් සහ ස්ටීව් යන මිතුරන් දෙදෙනා හමුවිය.   


පරිගණක ජාලගත කිරීම් සම්බන්ධ ලෝක ප්‍රකට ආයතන කිහිපයක නිර්මාතෘවරයා වන ජේම්ස් එච්. ක්ලාක්ගේ දියණිය කැතී ක්ලාක් ඔහු තම සහකාරිය ලෙස තෝරා ගත්තේය.   


ජංගම දුරකථනවල විවිධ පුද්ගලයන් විසින් වීඩියෝ දර්ශන පටිගත කර ආරක්ෂාකරගෙන සිටින බැවින් එම දර්ශන පහසුවෙන් බෙදාගත හැකි අවකාශයක් නිර්මාණය කිරීම මේ මිතුරන් තිදෙනාගේ වුවමනාව විය.   
ඒ අනුව ඔවුන් Youtube අවකාශය නිර්මාණය කළේ ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම වීඩියෝ අන්තර්ගතයක් පළ කිරීමට හැකි‍ වේදිකාවක් ලෙසිනි. පරිශීලකයන්ට සීමාවකින් තොරව අන්තර්ගතයක් එයට එකතුකිරීමට, බෙදාගැනීමට සහ නැරඹීමට ‍Youtube වෙබ් අඩවිය භාවිතා කිරීමට අවස්ථාව ලැබිණි.   
එතැන් සිට අද දක්වා Youtube යනු ලෝකයේ වීඩියෝ බෙදා හැරීමේ ප්‍රමුඛත ම අවකාශයයි. අද බොහෝ අන්තර්ගතයන් ඒවායේ නිර්මාපකයන් විසින් Youtube වෙත එකතුකරන අතර එම වීඩියෝ ආරම්භයට පෙර, අතරමැද හා පසුව දැන්වීම් සඳහා ඉඩ විකුණා ඒ තුළින් ආදායම් උපදවා ගැනීමට කටයුතු කරයි.   
ඒ මගින් ලෝකය පුරා බොහෝ දෙනකුට Youtube මගින් මුදල් ඉපයීමට හැකි වී තිබේ.   


Youtube පළමු වීඩියෝව පළකරන ලද්දේ කරීම් විසින්. තත්පර 19ක් වූ මෙම වීඩියෝ දී ශාන්ත ඩියාගෝ සත්වෝද්‍යානයේ අලි ඇතුන් සහ හොඬවැල් ගැන අදහස් දක්වන වීඩියෝවක් එලෙස පළකර තිබිණි. එය නම්කර තිබුණේ "Me at the Zoo" නමිනි. 2005 මැයි මාසයේ දී පළකරන ලද එම පළමු වීඩියෝව සැප්තැම්බර් මාසයේ දී නයික් දැන්වීමක් පළ කරන ලද අතර එම වීඩියෝව Youtube හි මිලියනයක් විසින් නැරඹූ පළමු වීඩියෝව බවට පත්විය.   


එ අනුව Youtube හි දැන්වීම් ප්‍රවර්ධනය කිරීමේ හැකියාව හඳුනාගත් පළමු සමාගම වූයේ නයික් සමාගයි. බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනො පැළඳි Golden Boots එම දැන්වීමේ දැක්විණි. 

 
කෙසේ වෙතත් යූ ටියුබ් යනු අන්තර්ජාලයේ පළමු වීඩියෝ බෙදා හැරීමේ අඩවිය නොවේය. 2004 නොවැම්බරයේ දී දියත් කරන ලද Vimeo නම් වෙබ් අඩවිය අන්තර්ජාලයේ පළමු වීඩියෝ බෙදා හැරීමේ වෙබ් අඩවිය වූ අතර එය යූ ටියුබ් තරම් ජනප්‍රිය වූයේ නැත.   


කෙසේ වෙතත් www.youtube.com හා සමානව ම www.utube.com නමැති වෙබ් අඩවියක් ද Universal Tube & Rollform Equipment නමැති ආයතනයක් විසින් නිර්මාණය කිරීම හේතුවෙන් මුල් කාලයේ යූ ටියුබ් අවකාශයට ගැටලු‍ රාශියක් ඇති වී තිබිණි. පසුව ඊට එරෙහිව යූ ටියුබ් ආයතනය විසින් නඩු පැවරීමේ ප්‍රතිඵලය වූයේ UTube යන වෙබ් අඩවියෙ www.utubeonline.com ලෙස වෙනස්වීමයි.   


2006 ජූලි මාසය වනවිට යූටියුබ් සමාගම කියා සිටියේ දිනකට නව වීඩියෝ 65,000කට අධික ප්‍රමාණයක් ඊට එක්වන බවයි. එමෙන්ම නැරඹුම් මිලියන 100ක් සිදුවන බවයි.


තව කොටසක් ලබන සතියට...

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර