හෙරොයින් බෙදාහැරීම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට


(පාලිත ආරියවංශ)

කුලියට ගත් නිවසක හෙරොයින් බෙදාහැරීම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් සහ සැකකාරියක් අද (09) හාලිඇල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.

එම ස්ථානය වටලන අවස්ථාවේ එහි තිබී හෙරොයින් ග්‍රෑම් පහක් සොයාගෙන ඇත.

බදුල්ල ,හාලිඇල ,ඇල්ල ,වැලිමඩ, පස්සර සහ මහියංගනය යන ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් හෙරොයින් බෙදාහැර ඇතිබව  සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරු 60 හැවිරිදි අයෙකු බවත් සැකකාරිය 32 හැවිරිදි තැනැත්තියක් බවත් පොලිසිය  කීය.

වැලිමඩ ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත්  සැකකරුවෙකුගෙන්  සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව වැලිමඩ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.