හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(විජේරත්න රත්නායක )

නීති විරෝධී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 0.99 ක් සමඟ එක් පුද්ගලයෙක් බදුල්ල තල්දෙන ප්‍රදේශයේදී අද (21) බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු මහියංගනය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

ඔහු පාසල් අවට හා වෙනත් ස්ථානවල ගැවසෙමින් තරුණයන් ඉලක්ක කරගෙන මත්කුඩු ජාවාරමේ නියැලෙන අයෙකු බවට මෙතෙක් කරන ලද විමර්ශන අනුව පොලිසිය සැකකරයි.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් බදුල්ල මහියංගනය පාරේ තල්දෙන 11 කණුව ප්‍රදේශයේදී සැකකරු විසින් යතුරු පැදියකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.